පුවතක පසුබිම
අකාලික වූ කහ සිවුර
source:
වර්තමානය තුළ ඇඳුම් පැළඳුම් තරම් ප්‍රකට වී ඇති දෙයක් තවත් නැති තරම්ය. විවිධ ඇඳුම් පැළඳුම් සඳහා ඇති ඉල්ලුම ද ඉතා ඉහළය. ගිහි සමාජයේ ඇඳුම් පැළඳුම් විවිධ තරාතිරමේ ඒවා බවත් ඒවාට මිම්මක් ගණනක් නැති තරමටම සීමා වී ඇති බවත් අද පැහැදිලිව පෙනෙන දර්ශනයකි. අද ඒවාට ඉහළ වටිනාකමක් ද දී ඇති අතර වර්ණය ද විවිධ වේ. අද බොහෝ දෙනා විශාල වියදමක් දරන්නේද ඇඳුම් පැළඳුම් සඳහාය. එය තරගකාරී ස්‌වරූපයෙන් අනුන් පරයා පෙනී සිටීමට භාවිතා කරන සංකේතයක්‌ද වී හමාරය.
ගිහි සමාජයේ ඇඳුම් මේ අයුරින් විවිධව විෂමව පවතිද්දී පැවිදි සමාජය දෙස නෙත් යොමා බැලීම වැදගත් වේ. ගිහි පැවිදි සමාජය තුළ අහසට පොළව සේ විෂම ඇඳුම් කට්‌ටල දෙකක් තිබෙන බව පැහැදිලිය. ඒ අනුව සිවුරු පිළිබඳ විමසා බැලීමෙන් ගිහි සමාජයේ ඇඳුම් මොන තරම් සංකීර්ණ වී ඇද්ද යන්න පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ භික්‌ෂූන් වහන්සේලා උදෙසා හඳුන්වා දුන් චීවරයට අරහත් ධජය කියා නම් ව්‍යවහාර කරනු ඇත. කහ වත (කසාය වස්‌ත්‍රය) කියා ද කීම වරදක් නොවේ.
චීවරයේ සමාරම්භක අවස්‌ථාව අපට හමුවන්නේ ඇසළ පොහෝ දිනක පැවිදි වූ සිදුහත් කුමරුට ඝටීකාර මහා බ්‍රහ්මයා කළ අටපිරිකර පූජාවත් සමඟය. සිදුහත් බෝසතාණෝ සව් කෙළෙසුන් නසා බුදු බව ලැබීමත් සමඟ භික්‌ෂු ශාසනයද ආරම්භ විය. එම ආරම්භයත් සමඟ භික්‌ෂූන් වහන්සේලා සිවුරු පරිහරණය කිරීම සිදු විය. බුදු සසුනේ මුල් යුගය වන විට පාංශුකුලීකාංගය තුළින් සිවුර සකස් වූ බව පැහැදිලි වේ.
එනම් පාරවල්, සොහොන්පිටිවල. කැලිකසල ගොඩවල් ආදී අපිරිසිදු තැන්වලින් අහුලා ගත් පස්, මඩ, කැලිකසල තැවරුණු රෙදිවලින් සිවුර සකසා ගෙන ඒවා පෙරවීමත් ඒ තුළින් භික්‌ෂු ජීවිතයේ අල්පේච්ඡතා ගුණය ඉස්‌මතු කිරීමත්ය. පාංශුකූල වස්‌ත්‍ර බහුලව සොහොන්වල මියගිය අය ඔතා විසිකර තිබුණි. ඒවා පරිහරණය කළ බවට හොඳම උදාහරණයක් වන්නේ තෙලෙස් ධූතාංග අතර පාංශුකුලිකාංග ධූතාංගයද තිබීමය. තවද දේවදත්ත හිමි ඉදිරිපත් කළ ඉල්ලීම් පහ අතර “දිවි ඇති තෙක් භික්‌ෂූන් වහන්සේ පාංශුකුලිකාංග විය යුතුය.” යන කරුණින්ද ඒ බව පැහැදිලි වේ.
මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ චරිත කතාව කියවීමෙන්ද ඒ බව පැහැදිලි වේ. තෙලෙස් ධූතාංගධාරීන් අතර අග්‍රස්‌ථානය හිමි වූයේද මහා කාශ්‍යප මහරහත් වහන්සේටයි. දිනක් මහ කාශ්‍යප මහරහතන් වහන්සේ බුදු හිමි සමඟ මහ මග වඩින කල බුදු හිමිට අතරමග ගසක් යට වාඩිවීමට සිත් විය. ඒ අවස්‌ථාවේ මහා කාශ්‍යප හිමි උන්වහන්සේ පොරවා සිටි පටපිළියෙන් කළ සඟල සිවුර නවා ගසමුල අසුනක් ද පැනවීය. බුදු හිමි එහි වැඩ සිට සිවුර අතින් පිරිමැද කාශ්‍යප තොපගේ මේ සඟල සිවුර ඉතා මොලොක් යයි වදාළහ. එවිට එම සිවුර කාශ්‍යප හිමි බුදු හිමිට පූජා කළහ. එවිට බුදු හිමි කාශ්‍යප තොප දැන් කුමක් පොරවන්නේ දැයි විමසූහ. එවිට කාශ්‍යප හිමි බුදු හිමි පොරවා සිටින දිරාගිය රළු වූ පාංශුකුල සිවුර ලැබෙන්නේ නම් ඉතා මැනවැයි කීහ. දිරාගිය පාංශුකූල සිවුර ඔබට දරන්නට හැකිදැයි බුදුහිමි ප්‍රශ්න කළහ. කාශ්‍යප හිමි එය දැරීමට මහත් සේ සතුට ප්‍රකාශ කළ කල්හි බුදුහිමි තම සිවුර කාශ්‍යප හිමිගේ සිවුරට මාරු කරන ලදී. බුදු හිමි බුද්ධ ජීවිතයෙ තම ශ්‍රාවකයෙකු සමඟ සිවුර මාරු කරගත් එකම අවස්‌ථාව මෙය වේ. බුදු හිමි එය කළේ කාශ්‍යප හිමිට කරන ලද විශේෂ ගෞරවයක් වශයෙන් සිතාය. බුදු හිමිට පිහිටා තිබූ දෙතිස් මහා පුරිස ලකුණුවලින් දාසයක්‌ම කාශ්‍යප හිමිට ද තිබූ බවත් ඒ නිසාම රූප සම්පත්තියෙන් සමාන වූ බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.
සොහොනකින් කසල ගොඩකින් ගන්නා ලද වස්‌ත්‍රය ගස්‌වල පොතු, මුල්, අරටු, කොළ, ගෙඩි මල්, භාවිතා කරමින් එයට ගැලපෙන අයුරින් පඬු සකසාගෙන සිවුරක් වශයෙන් පෙරවීමට යොදා ගනු ඇත. අද වනවිට සිවුරේ වර්ණය සුළු සුළු වෙනස්‌කම් වුවද සැලැස්‌මේ කිසිදු වෙනසක් නොමැත. එය මගධ කෙත් යායේ සැලැස්‌මට නිර්මාණය කර ඇත. ඒ අනුව කුඹුරු එකින් එක සම්බන්ධ වන ආකාරයට සැකසී ඇත.
සිවුර පිළිබඳ විනය නීතිරීති රාශියක් බුදු හිමි විනය පිටකයෙ, භික්‌ඛු විභංගය හා භික්‌ෂුනී විභංගයෙ දේශනා කොට ඇත. සිව්පස පරිභෝගය පිළිබඳ දේශනාවේදී මුල්ම අංකයට ගැනෙන්නේ චීවරයි. එනම් “පටිසංඛායෝනිසො චීවරං පටිසේවාමි – යාවදේව සීතස්‌ත පටිඝාතාය, උණ්‌හස්‌ස පට්‌ඝාතාය ඩංස, මකස වාතා තපසිරිං සපසම්පස්‌සානං පරිඝාතාය යාව දේව හිරිකෝපීන පට්‌චඡාදනFථං (සිහි නුවණින් ප්‍රත්‍යාවේක්‍ෂා කොට මෙම සිවුරු පරිභෝග කරමි. එය ශීත නැති කර ගැනීමටය. උෂ්ණය නැති කර ගැනීමටය. මැසි මදුරුවන්ගෙන්, අව්වෙන් හා පත්තෑ ගෝනුසු ආදී විෂ සහිත සතුන්ගෙන් සිදුවන පීඩා වළක්‌වා ගනු පිණිසය. නොවැසුවහොත් ලඡ්ජාව ඇතිවන ශරීරාවයන් වසා ගනු පිණිසය.
භික්‌ෂූන් වහන්සේ පළඳින සිවුරු කට්‌ටලය ගත් කල එය තුන් සිවුරු වශයෙන් අන්තරාවාසය (අඳනය) උත්තරාසංග (තනිපට සිවුර) සංගාටිය (දෙපට සිවුර) වශයෙන් බෙදා දැක්‌වීමට පුළුවන. පටිය අසංකඩය, එකතු වූ කල භික්‌ෂුවක් වශයෙන් සිවුරෙන් සම්පූර්ණ බවක් හා පිරිපුන් බවක් විදහා දක්‌වනු ඇත. ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ම සිවුරු පැළඳ ගමෙහි හැසිරිය යුතුය. එයට හේතුව ගිහි සමාජයට වඩා උසස් හා වෙනස් ස්‌වරූපයක් භික්‌ෂූන් වහන්සේ සතු වීමය. ඒ අනුව සේයා 75 අතර සිවුරු පරිහරණය පිළිබඳවද දේශනාකොට තිබීම ඉතා වැදගත් වේ.
ෆ පරිමණ්‌ඩලං නිවාසෙස්‌සාමිති සික්‌ඛා කරණීය, (හාත්පසින් වටකොට මනා ලෙස අඳනය අඳිමියි හික්‌මිය යුතුය.)
ෆ පරිමණ්‌ඩලං පාරුපිස්‌සාමිති සික්‌ඛා කරණීයා (හාත්පසින් වටකොට මනාලෙස සිවුර පොරවමියි හික්‌මිය යුතුය.)
ෆ සුපටිච්ඡන්නො අන්තරඝරෙ ගමිස්‌සාමිති සිCඛා කරණීය, (මනාකොට සිවුරු අඳනය හැඳ පොරවා ඇතුළු ගමෙහි ඇවිදිමියි හික්‌මිය යුතුය.)
ෆ සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ නිසීදිස්‌සාමිති සික්‌ඛා කරණීය (මනාකොට හැඳ පොරවා ඇතුළු ගමෙහි වාසය කරමියි හික්‌මිය යුතුය.)
මේ ආදී වශයෙන් විනය ශික්‌ෂා පැනවීමෙන් බුදු හිමි අපේක්‌ෂා කරන ලද්දේ භික්‌ෂු සමාජයෙ චිරස්‌ථිතිය ගෞරවාන්විතව පවත්වා ගෙන යැමත්, ගිහි සමාජයේ ශ්‍රද්ධා භක්‌තිය වඩවන අයුරින් භික්‌ෂු ජීවිතය පවත්වාගෙන යැමත්ය. දෙදාස් පන්සිය පනස් වසරකටත් වැඩි කාලයක් අවිච්ඡින්නව අර්හත්ධජය අද දක්‌වාම පැවතුනේ විනය ශික්‍ෂාපදත් සමඟය. “අප්පසන්නානං පසාදාය – පසන්නානං භියෙHdභාවාය” නොපැහැදුනන්ගේ පැහැදීම සඳහාත් පැහැදුනන්ගේ වැඩි පැහැදීම සඳහාත් චීවරය, විනය ශික්‌ෂා පදවලට අනුව පරිහරණය කිරීම හේතු වේ.
මනුෂ්‍ය ඝාතනය කොට දික් විජය කළ අශෝක වැනි චණ්‌ඩ රජකු ධර්ම විජය කළ සක්‌විති රජකු බවට පරිවර්තනය වූයේ ද මනා ලෙස සිවුරු හැඳ පොරවා සන්සුන්ව මහ මඟ වැඩි සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ දර්ශනය නිසාවෙනි. ගිහි සමාජයේ ඇඳුම් පැළඳුම් මෙතරම් විච්චූර්ණව පවතින ලෝකයක භික්‌ෂූන් වහන්සේලා සිවුර දරා සිටීමත් ප්‍රමාණවත් නොවන්නේද? හිරි ඔතප් නොමැති ආකාරයෙන් ශරීරයෙහි කොටස් ලෝකයට පෙන්වීම අද ගිහි ඇඳුම්වල ස්‌වභාවයයි. නගරයක, පාරක, තොටක යන කල ඒ බව මනාව දැක ගැනීමට පුළුවන. කාන්තාවන්ගේ අඩ නිරුවත තුළින් පිරිමින්ද පිරිමින්ගේ අසම්පූර්ණ ඇඳුම්වලින් කාන්තාවන්ද මංමුළාවී අන්ධ ලෝකයක සැරිසරන මෙවන් සමයක කිසිදු වෙනසකට බඳුන් නොවී බුදු හිමි හඳුන්වා දුන් උතුම් චීවරය වැඳීමට පිදීමට ඇති මුදුන් මල්කඩක් නොවන්නේද?
චීවරය පැළඳ ගත් කල්හි දෙමව්පියන්ද තම පුතුට වැඳීම තුළින් චීවරයේ උතුම් බව පැහැදිලි වේ. බුද්ධ චීවරය යනුවෙන් අප නිතර කතා කරන උතුම් වදන ආරක්‌ෂා කර ගැනීමට භික්‌ෂූන් වහන්සේලාද විනය සික්‌ඛා පද පිළිබඳවද මීට වඩා සිතීම වැදගත්වේ. බුදු, පසේබුදු, මහරහත් උත්තමයන් පැළඳ එම පරම්පරාවෙන් අවිවිජින්නව පැවත එන උතුම් චීවරයටත් එය පැළඳ සිටින භික්‌ෂූන් වහන්සේලාටත් ගරු කිරීමට, වැඳීමට, පිදීමට රට වැසියන් පසුබට නොවිය යුතුය. අතීතයේ පටන් රටට කරදරයක්, විනාශයක් වූවේ නම් ඒ හැම තැනකම ඉදිරියෙන් බැබලුනේ කහ සිවුරයි. ජීවිත පරිත්‍යාගයෙන් රටත් බුදු සසුනත් ජීවිතත් රැක ගැනීමට කහ සිවුර පෙරමුණ ගත්හ. එය ආරක්‌ෂා කළේ භික්‌ෂූන් වහන්සේලාය. ඉදිරියටත් කහ සිවුරත් භික්‌ෂූන් වහන්සේලාත් ආරක්‌ෂා කර ගනිමින් හා ගරු කරමින් ඒ තුළින් රටේ ආරක්‌ෂාවත්, ජනතාවගේ ආරක්‌ෂාවත් ලබා ගැනීමට අප සෑම දෙනෙක්‌ම උත්සාහ කළ යුතුය.
මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ ආචාර්ය ගලගෙදර රතනවංශ හිමි
මෙම චිත්‍රය ආචාර්ය එච්. ඒ. පී. අභයවර්ධනයන් විසින් රචිත “පෝය උදාන ගීතාඤ්ජලී” ග්‍රන්ථයේ අනුග්‍රහයෙනි.
චිත්‍රය – සරත් නන්ද කුමාර