Spread the News

Monday, ජූලි 11, 2022 – 01:00

Dinamina:

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නි‌ෙවස ගිනිබත් කරමින් කළ මැර ප්‍රහාරය පිටුපස දේශපාලන කණ්ඩායමක් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

මෙම ගිනි තැබීම අරගලකරුවන්ගේ වැඩක් නොවන බව කී විජයවර්ධන මහතා ගිනි තැබීම වන අවස්ථාවට පෙර එම පක්ෂයේ නායකයන් කිහිප දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස අසලට පැමිණ සිටි බවත් අරගලකරුවන් කුපිත කර දෙදහසක පමණ පිරිසක් ඔවුන් එම ස්ථානයට ගෙන්වා ගත් බවත් කීය.

කොළඹ කොල්ලුපිටියේ පස් වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිනි ගෙන දැවුණු නිවස ඉදිරිපිටදී ඊයේ (10) මාධ්‍යවේදීන් අමතමින් ඒ් මහතා‌ මේ බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය භාර ගත්තේ රටේ ආර්ථික ප්‍රශ්නය විසඳීමට බවත් මාස දෙකක් පුරා අයි.ඒම්.එෆ්. සහ ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා පවත්වා ගෙන ගොස් යම් විසඳුම් සොයා ගෙන සිටින අවස්ථාවේදී සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම කනගාටු වන බවත් විජයවර්ධන මහතා පැවසීය.

ජනතාව ගැන නොසිතන දේශපාලනඥයන් ජනපති සහ අගමැති සිහින දකිමින් පක්ෂ අරගලයක නිරත වන බව ඒ් මහතා පෙන්වා දුන්නේය. අවුරුදු හැටක් හැත්තෑවක් පමණ ජීවත් වූ, තම මව්පියන්ගෙන් උරුම වූ නිවස තමන් විසින්ම ගිනි තියා ගත් බවට රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වන චෝදනා හාස්‍යජනක බව කී විජයවර්ධන මහතා අගමැති ධුරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අද (11) ප්‍රකාශයක් කරනු ඇතැයිද කීය.

ශිරෝමි අබයසිංහ