Spread the News

අගමැතිගේ ප්‍රකාශය නීතියේ
ආධිපත්‍යයට එල්ල කළ පහරක්‌

– විපක්‍ෂ නායක නිවේදනයකින් කියයි

Image result for ranil wickramasinghe

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පෙත්සම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය අධිකරණයේ ස්‌වාධීනත්වයට, නීතියේ ආධිපත්‍යයට සහ යහපාලනයට ගැසූ බලවත් පහරක්‌ යෑයි විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය සාවද්‍ය මෙන්ම නීත්‍යනුකූල නොවන බව පෙන්වා දීමට කැමැත්තෙමි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ ක්‍රියාකාරීත්වය අභියෝගයට ලක්‌ කරමින් ඉහත කී පෙත්සම ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු තිදෙනකු ඉදිරියේදී විභාගයට ගන්නා ලද අවස්‌ථාවේදී එක්‌ විනිශ්චකාරතුමෙක්‌ එකී නඩු විභාගයෙන් ඉවත්වීම නිසා මේ සඳහා වෙනත් විනිශ්චයකාරවරයකු පත් කරන ලෙස හෝ වෙනත් විනිශ්චයකාරවරු තුන් කට්‌ටුවක්‌ ඉදිරියේ මෙම නඩුව විභාග කරන ලෙසට එම විනිශ්චයකාර මණ්‌ඩලය විසින් අග්‍රවිනිශ්චකාරවරයාගෙන් ඉල්ලා සිටි බව අධිකරණ ආරංචි මාර්ගයෙන් අප වෙත දැන ගන්නට ලැබී ඇත. එම අවස්‌ථාවේදී අග්‍රවිනිශ්චයකාරතුමාගේ නියෝගය අනුව එම නඩුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 126 වගන්තිය ප්‍රකාරව ඉතිරි විනිශ්චකාරවරුන් දෙදෙනා ඉදිරිපිට විභාග කොට තිබේ. අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමේ වෙනත් සහන ඉල්ලීම් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණ පරීක්‍ෂණ අවසන් වනතුරු අත්අඩංගුවට ගැනීම වළක්‌වාලමින් අතුරු නියෝගයක්‌ ඉල්ලා සිටි බවද දැන ගැනීමට තිබේ. මෙම නඩුවේ පොලිස්‌පතිවරයා හා පොලිසිය වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්වරයකු, නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි අතර, එතුමා පැය එකහමාරකට අධික කාලයක්‌ අධිකරණය ඉදිරියේ කරුණු දක්‌වා ඇත. එසේ කරුණු දැක්‌වීමේදී විනිසුරුවරුන් දෙදෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්‌ඩලයක්‌ මගින් අතුරු නියෝගයක්‌ ලබාදීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය නොමැතිය යන තර්කය කිසිවිටකත් ඉදිරිපත් කර නොමැති අතර, නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්වරයා විසින් එහිදී තර්ක කරනු ලැබුවේ අතුරු නියෝගයක්‌ මෙම පෙත්සමේ කරුණු අනුව නිකුත් නොකළ යුතු බව යන්න අප වෙත වාර්තා වී තිබේ. එහෙයින් අධිකරණය විසින් අතුරු නියෝගයක්‌ නිකුත් කිරීමට අධිකරණයට ඇති බලය පිළිබඳව කිසිදු අභියෝගයක්‌ නීතිපතිවරයා විසින් මතු නොකළ බව මනාව පැහැදිලිs වේ.

එසේම මූලික මිනිස්‌ අයිතිවාසිකම් නඩු විභාගයකට අවසර ලබාදීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 126 වගන්ති ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇති අතර, එසේම අතුරු නියෝගයක්‌ ලබාදීමටද අභිමතානුසාරී බලයක්‌ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත. එසේ විනිශ්චයකාරවරුන් දෙදෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුලු විසින් අතුරු නියෝගයන් ලබාදුන් අවස්‌ථා හා පූර්වාදර්ශයන් අධිකරණ ඉතිහාසය තුළ ඕනෑ තරම් දක්‌නට ලැබේ. සමහර අවස්‌ථාවන්වලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ එක්‌ විනිශ්චයකාරවරයකු විසින් නිල මැදිරියේදී පවා අතුරු නියෝග, මූලික මිනිස්‌ අයිතිවාසිකම්වලට අදාළ නියෝග නිකුත් කර ඇති බව අග්‍රාමාත්‍යතුමාගේ දැන ගැනීම සඳහා ප්‍රකාශ කරමි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව පැහැදිලිsවම ප්‍රකාශ කර ඇත්තේ මෙය සිය පාලනය තුළ අධිකරණයේ ස්‌වාධීනත්වය මනාව පිළිබිඹු කර ඇති අවස්‌ථාවක්‌ ලෙසයි. තත්ත්වය මෙසේ තිබියදී විනිශ්චයකාරවරු දෙදෙනකු විසින් මෙම නඩුව විභාග කිරීමට අග්‍ර විනිශ්චයකාරතුමා පවා අනුමත කොට තිබියදී හා එය නීත්‍යනුකූල බවට පැහැදිළි පූර්වාදර්ශයන් තිබියදී එම නියෝගය අභියෝගයට හා හෑල්ලුවට ලක්‌ කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැනි ප්‍රවීණ දේශපාලනඥයකු ඉදිරිපත් වීම අතිශයින්ම කනගාටුවට කරුණකි. අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව නිසි කරුණු හා නීතිය අධ්‍යයනය කර ප්‍රකාශයක්‌ කළේ නම් මෙම තත්ත්වය වළක්‌වා ගැනීමට ඉඩකඩ තිබුණි. එසේම මෙම නියෝගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස්‌ ලබා ගැනීමට පොලිසිය ක්‍රියාකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බව සමහර මාධ්‍යවලින් දැන ගන්නට ලැබිණි. නීතිපතිවරයා වෙනුවට නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්වරයකු පෙනී සිට පැය එකහමාරක්‌ තර්කකොට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට ගරු කිරීම හා ඒ අනුව කටයුතු කිරීම අග්‍රාමාත්‍යවරයාගේ මෙන්ම රජයේත් පොලිසියේත් යුතුකම හා වගකීමක්‌ වන බව අවධාරණය කරන අතර, එය අධිකරණයේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීමටත්, නීතියේ ආධිපත්‍යය රැක ගැනීමටත්, යහපාලනය ක්‍රියාත්මක වන බව පෙන්වීමටත් හොඳම අවස්‌ථාවක්‌ වන බව අග්‍රාමාත්‍යවරයා වෙත මා පෙන්වා දීමට කැමැත්තෙමි. එහෙයින් විපක්‍ෂයේ ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ අරමුණින් ස්‌ථාපිත කරන ලද පොලිස්‌ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය වහා හකුලාගෙන එම ගැසට්‌ පත්‍රය ඉවත් කොට චෝදනා ඇති පුද්ගලයන් වේ නම්, එකී චෝදනා පොලිසිය, රහස්‌ පොලිසිය, වංචා විමර්ශන අංශය, අල්ලස්‌ දූෂණ කොමිෂන් සභාව වැනි දැනට නිසි ලෙස ස්‌ථාපිත හා පවත්නා ආයතන තුළින් එවැනි පරීක්‍ෂණ පැවැත්විය යුතු බවද කිසි විටකත් එවැනි පරීක්‍ෂණ නොකළ යුතු යෑයි යන ස්‌ථාවරයක විපක්‍ෂය නොමැති බවත් ප්‍රකාශ කරමි.

රනිල් වික්‍රමසිංහ මහතා හා එක්‌සත් ජාතික පක්‍ෂය නැවතත් ප්‍රදර්ශනය කරන්නේ විදේශ ගැති ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ එළිදැක්‌වීම සඳහා ඔවුන් ගන්නා උත්සාහයන්ය. එහෙයින් අග්‍රාමාත්‍යතුමාගේ ඉහත කී ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ස්‌වාධිපත්‍යයට එල්ල කරන ලද බලවත් පහරක්‌ බව පෙන්වා දීමට කැමැත්තෙමි. එසේම කලකට පෙර එංගලන්තයේ ප්‍රිවි කවුන්සලයට අප රටේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ප්‍රතිශෝධනය සඳහා හා නිෂ්ප්‍රභ කිරීම සඳහා බලය ලබාදී තිබුණද එම බලය පසුව ඉවත් කළ අතර, ජනරජ ව්‍යවස්‌ථාවෙන් හා වර්තමාන ව්‍යවස්‌ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අපගේ ඉහළම අධිකරණය ලෙසත් එයින් ලබාදෙන තීන්දු අවසන් තීන්දු බවට පත්කර ඇත.

කරුණු මෙසේ තිබියදී පොදු රාජ්‍ය මණ්‌ඩලයේ විනිසුරුවරුන්ගේ මතය අනුව ඉදිරියේදී කටයුතු කිරීමට සිදුවේ යෑයි රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති ප්‍රකාශය මෙරට අධිකරණය හෑල්ලු කිරීමක්‌ හා ශ්‍රේෂ්ඨාධිකරණය අනිසි ලෙස අභියෝගයට ලක්‌ කිරීමක්‌ බවත් මෙරට ජනතාවට පෙන්වා දිය යුතුයි. ඒ නිසා මෙවැනි හාස්‍යජනක ප්‍රකාශ සිදු නොකොට ශ්‍රී ලංකාවේ වගකිව යුතු අග්‍රාමාත්‍යවරයකු ලෙස මෙම ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගැනීමෙන් අධිකරණයේ නියෝගයන්ට ගරු කරමින් මෙරට ජනතාවට ආදර්ශයක්‌ ලබාදෙමින් විපක්‍ෂයේ ක්‍රියාකාරීන් දඩයම් කිරීමට පිහිටු වූ මූල්‍ය අපරාධ ඒකකය නීති විරෝධී ගැසට්‌ පත්‍රය ඉවත් කර ගනිමින් යහපාලනයේ හා නීතියේ ආධිපත්‍ය සුරැකීමට ගරු අග්‍රාමාත්‍යතුමාත්, රජයත් කටයුතු කළ යුතු බවත් තරයේ ප්‍රකාශ කරමි.