Spread the News

ප්‍රශ්නය වැරදි නිසා, ඊට ගැළපෙන පිළිතුරක් දීමට උත්සාහ කළහොත් පාඨකයා නොමඟ යාමට ඉඩ ඇති නිසා, ප්‍රශ්නය වර්තමාන යතාර්ථයට ඔබින අන්දමින් සකස් කර ගෙනම පිළිතුරු සොයමු.

අතීතය විනාශ කරගත් සෑම පක්ෂයකම දේශපාලකයින් තමන් විකල්පය බව පවසමින් පාළු ගෙවල් වල වළං බිඳීම වැනි නිෂ්ඵල වෑයමක යෙදුනා.

2019 ජනාධිපති වරණයට ඉදිරිපත්වූ තරුණ අපේක්ෂකයෙකු, ඔහු විකල්පය බව කියමින් තරඟයට ප්‍රවිෂ්ඨ වුණා.

මා ඔහුට උපදෙස් දුන්නේ තමන් විකල්පය නොව විසඳුම බව ජනතාවට කියන ලෙසයි.
නමුත් ඔහු ළඟ විසඳුමක් නැති නිසා ජනතාව ඔහු කෙරේ විශ්වාසයක් තැබුවේ නැහැ.
ඔහු ඔහුගේ පරණ පක්ෂය වන ජවිපෙයට එකතුවී, මා විසින් හඳුන්වා දුන් “විකල්පය වෙනුවට විසඳුම” ජවිපෙයට “විකුණා” තිබුණා.

ඒ වන තුරුත් තමන් විකල්පය බව ප්‍රචාරය කරමින් සිටි ජවිපෙය, ඒ මොහොතේ සිට තමන් විසඳුම බව ප්‍රචාරය කරන්න පටන් ගත්තා.

කමිසයේ අත්දෙකට කකුල් දෙක රුවා ගෙන කමිසය කලිසමක් කරගත් ජවිපෙ නායකයා තමන් කෙරේ අති මහත් බලාපොරොත්තු තබා ඇති අහිංසක ජනතාවට විසඳුම යනු නිරුවත වසා ගැනීමක් යයි පෙන්වා දුන්නා.

ජනතාවගේ පැත්තෙන් බැලූ විට දේශපාලන ගමන් මගේ ඔවුන්ට වරින් වර වැරදුනත්, කිසිදාක ඔවුන් නිරුවත් වුණේ නැහැ. හැමදාමත් නිරුවතින් සිටියේ ජනතාව රවටමින් තමන්ගේ බඩගෝස්තරය සෙවීමට දේශපාලනයට ප්‍රවිශ්ඨ වූ තක්කඩි දේශපාලකයන් පමණයි.

“මේ වෙලාවේ ඉතිරිව ඇති විකල්පය” කුමක්දැයි අසන මහත්මියට මට දිය හැකි කෙටිම පිළිතුර දැනට පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම මහ මැතිවරණයේදී පරාජය කර ඒ වෙනුවට කිසිදාක පාර්ලිමේන්තුවට නොගිය එහෙත් රට වෙනුවෙන් විශාල සේවයක් කර ඇති පුද්ගලයින් වර්ග ආගම් කුල හා වයස ගැන නොතකා ඔවුන්ට රටේ පාලනය භාරදීමයි.

එය අප විසින් යෝජනා කරන විකල්පයයි.

මේ කියන විකල්පය දැනුමෙන්, දක්ෂ කමින් හා අවංක භාවයෙන් යුක්ත නොවේ නම් ඔවුන් කිසිදාක විසඳුම බවට පත් වන්නේ නැත.

උදාහරණයක් ලෙස අප විසින් ඉදිරිපත් කරන ප්‍රායෝගික දේශපාලන දර්ශනය විසඳුමක් වෙනුවෙන් සකස් වුණු ස්වදේශික චින්තනයකි. එය අනාරක්ෂිත භාවයෙන් මිදීමේ ක්‍රියාදාමය මත පදනම්වූ දේශපාලන න්‍යායකි. එමෙන්ම එය විශ්ව සාධාරණ දර්ශනයකි.

අප බඩගින්න ගැන කතා කරනවා වෙනුවට කුසට ආහාරයක් ලබා දීමට අවශ්‍ය ගොවිතැන වැනි මූළික දේවල් සම්පාදනය කරන්නෙමු.

හිඟන්නාගේ කැටයට කාසියක් දමනවා වෙනුවට ජනතාව හිඟන්නන් බවට පත්කරන ජරාජීර්ණ සමාජ ක්‍රමයට තිතක් තබා “හිඟන්නන්” දැය ගොඩගැනීමට දායකත්වයක් දෙන ශ්‍රමිකයන් පිරිසක් බවට පත් කරන්නෙමු. ලෝකය ඉදිරියේ හිඟා කා පුරවැසියන් හිඟන්නන් බවට පත්කළ ද්‍රෝහී දේශපාලකයන් බලයෙන් පහ කරනවා පමණක් නොව ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කර ඔවුන් විසින් කොල්ලකෑ ධනය නිර්යාත සඳහා අවශ්‍ය කරන ප්‍රාග්ධනය බවට පත් කරන්නෙමු.

වැරදි කළ පුද්ගලයින් සක්වළ ගලේ ගසා වල පල්ළට යවන බවට වහසි බස් දොඩනවා වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කර රට ගොඩනැගීමේ කාර්යභාරයට එක් කර ගන්නෙමු.

ඉතාමත් දක්ෂ අන්දමින් සොරකම් කිරීමට ඔවුන් තුළ තිබුණු කුසළ තාවයන් යහපත් දේ කිරීම සඳහා යොදා ගැනීමට අනුබල දීමේ මානුෂික මෙහෙවර රාජ්‍ය පරිපාලනයේම කොටසක් බවට පත් කරන්නෙමු.
ඒ තුළින් අප වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව සමාජයෙන් තුරන් කිරීමට මුළ පුරන්නෙමු.

අපගේ අරමුණ ආර්ථික මිනිසෙක් තැනීම නොව, බුද්ධිමත් මිනිසුන් ලවා ආර්ථිකය තැනීමයි.

ඉහතින් දැක්වූයේ අපගේ වැඩපිළිවෙළේ “අ” යන්න පමණයි.

හොඳ ආරම්භයක් යනු වැඩෙන් භාගයක්ම අවසන් වීමකි.

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
07.02.2023