Spread the News

අද වැනි පසුබිමක නව දේශපාලන පක්‍ෂයක්‌
බිහිවීම වැළැක්‌විය නොහැකියි
– බැසිල් රාජපක්‍ෂ

ජයසූරිය උඩුකුඹුර

බණ්‌ඩාරනායක මහතාට එජාපය හැර යැමට 1947 දී බලපෑ සමාජ දේශපාලන වාතාවරණයක්‌ අද ද නිර්මාණය වී ඇති බවත් ඒ පසුබිම තුළ නව දේශපාලන පක්‍ෂයක්‌ බිහිවීම වැළැක්‌විය නොහැකි බවත් හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

එජාප, ශ්‍රීලනිප හා ජවිපෙ ක්‍රියාකාරීන් වත්මන් දේශපාලනය ගැන කලකිරී සිටින නිසා නව දේශපාලන ධාරාවක අවශ්‍යතාව මතුවී ඇති බවට බැසිල් රාජපක්‍ෂ මහතා බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට (බී බී සී) කර තිබූ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් “දිවයින” කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා එසේ කීවේය. මහින්ද රාජපක්‍ෂ මහතා සටන් කර ජය ලබාගත් කෙනකු බව ද කුමන්ත්‍රණ කරමින් රාජපක්‍ෂවරුන් බලයට නොපැමිණි බව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ඉකුත් සති අන්තයේ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් නව දේශපාලන පක්‍ෂයක්‌ බිහිවීමට ඇති ඉඩකඩ වැඩි බවට කළ ප්‍රකාශ විමසා බැලීමේදී රාජපක්‍ෂවරුන්ගේ නායකත්වයෙන් නව දේශපාලන පක්‍ෂයක්‌ ඉදිරියේදී බිහිවිය හැකි බවත් එසේ වුවහොත් ශ්‍රීලනිපය දෙකඩ වන බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.