අධ්‍යාපන අයිතිය ඉල්ලූ සොළොස් වියෑති
පකිස්‌තානු දැරියට ලැබුණේ වෙඩි පහරක් !
තලෙයිබානුන් වෙඩි තබා ඇත්තේ ධෛර්යයේ හා ජනතා අපේක්‍ෂාවේ සංකේතයකට ජනරාල් කියානි
ඉගෙන ගැනීමට ඇති ආසාව සපුරා ගැනීම මිනිසුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකමක්. එය ලොව ඕනෑම මිනිසෙකුට හා ගැහැනියකට උපතින්ම හිමිවන අයිතියක්.
ඇමෙරිකාවේ ප්‍රංශයේ අප්‍රිකාවේ වන මධ්‍යයේ ඉන්දියාවේ කටුක බිහාරයේ අරාබිකරයේ, ශ්‍රී ලංකාවේ උතුරු දිග හා දකුණේ වියළි කටුක කලාපයේ ඒ මිනිසා හෝ ගැහැනිය සිටිය හැකිය. ඒ කොතන හිටියත් අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඔහුට හෝ ඇයට හිමිය.
ඒ අයිතියට හරස් කැපීමට හෝ තහංචි දැමීමට කිසිවෙකුට අයිතියක් නැත.
පසුගියදා පකිස්‌තානයේ ස්‌වාට් නිම්නයේ වාසය කළ මලාලා යුෂුෆියා (Malala Yousufzai) කතා කළේ ඒ අයිතිය වෙනුවෙනි. කතා කිරීමට පමණක් නොව ඒ සඳහා පාරට බැසීමට තරම් ඇය නිර්භීත දැරියක වූවාය.
එහෙත් අවාසනාවකට මෙන් ඇයට ඒ සඳහා ලැබුණේ වෙඩි පහරකි. ඒ අන්තවාදී තලෙයිබාන් තුවක්‌කු කටකිනි. ඒ පසුගිය 9 වැනි අඟහරුවාදා ය. ඈ එවේලේ සිටියේ පාසල ඇරී නිවෙස බලා ගමන් කරන කුඩා බස් රථයක් තුළය. හදිසියේම එයට ගොඩ වූ තුවක්‌කුකරුවෝ ඒ මල් කැකුළ ලේ ගුලියක් කළහ. රයිµල් උණ්‌ඩ ඇගේ ගෙල පෙදෙස පසාරු කරගෙන ගොස් තිබිණ.
වහාම පෙෂාවර් රෝහලට ගෙන යනු ලැබූ මලාලාට හරි සිහියක් තිබුණේ නැත. අනතුරුව ඇය රාවල්පින්ඩිහි (Armed Forces Instiute of Cardiology) හමුදා රෝහල වෙත ගෙන යන ලදී.
ඊට මොහොතකට පෙර තම පන්ති මිතුරියන් හා අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මහත් ප්‍රීතියෙන් සිටි ඕ දැන් නිහඬය. අවසිහියෙන් හා ලේවලින් පෙඟී ගිය පොරෝනා සහිතව ඇය නංවාගත් ට්‍රොලිය රෝහල් බරාඳය දිගේ දිවෙන අයුරු දකින්නා තුළ ජනිත කළේ ළය කකියවන තරමේ හැඟීමකි.
ශල්‍යාගාරයට ඇතුළු කරනු ලැබූ මලාලාගේ ගෙල තුළ රැඳුණ වෙඩි උණ්‌ඩ ෙෙව්‍යවරු මහත් පරිශ්‍රමයකින් හා සීරුවෙන් ඉවත් කළහ. සැත්කම සාර්ථකව වූ බව ඇසූ රෝහල අවට රැස් වූවෝ ඈ වෙනුවෙන් සතුටු කඳුළක් හෙළුහ. එහෙත් ඉදිරි පැය 48 ක් යන තුරු ඇය අනතුරුදායක බවින් මිදී නැත.
ඇයට වෙඩි තැබීමත් සමග මුළු මහත් පාකිස්‌තානයම ඇවිස්‌සී ගියේ කඩිගුලක් පරිද්දෙනි. සියලු ආගමික දේශපාලනික හා ජාතික තලයන් හරහා පැතිරී ගිය මෙම සිදුවීම පිළිබඳ කෝප ගින්න ඇවිළෙමින් එය කොතරම් උණුසුම් වූවාද කිවහොත් එය තලෙයිබාන්වරුන්ට එරෙහි සටනේ හැරවුම් ලක්‍ෂයක් බවට පත් වීමට වැඩි වෙලා ගතවුණේ නැත.
ඉස්‌ලාමාබාද් නුවර සියලු පාසල් වසා දැමූ අතර එහි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගුරුවරු මග දෙපස රැස්‌වී තම සහෝදරියට සිසුවියට සුවය පතා අල්ලා දෙවියන්ට යාඥ කරන්න වූහ. දස දහස් ගණන් ජනයා නගරවලත් රෝහල අවටත් රැස්‌වී තලෙයිබානුන් හෙළා දකින සටන් පාඨ කියමින් විරෝධතා ලියා ඇති බැනර් ඔසවමින් උද්ඝෝෂණය කරන්නට වූහ.
මලාලා යුෂුෆියාට උන් වෙඩි තැබුවේ ඇයි? ගැහැනු ළමයින්ට අධ්‍යාපන අයිතිය ලබා දිය යුතු යෑයි කියමින් තලෙයිබාන් බමුණු පිළිවෙතට එරෙහිව නැගී සිටීමට ඇය තැත් කළ නිසාය. ඕ මුතාහිද ක්‍යqම් මූමන්ට් නම් මුස්‌ලිම් පක්‍ෂයේද සහාය ඇතිව තම සටන ගෙන ගියාය.
ඉතාමත් කලාතුරකින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරන රටෙහි ඉහළ පෙළේ හමුදා නිලධාරියෙක් මලාලා බැලීමට පෙෂාවර් රෝහලට පැමිණියා පමණක් නොව මෙම යෞවනියට වෙඩි තැබීම හෙළා දුටුවේය.
ජනරාල් අෂ්ෆා පාවේෂ් කයානි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මලාලාට පහර දීමේදී ඇය තනිකර පුද්ගලයකු පමණක් නොව ස්‌වාට් නිම්නය තමාගෙන් උදුරා ගැනීමට කැස කවමින් සිටින තලෙයිබානුවන්ට එරෙහිව ගොඩනැගුණු ධෛර්යයේ හා අපේක්‍ෂාවේත් ජනතා කැපවීමේත් ප්‍රබල සංකේතයක් ද වූ බව වටහා ගැනීමට තලෙයිබානුවන් අපොහොසත් වී ඇති බවය.
වොෂිංටනයේ ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් J කානි කියා සිටියේ මෙය ඉතා ම්ලේච්ඡ හා බියගුළු ක්‍රියාවක් බවය. එමෙන්ම එය තරයේ හෙළා දකින බව ඔහුගේ ප්‍රකාශයේ අඩංගු විය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ මලාලාට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා ගුවන් යානා ආදී සියලු පහසුකම් සැපයීමට ඇමෙරිකාව සූදානමින් සිටින බවය.
ඒ සමග අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් කියා සිටියේ ගැහැනුන් ඉගෙන ගන්නවාට අකමැති ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කරනවාට අකමැති කාන්තාවන් නායකත්වය ලබා ගන්නවාට අකමැති අන්තවාදීන් විසින් මේ තරුණ යුවතියට වෙඩි තබා ඇති බවය.
එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මෙය හැඳින් වූයේ අතිදුෂ්ට ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙසය.
11 වැනි වියේදී මලාලා කල්පිත නාමයකින් තලෙයිබාන් පාලනය යටතේ ජීවිතයේ කටුක බව දැක්‌වෙන බ්ලොග් සටහන් බී. බී. සී. යට ලීවාය. තලෙයිබානුන් පලවා හැරීමෙන් පසු ඇය ප්‍රසිද්ධියේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය ගැන කතා කළාය.
වෛද්‍යවරු මලාලාගේ ගෙල සිදුරු කළ වෙඩි උණ්‌ඩ ඉන් ඉවත් කළ නමුත් තලෙයිබානුන් කෙරෙහි පකිස්‌තානුවන් වෙත පැවති ආකල්ප ඉවත් කිරීමට මේ පිළිබඳව ඇති වූ කනගාටුව හා පිළිකුල සමත් වී ඇත්දැයි සැකයක් පවතින බව මාධ්‍ය සැක කරයි.
ත්‍රස්‌තවාදය පිළිබඳව ජනමතය දෙපිලකට බෙදී තිබෙන බවත් එක් පක්‍ෂයක් මෙම අපරාධය තලෙයිබානුවන් මත පටවන අතර තවත් පක්‍ෂයක් කියා සිටින්නේ අඩුම තරමේ එම දැරියට ආරක්‍ෂාව සැපයීමටවත් රජය අසමත් වී ඇති බවත්ය. එසේ කියා සිටින්නේ ලාහෝර්හි දේශපාලන විශ්ලේෂකයකු වූ හුසේන් අස්‌කාරි රිෂ්විය.
එක්‌ස්‌ප්‍රස් ටි්‍රබියුන් පුවත් පතේ කර්තෘ ඔමාර් ආර් ක්‌වාර්යිෂි කියා සිටින්නේ මෙම බිහිසුණු ක්‍රියාව තලෙයිබාන් පිළිබඳ ඇති ජනතා ආකල්ප සම්බන්ධයෙන් හැරවුම් ලක්‍ෂයක් බවට පත්වේද යන්නය. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ජනරාල් කයානිගේ බරපතළ ප්‍රකාශය මේ සිදුවීම සම්බන්ධයෙන් ජනතාව කුමන අදහසක් දරා දැයි දැන ගැනීම සඳහා කරන ලද ප්‍රකාශයක් බවය. මන්ද යත් ඇමෙරිකානු යුද්ධය ඔබ මෙහෙයවන්නෙ ඇයිද යනුවෙන් ජනතාව ඔහුගෙන් අසනු ලැබීමට ඔහුට අවශ්‍ය නොවන නිසා බවය.
තලේබානුවන්ට එරෙහිව ඇෆ්ගනිස්‌ථානයේ සටන් වදින ඇමෙරිකානු හමුදාවලට එරෙහිව පකිස්‌තානය තමන්ගේ අනාගත ලාභ ප්‍රයෝජන තකා කටයුතු කරන තත්ත්වයකට මෑතකදී තල්ලු වී ගොස් තිබිණි.
එහෙත් ඇතැම් ගෝත්‍රික ත්‍රස්‌ත මෙහෙයුම්වලදී පකිස්‌ථානු භටයින් 4000 ක ප්‍රමාණයක ජීවිත අහිමි කර ගන්නට පකිස්‌ථානයට සිදුවී තිබිණි.
එමෙන්ම මෑතකදී තලෙයිබානුන් ස්‌වාට් නිම්නයේ ගැහැනියකට ප්‍රසිද්ධියේ කස පහර දෙන අවස්‌ථාවක් දක්‌වා ඔවුන්ගේ දාමරික ක්‍රියා උත්සන්න වී ගියේය. ඔවුන්ට විරුද්ධව පකිස්‌තානු හමුදා කටයුතු කළද ඔවුන් අල්ලා ගැනීමට හෝ මරා දැමීමට පකිස්‌තානු හමුදා අසමත් විය.
මලාලාගේ සම්බන්ධයෙන් ඇති අලුත්ම තත්ත්වය නම් ඇය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බවය. එය ඉතා සෙමින් සිදු වන්නකි. ඇය තමාගේ අත පය සෙලවීම් කරන බව රෝහල් ආරංචිමාර්ග කියා සිටියි.
අලුත්ම තත්ත්වය අනුව වාර්තා වන්නේ ඇය වඩාත් හොඳ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට යෑවීමට සූදානම් කරමින් සිටින බවයි. මේ සඳහා එමිරේට් ගුවන් යානයක් හා වෛද්‍යවරුන් 6 දෙනෙකුගෙන් හා හෙදියන් සහිත කණ්‌ඩායමක් ඇය සමග යන බව වාර්තා වෙයි.
අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඉල්ලා සිටීමේ වරදට වෙඩි උණ්‌ඩයකින් පිළිතුරු දුන් අසික්‌කිත ක්‍රියාව ලොව සිදු වූ ප්‍රථම වතාව මෙයයි.
එදා පාසල ඇරී ගෙදර යමින් සිටි 14 හැවිරිදි නිරායුධ ලාබාල දැරියකට බස් රථය තුළදීම (එම බස් රථය දෙපස දිග අතට ආසන පේළි දෙකකින් යුතු කැන්වස් තිර රෙදිවලින් ඇහිරු කුඩා එකකි.) වෙඩි තැබීම ගැන දැන් මුළු ලෝකයම පිළිකුලින් යුතුව හෙළා දකියි.
මේ වූ කලී මාලාලා මෙන්ම වෙනත් සමාජවල ජීවත්වන ලෝ වාසී දැරියන්ගේ ප්‍රඥව ලබා ගැනීමේ ප්‍රයත්නයට හා අයිතියට එරෙහිව යල්පැන ගිය බමුණු මත දරන අන්තවාදීන් විසින් දෙන ලද පා පහරක් නොවන්නේද? ඉතින් අප එයට එරෙහි විය යුතු නොවන්නේද?
ලීලානන්ද වික්‍රමසිංහ