අනුර කුමාර දිසානායක කියනවා, ‘අපට රාජපක්ෂලා ගැන විවේචනයක් තිබෙනවා තමයි. නමුත් මේ අර්බුදය මේ තත්ත්වයට පත් කළේ රනිල් වික්‍රමසිංහලාගේ යහපාලන ආණ්ඩු කාලයේදීයි’ කියා. ඒ කතාව ඇත්ත බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
බත්තරමුල්ල නගර සභා ශාලාවේදී පැවැති “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” සම්මන්ත්‍රණයේ දී සිය දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය. මෙහිදී උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක, පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම සංවාද කවයේ නායක, ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේද සඳහන් කළේය.
“77 සිට ව්‍යසනයට පාර කැපුනා”
ජාතියක් හැටියට අපි අද මහා ආර්ථික ව්‍යසනයකට මුහුණ පා සිටිනවා. අපි මුලින්ම බලන්න ඕනේ, මෙහෙම මහා ව්‍යසනයක් නිර්මාණය වූයේ කෙසේද? කියා. ඒකට දීර්ඝකාලීන හේතු වගේම මෑතකාලීන හේතු ද තිබෙනවා. ප්‍රධානම හේතුව තමයි 1977 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා රැගෙන ආ නව ලිබරල්වාදී ආර්ථික මොඩලය. 1977 වන තෙක් මෙරට ගෙවුම් ශේෂ හිඟයක්, විදේශ විනිමය සංචිත. අර්බුදයක් තිබුණේ නැහැ. දේශීය නිෂ්පාදනය බලගන්වා, දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් ආපු ගමනක් නිදහසින් පසු මෙරට හිමි කරගෙන තිබුණා. නිදසුනක් ලෙස අපේ රටේ ගොවියාට අවශ්‍ය යූරියා පොහොර ටික අපිම නිපදවා ගත්තා. අතිරික්තයක් තිබුණොත් එය පකිස්ථානයට අපනයනය කිරීම ද සිදු කළා. 1977ට පෙර තිබුණේ විදේශ විනිමය රට තුළට එන රටක් මිස විදේශ විනිමය රටින් එළියට යන රටක් නොවෙයි.
පට් පට් ගාලා සල්ලි හෙවීමේ ක්‍රමය
‘දේශපාලකයන් හොරා කනවා’ කියන කතාව 1977ට පෙර ඇසුනේ නැහැ. 1977ට කලින් වන්නිනායක නමැති මුදල් ඇමතිවරයෙක් හිටියා. එතුමා එදා කුරුණෑගල නියෝජනය කරමින් තමයි පාර්ලිමේන්තුවට ආවේ. වන්නිනායක මැතිතුමා ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වූ අවස්ථාවක ඔහුට මෝටර් රථයක් ත්‍යාගයක් ලෙස ලැබී තිබුණා. අමාත්‍යාංශ ලේකම්වරයා එය පෞද්ගලික පරිහරණය සඳහා රැගෙන යන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි මොහොතේ ඔහු දුන්නේ මෙහෙම පිළිතුරක්. ‘මේක කුරුණෑගල වන්නිනායකට දීපු තෑග්ගක් නොවෙයි, රටේ මුදල් ඇමති වන්නිනායකට දීපු තෑග්ගක්. මේක අයිති මට නොවෙයි, රජයට.’ එවැනි ආදර්ශය වපුරපු දේශපාලනඥයින් එදා මේ පොළොවේ හිටියා. 1977 දී ඇරඹුණු ‘පට් පට් ගාලා සල්ලි හෙවීමේ ක්‍රමයත්’ සමඟ දේශපාලන යාන්ත්‍රණය උඩ සිට යටටම දූෂිත වෙන්න පටන් ගත්තා.
දින 100න් හදපු අලුත් රට…
ණය ගැනීම ලැජ්ජාවට කාරණයක් ලෙස සලකපු ජාතියක් 1977න් පස්සේ පට් පට් ගාලා සල්ලි හොයන ක්‍රමයට පැන්නා. පට් පට් ගාලා ණය ගත්තොත් තමයි පට් පට් ගාලා හම්බ කරන්න, හොරා කන්න පුළුවන් වෙන්නේ. 1977 දී සිදු වූ ඒ හැරවුම තමයි මේ වළට වැටීමට දීර්ඝකාලීන හේතුව. මේ විදියට ආපු ණය අර්බුදය තීරණාත්මක තලයට ආවේ 2015 සිට. ඔබට මතක ඇති 2015 ජනවාරි 8 වැනිදා යහපාලන ආණ්ඩුව බලයට ආවේ ‘දින 100න් අලුත් රටක්’ කියාගෙනයි. දින 100න් අලුත් රට හදන මණ්ඩපයේ සිටියේ කවුද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති හැටියට හිටියා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති හැටියට හිටියා. ආර්. සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායක හැටියට හිටියා. අනුර කුමාර දිසානායක මහත්තයා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට හිටියා. අන්තිමේදී ‘දින 100න් අලුත් රටක් හැදීම’ කෙසේ වෙතත් තිබුණු රටටත් එයාලා වැඩේ දුන්නා.
ව්‍යසනයට ආසන්නතම හේතුව
මම දැක්කා, අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා, ‘අපට රාජපක්ෂලා ගැන විවේචනයක් තිබෙනවා තමයි. නමුත් මේ අර්බුදය මේ තත්ත්වයට පත් කළේ රනිල් වික්‍රමසිංහලාගේ යහපාලන ආණ්ඩු කාලයේදීයි’ කියා. ඒ කතාව ඇත්ත. නමුත් යහපාලන ආණ්ඩුව ගෙනාපු ‘හරිම බඩු’ අතර ඒගොල්ලත් හිටියා. දින 100න් අලුත් රටක් හදන හැටි, ප්‍රජාතන්ත්‍රවාදය තරු හතට පිපෙන හැටි එදා ජවිපෙත් කිව්වා. 2015 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 14කට මදක් වැඩි ප්‍රමාණයක්. නමුත් යහපාලන අවුරුදු හතරහමාර තුළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන 12.5ක් ලබාගෙන තිබෙනවා. මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගෙන ඇත්තේ, 6%කට වැඩි අධික පොලියට සහ සහන කාල නොමැතිවයි. මේ නිසා අද වන විට ශ්‍රී ලංකාව වාර්ෂිකව ගෙවීමට තිබෙන ණය පොලී වාරිකය ඩොලර් බිලියන දෙකේ සිට හය දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් සියයට 76ක්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති මුදලයි. යුද සමයේ මහින්ද රාජපක්ෂ පාලනය ඩොලර් බිලියන 5ක පමණ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් ණය ලබාගෙන තිබුණා. නමුත් එය වසර හතරහමාරක් තුළ ඩොලර් බිලියන 17.5ක් දක්වා ඉහළ ගොස් රටේ වාර්ෂික විදේශ ණය වාරිකය ඩොලර් බිලියන දෙකේ සිට ඩොලර් බිලියන 6 දක්වා ඉහළ යාම තමයි මේ මහා ආර්ථික ව්‍යසනයට ආසන්නතම හේතුව.
කිරි බෝතලය එන සංස්කෘතිය…
‘ණයට අරන් – සැපට කාලා’ ඉන්න ගමන් පට් පට් ගාලා සල්ලි හොයන මේ ගමනට විකල්ප ගමනක් හොයන්න අපේ සමාජය උනන්දු වුණේ නැහැ. අධි පරිභෝජනවාදී ආර්ථික රටාවකට අපේ සමාජය හැඩගැසුණා. නිදසුනක් ලෙස දැන් බලන්න, ‘ගෙදරට කිරි බෝතලය එන සංස්කෘතිය’ ඉවර කරලා, දේශීය කිරි ගොවි කර්මාන්තය බින්දුවට වට්ටලා, වාර්ෂිකව කිරිපිටි ආනයනයට ඩොලර් මිලියන 300-400ක් වැය කරන ජාතියක් අපි.
“අසල්වැසියාගේ ආදර්ශය”
අපේ අසල්වැසියා ඉන්දියාව, අද ලෝකයේ හතරවැනි යුද බලවතා, ඒ වගේම පස්වැනි ආර්ථික බලවතා බවට පත්ව තිබෙනවා. පසුගිය දශකය තුළ තමයි ඔවුන් ඒ ජයග්‍රහණ වෙත පියමැන්නේ. පසුගිය දිනවල ඔවුන් සඳ තරණය කළ 4 වැනි රට බවට ද පත් වුණා. ඒත් ඔවුන්ගේ ඉන්දියානු අනන්‍යතාව කිසිදු වෙනසකට ලක් වී තිබෙනවා ද? අපි දුටුවා සඳ තරණය සඳහා මුල් වුණු ඉන්දියානු විද්‍යාඥවරියන් සියලුදෙනා ඒ ජයග්‍රාහී දිනයේ ඉන්දියානු සාරියෙන් සැරසී තම විද්‍යාගාර තුළ සතුටු වන ආකාරය. අපේ රටේ ඇතැම් ගුරුවරුන් සාරිය ඇඳගෙන උගන්වන්නත් බැහැ කීවා, ඔබට මතක ඇති. මේ වෙලාවේ මට මතක් වෙනවා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා හමු වූ අවස්ථාවක් පිළිබඳව. එහිදී මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දියානු අගමැතිවරයා උදෑසන ආහාරය ගන්නා විට ඉන්දීය අගමැතිවරයා අතින් කෑම කාලා සුපුරුදු පරිදි ඇඟිලිවල තැවරුණු කෑම ආහාරයට ගෙන තිබුණු බව පසුව දැන ගැනීමට ලැබුණා. රාජ්‍ය නායකයකු ඉදිරියේ ඉන්නවා කියලා තමන්ගේ ආහාර ගැනීමේ අනන්‍යතාව වසන් කිරීමට ඔවුන්ට අවශ්‍ය නැහැ. නමුත් අපේ රටේ ඇතැමුන් වෙන රටක කෙනෙකු ඉදිරියේ අතින් කන්න ලැජ්ජයි. ඉන්දියාවේ මෝඩිලාට ඒ හීනමානය නැහැ. ඔවුන් ඒ ජාතිකත්ව අනන්‍යතාව ලැජ්ජාවට කාරණයක් කියා හිතන්නේ නැහැ. අපේ සමාජය ‘ණයට අරන් සැපට කාලා’ පට් පට් ගාලා සල්ලි හොයන ගමනක් වැළඳගැනීමට ඒ හීනමානයත් එක හේතුවක්.
“ලොකුම ප්‍රශ්නය : දළදා පෙරහැරේ අලියා”
අද මේ රටේ ඇතැමුන් අපේ ජාතිකත්ව අනන්‍යතාවට ගරහනවා, වෛර කරනවා. දැන් බලන්න, මේ දිනවල දළදා පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා. මේ චිරාත් කාලයක් තිස්සේ පැවැත්වෙන පෙරහැර මංගල්‍යයේ අලියා රැගෙන යෑම ඇතමුන්ට මහා ප්‍රශ්නයක් වෙලා. නත්තල් සමයේ තමයි මාංශමය ආහාර වැඩියෙන්ම විකිණෙන්නේ. ඒත් කවුරුවත් නත්තලට සතුන් මරන්න එපා! කියා කියනවා ද? සමහර කෝවිල්වල සතුන් මැරීම සිදු කරනවා. ඒවාට මේ අය ‘එපා!’ කියන්නේ නැහැනේ. ආගමික විශ්වාස මත සමහරුන් සතුන් මරලා ලේවලින් ගෙවල් සේදීම පවා කරනවා. නමුත් ඒවා ගැන කතා නැහැ. හැබැයි මේ අයට දළදා පෙරහැරේ අලියා යනවා බලා ඉන්න බැහැ. ඇහැට කටු අනිනවා වගේ දැනෙනවා. දැන් මේක තමයි ඒ අයට ලංකාවේ තිබෙන ලොකුම ප්‍රශ්නය. මේ අපේ ජාතිකත්ව අනන්‍යතාවට පහර දෙන තවත් එක් ආකාරයක්.
‘හීනමානයෙන් ගැලවියල්ලා!
කොළ කැඳ බොන කෙනාගෙන් ඇහුවා, ‘කැඳ බීලාද ආවේ?’ කියා. පසුව ඔහු කිරිපිටිවලට හැරෙව්වා. ‘සිංහලයා මෝඩයා – කැවුම් කන්න යෝධයා’ කියලා එදා සුද්දා ගැරහුවා. අපේ උඩරට සිංහල සේනා ‘කැවුම’ තුවාල සුව කිරීමේ ඖෂධයක් ලෙස ද යොදා ගත් නිසා ඔවුන්ට ඕනේ වුණේ සිංහලයා කැවුමෙන් ඈත් කරන්නයි. නුදුරේදීම ශ්‍රී ලංකාවට නෙදර්ලන්ත දූත පිරිසක් ඒමට නියමිතයි. ලන්දේසීන් මෙරටින් ගෙන ගිය අපේ යුද සෙනවියකු භාවිත කරන ලද, මෙරට නිෂ්පාදිත අලංකාර කැටයම් සහිත රත්තරන් කඩුවක්, රිදී කඩුවක් හා කාලතුවක්කුවක් ඒ පිරිස ශ්‍රී ලංකා රජයට නැවත භාර දීමට සූදානමින් සිටිනවා. ‘ඒ දෙස බලාවත් මේ හීනමානයෙන් ගැලවියල්ලා’ කියා අපේ ජාතිකත්ව අනන්‍යතාවට ගරහන ඊට වෛර කරන පිරිස්වලට අපි කියනවා.
ග්‍රෙනේඩයේ උපත..
මේ සමගම මගේ මතකයට එනවා පෘතුගීසීන් සමග අපේ හමුදා සිදු කළ ‘මුල්ලේරියාවේ සටන’ පිළිබඳව. මේ පිළිබඳව සිංහල පොතපතෙහි නැති කාරණයක් පෘතුගීසි පොතපතෙහි දැකගත හැකියි. ‘සිංහල හමුදාවෝ එදා ග්‍රෙනේදා නැමැති ආයුධයකින් අපට පහර දුන්හ. එම ආයුධ පහරින් අපේ හමුදාවන්හි විශාල පිරිසක් මියගියහ; තුවාල ලැබූහ.’ කියලයි ඔවුන් ලියා ඇත්තේ. ඒ වගේම එම ආයුධයේ ස්වභාවය ගැන ඔවුන් කියන්නේ, ‘කුඩා යකඩ බෝල, වෙඩි බෙහෙත්, සේව නූලක් යොදා මෙය නිපදවා තිබිණි’ යනුවෙන්. මේකට ඉංග්‍රීසි හමුදා ‘ග්‍රෙනේඩ්’ කියා කියනවා. නමුත් අපි දන්නේ නැහැ ග්‍රෙනේඩයට උපත ලබා දුන්නේ අපේ රණකාමී මුතුන්මිත්තන් බව.
ඇමතිකමට ආභරණයක්…
මේ මහා ආර්ථික ව්‍යසනයට ආසන්නතම හේතුව යහපාලන ආණ්ඩුවේ අවුරුදු හතරහමාරට ඩොලර් බිලියන 12.5ක් ණයට ගැනීම බව අප පෙන්වා දුන්නා. ඉන්පසුව කුමක්ද සිදු වූයේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වුණාම ජනාධිපති ලේකම් කරගත්තේ පී. බී. ජයසුන්දරයි. පී. බී. ජයසුන්දර වැඩ කළේ බැසිල් රාජපක්ෂට උවමනා ආකාරයටයි. ගෝඨාභය රාජපක්ෂ වැඩ කළේ පී. බී. ජයසුන්දරට උවමනා ආකාරයටයි. අවසානයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිදු කර තිබුණේ බැසිල් රාජපක්ෂට වුවමනා දේ මිස අන් කිසිවක් නොවෙයි. අපි මේ සිදු වීමට නියමිත මහා ආර්ථික ව්‍යසනය පිළිබඳව කල්තියා දුටුවා. කැබිනට් මණ්ඩලය තුළ කතා කළා. නමුත් මේ අය එය පිළිගත්තේ නැහැ. අවසානයේ දී අපි 2022 මාර්තු දෙවැනිදා ‘මුළු රටම හරි මඟට’ නමින් සම්මන්ත්‍රණයක් තියලා මේ අවදානම ගැන රටට කීවා. ප්‍රතිඵලය වුණේ මමත් උදයත් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම. කෙසේ නමුත් අපි ඇමති ධුරය ආභරණයක් කර ගත්තු අය නොවෙයි. අපි හැමවිටම ඇමතිකමට ආභරණයක් වීමටයි බැලුවේ.
“මෙතෙක් නොකී කන්කසන්තුරේ සිමෙන්ති කතාව”
අපි කවදත් ලැබුණු ඇමති ධුරයට සාධාරණයක් කළ මිනිස්සු. අපිට වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දෙන්න පුළුවන් වුණා. ලබන ජනවාරි වන විට ඇඹිලිපිටිය කඩදාසි කම්හල රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ වැඩ පටන් ගන්නවා. අද වන විට කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් පරිශ්‍රයේ තිබෙන අබලි යකඩ ටික හොරාට විකුණන් කනවා. අපි එදා එක අබලි යකඩ කැබැල්ලක්වත් සොරකම් කිරීමට ඉඩ නොදී මාස අටක් තුළ සිමෙන්ති නිෂ්පාදනයට සැලසුම් සකස් කර තිබුණා. කම්හල් පරිශ්‍රය තුළ තිබූ අබලි යකඩ විකුණා ලැබෙන මුදල් ආයෝජනය කරලා මහා භාණ්ඩාගාරයෙන් සතයක්වත් නොඉල්ලා මේ රටේ ජනතාවට සහන මිලට සිමෙන්ති කොට්ටයක් ලබාදීමටයි අපි සැලසුම් හැදුවේ. රුපියල් බිලියන ගණනක අබලි යකඩ එතැන තිබුණා. අපි යුද හමුදාව යොදවා ඒවා රැක්කා. අමාත්‍යාංශයේ අවසර නොමැතිව සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයාට පවා එම කම්හල් පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩකඩ ලැබුණේ නැහැ. අපි සිදු කළ අධ්‍යනයකට අනුව එම පරිශ්‍රයේ ගොඩනැගිලිවලින් 75%ක් කුඩා ප්‍රතිසංස්කරණ සිදු කර යළි යොදාගැනීමට හැකි බව තහවුරු කරගත්තා. නමුත් මේ සියල්ල මැද අප අමාත්‍ය ධුරයෙන් ඉවත් කළාට පසුව සිදුව ඇති දේ ඔබට අද පැහැදිලිව ඇති.
“අරගලයේ නියම ප්‍රතිඵල”
සිදු වීමට තිබෙන මහා විපත ගෝඨාභය රාජපක්ෂ දුටුවේ නැහැ. බැසිල් රාජපක්ෂ ඔහුට එය දැක ගැනීමට ඉඩ තැබුවේ නැහැ. ‘මම මේක සතියෙන් විසඳනවා’ කීවාම ගෝඨාභය රාජපක්ෂ ඒක විශ්වාස කළා. අන්තිමේ දී මේක පුපුරා ගියේ ජාත්‍යන්තර බලවේගවලට වුවමනා ආකාරයේ බල හුවමාරුවකට මඟ පාදමින්. අද ‘අන්තරේට’ පන්න පන්නා ගැහැව්වත් ජුලී චන්ග් නෝනාගේ ‘පඬුපුල් ආසනය’ උණු වෙන්නේ නැහැ; අද එයා ඒවාට විරුද්ධව ට්විටර් පණිවිඩ නිකුත් කරන්නේ නැහැ. දැන් ජුලී චන්ග් නෝනා රනිල් වික්‍රමසිංහ මහත්තයා සමග යාල යනවා, සත්තුන්ට වතුර තිබෙනවාද, බලන්න. මේවා තමයි අරගලයේ නියම ප්‍රතිඵල. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ රට මේ මහා ආර්ථික ව්‍යසනයෙන් ගොඩගන්න උවමනා නැහැ. එයාට උවමනා මේ රට 1977 සිට ආපු වැරදි මොඩලයම තවදුරටත් පවත්වාගෙන යන්න. ඒ වැරදි මොඩලය නිසයි අපි අද හොම්බෙන් යන්නේ. ඒත් හොම්බෙන් යද්දිත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ, ‘ඒක තමයි උත්තරය’ කියලයි.
සැලැස්මක් නැතිව ඉදිරියට යන්න බැහැ!
දැන් මහ බැංකු අධිපතිවරයා කියනවා, ‘අපි බලාපොරොත්තු වෙනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් වාර්ෂික ණය පොලී වාරිකය ඩොලර් බිලියන 3 දක්වා අඩු කරගන්න; ඒ වගේම විදේශ වත්කම් සංචිතය ඩොලර් බිලියන 11 දක්වා ඉහළ දමා ගන්න’ කියා. විදේශ වත්කම් සංචිතය ඩොලර් බිලියන 11 දක්වා ඉහළ දමා ගැනීමට තිබෙන සැලැස්ම කුමක්ද? අපි හිතමුකෝ, කවුරුත් කියන සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමෙන් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා, කියා. නමුත් සංචාරක කර්මාන්තය අප මත පමණක් රඳා පවත්නා එකක් නොවෙයි. රුසියා – යුක්රේන යුද ගැටුම නිසා අද චීන ආර්ථිකයේ පවා කුඩා බිඳවැටීමක් තිබෙනවා. අපි තේරුම් ගත යුතුයි, සංචාරක කර්මාන්තයේ දියුණුව රඳා පවතින්නේ ලෝක තත්ත්වය මත බව. ඒ නිසා සංචාරක කර්මාන්තය මත පමණක් විශාල බලාපොරොත්තු තියාගෙන වෙනත් කිසිදු සැලැස්මක් නොමැතිව ඉදිරියට යන්න බැහැ.
ආර්ථිකය 11%කින් හැකිළිලා
2023 ජනවාරි සිට අප්‍රේල් දක්වා අපි ඇඟලුම් අපනයනයෙන් උපයාගෙන ඇත්තේ ඩොලර් මිලියන 318යි. 2022 ජනවාරි සිට අප්‍රේල් දක්වා අපි ඇඟලුම් අපනයනයෙන් ඉපැයූ මුදල ඩොලර් මිලියන 526ක්. ඇඟලුම් අපනයනයට අදාළව ගත්තාම ඒක සියයට 24ක අඩුවීමක්. ඒ විදිහට සෑම ක්ෂේත්‍රයකම අපනයන ආදායමේ අඩුවීමක් තිබෙනවා. අපනයන ආදායම වැඩි කරගන්න, දේශීය කර්මාන්ත බලගන්වන්න උපායමාර්ග නොමැතිව අපට ඉදිරි ගමනක් තිබිය හැකිද? ලෝක බැංකුව පැවසුවා, ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ මුල් මාස හය තුළ සියයට හතකින් හැකිළෙයි කියා. නමුත් එම කාලය තුළ අපේ ආර්ථිකය සියයට 11කින් හැකිළී තිබෙනවා. ආර්ථිකය හැකිළෙනවා කියන්නේ, රස්සා නැති වීම, මිලදී ගැනීමේ හැකියාව අඩු වීම, ව්‍යාපාර, කර්මාන්ත වැසී යාම යනාදියටයි. එතකොට වෙන්නේ අර්බුදයෙන් ගොඩඒම නොවෙයි, අර්බුදය තුළ වැළලී යෑමයි. කිසිදු අලුත් උපායමාර්ගික ප්‍රවේශයක් නොමැතිව වැරදි මාවතේම රට ඉදිරියට ගෙන යෑම නිහඬව බලා සිටිය යුතු තත්ත්වයක් නොවෙයි.
විපත පවා සැපතට හරවාලා…
‘විපත පවා සැපතට හරවාලා පෙරටම යමු ලංකා’ කියලයි අපි ජාතියක් හැටියට කිව්වේ. මේක නව උපායමාර්ගික ඥානයක් සමාජයට ලබා දීලා, නව ජීවන රටාවක් යෝජනා කරලා, නව චින්තනයක් සහිතව ජාතියක් ලෙස නැගී සිටින්න අපට ලබා දුන් අවස්ථාවක්.
සමගාමී ලැයිස්තුවත් අහෝසියි?
එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ මහත්තයා පරණ මාවතේම යන ගමන් ’13ක්’ උස්සා ගෙන එනවා. එයා බලන්නේ මේ අර්බුදය ඇතුළේ, කරගන්න බැරි වුණු හැම අලුගුත්තේරු වැඩක්ම කරගන්න. ජනතා ඡන්දයෙන් තේරී පත් වුණු ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් හෝ ප්‍රථම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ ඩී. බී. විජේතුංග කිසිදු අයුරකින් දහතුන්වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට කටයුතු කළේ නැහැ. නමුත් දෙවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා දහතුනෙන් එහාටත් යන්න හදනවා. එයා සමගාමී ලැයිස්තුව අහෝසි කරලා, බලතල මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර බෙදාදෙන්නත් හදනවා.
දෙමළ බෙදුම්වාදී දේශපාලන තක්කඩියන්ගේ ඕනෑඑපාකම්…
අපි දන්නවා මුලතිව් කුරුන්දි රජ මහා විහාරය අද මුහුණ පා ඇති තත්ත්වය. ඒ වගේම දේවානම්පියතිස්ස රජ දවස ඉදිකළ යාපනයේ තිස්ස රජ මහා විහාරයේ ආගමික වතාවත්වලටත් බාධා සිදුව තිබෙනවා. දැන් බලන්න, යාපනය දිස්ත්‍රික්කයට පසුව වැඩිම දෙමළ ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය කුමක්ද? කොළඹ දිස්ත්‍රික්කය. බහුතර ජාතියට තමන්ගේ අගනුවර බලය අහිමි වෙලා තිබෙන රට කුමක්ද? ශ්‍රී ලංකාව. කොළඹ දිස්ත්‍රික්කයේ බලය තිබෙන්නේ බහුතර ජන කොටසට නොවෙයි සුළුතර ජන කොටස්වලටයි, කියලා රටේ බහුතර ජන කොටසට හෘදයාබාධ හැදිලා ද? ඔවුන් කොහොමහරි අගනුවර බලය අල්ලා ගත යුතුයි, කියා හිතනවා ද? ඔවුන් කොළඹ තියෙන කෝවිල්වල වේල් කරත්ත එන විට ගල් ගහනවා ද? නැහැනේ. දෙවන වැඩිම දෙමළ ජනගහනය ඉන්නේ කොළඹ නම් මේ බෙදුම්වාදීන් හදන දෙමළ ඊළමකට එය ඇතුළත් කරගන්නවා ද? මෙතැන තියෙන්නේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ ඕනෑඑපාකම් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි, දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී දේශපාලන තක්කඩින්ගේ ඕනෑඑපාකම් පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.
නයිජර් වෙතින් අපිටත් පාඩමක්!
පසුගිය දිනවල අප්‍රිකාවේ රටක් වන නයිජර්වල හමුදා කුමන්ත්‍රණයක් සිදු වුණා. එහිදී ප්‍රංශ හිතවාදී ජනාධිපතිවරයා නිවාස අඩස්සියට රැගෙන නයිජර් හමුදාව තමන් අතට බලය ගත්තා. මුළු රටම ඒකට කැමතියි. ඒ ප්‍රංශය නයිජර්වල රත්තරන් නිධි කොල්ලකන නිසයි. එකම රත්තරන් නිධියක්වත් නැති වුණාට ප්‍රංශය ලෝකයේ විශාලතම රත්තරන් සංචිතයක් හිමි රටක්. නමුත් රත්තරන් නිධි විශාල ප්‍රමාණයක් හිමි නයිජර්වල සංචිතයේ එක රත්තරන් අවුන්සයක්වත් නැහැ. නයිජර්වල විදුලි බලය ඇත්තේ සියයට හතළිහකට පමණයි. ඔවුන්ට විදුලි බලය ලැබුණේ නයිජීරියාවෙනුයි. නයිජීරියාව නයිජර් හමුදා පාලනයට විරුද්ධයි. ඔවුන් ඉන්නේ බටහිර සමගයි. දැන් නයිජීරියාව නයිජර් ජනතාවගෙන් 40%ට ලැබුණු විදුලි සැපයුමත් නතර කරලා. බලන්න, බලශක්තිය ලබා ගැනීමට යම් රටක් මත යැපීම මොන තරම් භයානක ද? කියා. නයිජර් දිහා බලලාවත් අපි ඒ පාඩම ඉගෙනගත්තේ නැතිනම් අපටත් ඒ ඉරණමට මුහුණ දීමට සිදු වේවි.
BRICS හවුල සහ ලෝකයේ අනාගතය
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව යන රටවලින් සැදුම්ලත් BRICS ආර්ථික සහයෝගීතා සංවිධානයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, ඊජිප්තුව හා ආජන්ටිනාව ඇතුළු නව සාමාජිකයන් හය දෙනකු එකතු වුණා. මේ රටවල් ලෝකයේ විශාලම ප්‍රාග්ධන සංසරණයක් සභිත රටවල්. මේ BRICS හවුල මත තමයි ලෝකයේ අනාගතය රඳා පවතින්නේ. අද ප්‍රංශ ජනාධිපතිවරයා පවා කියනවා, ‘අපි BRICS සමග එකතු වීමට සූදානම්’ කියා. ප්‍රංශය තමයි BRICS සමග එකතු වීමට කැමති වූ පළමු යුරෝපා රට. ඔවුන් ජාත්‍යන්තර ගනුදෙනු, ඩොලර් වෙනුවට රත්තරන් සංචිත මගින් සිදු කිරීමට සූදානම් වෙනවා. මේක ලෝකය තුළ විශාල පරිවර්තනයක් සිදු වෙන වෙලාවක්. ඒ නිසයි මේ රට අද නිසි නායකත්ව මගපෙන්වීමක් යටතට ගත යුත්තේ.
“අපේ එකම සහ අවසාන ඉලක්කය”
රටේ නායකත්වයට අර පරණ පරඬැල්ම ආවොත්, වැඩ වෙනුවට අර කයිවාරු ගහන යෝධයෝ ගෙනාවොත් ඊට පස්සේ අපට ‘අම්මපා’ කියමින් තමයි ඉන්න වෙන්නෙ. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි, මේක මේ පොළොව වෙනස් විදිහේ නායකත්ව මගපෙන්වීමක් ඉල්ලා සිටින වෙලාවක් බව. ජාතිය විපතින් විපතට වැටී තිබෙන මේ වෙලාවේ, ජාතිකත්ව අනන්‍යතාව බලගන්වමින්, මුළුමහත් ජාතියම සෑම අතකින්ම නඟාසිටුවිය හැකි නායකත්වයක් තමයි අවශ්‍ය වන්නේ. අපේ එකම සහ අවසාන ඉලක්කය ඒ වෙනස් නූතන නායකත්ව මඟ පෙන්වීම මේ රටට, ජාතියට ලබා දෙන එක. අන්තිම 23 වැනි පැයේ දී හෝ ඒ යුතුකම ඉටුකරලීම සඳහා දැරිය හැකි සෑම ප්‍රයත්නයක්ම අප විසින් දරනු ලබනවා. වැනසීමේ ඉම දක්වා ගෙන යමින් තිබෙන මේ රටත් ජාතියත් ඉන් ගලවා ගැනීම සඳහා අපි දරනු ලබන ප්‍රයත්නයට ඔබගේ දායකත්වය ලැබිය යුතුයි. ඒ සඳහා ඔබ, ඔබගේ භූමියේ වගකීම සියතට ගත යුතුයි.
කාඩ්බෝඩ් වීරයන් වෙනුවට…
‘ලක් අම්මාට අමාරුයි’ කියලා හම්බකරගත් කාඩ්බෝඩ් වීරයෝ, ක්ෂණික වීරයෝ, කොන්ත්‍රාත් වීරයෝ වෙනුවට අතීතයේ මේ රට බේරාගත් අපේ මුතුන්මිත්තන් නිර්මාණය කළා හා සමාන, මේ රට, දැය, සමය වෙනුවෙන් කැප විය හැකි ගුණාත්මක බවින් යුත් ඇත්ත නායකයන් අද මේ රට ඉල්ලනවා. ඒ නායකයන් මේ රටේ ඉරණම් කතාව ලියන එක අතට ගත්තොත් විතරයි වැළලී යෑමේ ඉම වෙත ගමන් කරමින් තිබෙන මේ රට ඒ පාපී ඉරණමින් මුදවාගත හැක්කේ; ෆීනික්ස් පක්ෂියා අළු මතින් නැගිට්ටා වගේ මහා නැගිටීමකට අපට යා හැක්කේ.”
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික නිදහස් පෙරමුණේ කඩුවෙල මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී ශෂී පෙරේරා මහතා ඇතුළු උත්තර ලංකා සභාගයේ සාමාජික දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය නායකයෝ සහ මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ