Spread the News

අනෙක්‌ පක්‍ෂවල අදහස්‌ ඩෝසර් කරමින්
අගමැති අත්තනෝමතික ලෙස හැසිරෙනවා

– අනුර දිසානායක

අජිත් අලහකෝන්

අලුත් ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කාර්යයේදී අගමැතිවරයා අනෙකුත් පක්‍ෂවල අදහස්‌ ඩෝසර් කරමින් අත්තනෝමතික ලෙස හැසිරෙමින් සිටින බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11 දා) ප්‍රකාශ කළේය.

අගමැතිවරයා පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේ යෝජනාව අනෙක්‌ පක්‍ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම අයිතිය අහෝසි කිරීමක්‌ බවද කී දිසානායක මහතා එය ස්‌ථාවර නියෝගවලට පටහැනි යෝජනාවක්‌ බවද කීය.

පාර්ලිමේන්තුව තුළත් පක්‍ෂ නායක රැස්‌වීම්වලදීත් මේ ව්‍යවස්‌ථා සම්පාදන යෝජනාව පිළිබඳව අගමැතිවරයා හැසිරෙන්නේ අනෙක්‌ පක්‍ෂවල යෝජනා යටපත් කරමින්. අගමැතිවරයා ප්‍රමුඛ ආණ්‌ඩුව අත්තනෝමතිකව ක්‍රියා කරනවා. ව්‍යවස්‌ථාව ගොඩනැගීම කාගේවත් අත්තනෝමතික ක්‍රියාදාමයක්‌ නොවිය යුතුයි. ටී. එන්. ඒ. හෝ අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට හෝ අවශ්‍ය විදිහට ව්‍යවස්‌ථාවක්‌ සම්මත විය යුතු නෑ. කාගේ හෝ බලහත්කාරයෙන් ව්‍යවස්‌ථාවක්‌ සම්මත විය යුතු නෑ” යෑයි ද අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසුවේය.