Thu. Nov 21st, 2024
Spread the News

ආරියතිලක
2024.08.07

අපිත් හැදුවේ බංගලාදේශය අරගලය වගේ මෙහෙත් කරන්නයි.. නූලෙන් මිස් වුනා..- ලාල් කාන්ත

2024.08.06 දින lanka c news ලංකා සී නිව්ස් වෙබ් පිවුවෙහි වාර්තා කර තිබූ ප්‍රවෘතිය ඒ ලෙසින් උපුටා දක්වමු.

බංගලාදේශ අරගලය මෙන් මෙරට පාර්ලිමේන්තුවද අල්ලා ගැනීම සඳහා පහුගිය අරගල සමයේ අවස්ථාවක් තිබූ බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
ගාලු මුවදොර අරගලය විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා දැමූ පසු වහාම අරගලය පාර්ලිමේන්තුවට හැරවිය යුතුව තිබූ බවද හෙතෙම කියා සිටියි.

තම පක්ෂය එම එම කාර්යය සඳහා මූලිකත්වය ගත් නමුත් තැන තැන විසිරී පැතිරී සිටි අරගලයේ සිටි නායකයන් යැයි කියාගත් විවිධ අය එය වළක්වා ලනු ලැබූ බවද හෙතෙම පැවසුවේය.

අනතුරුව ඉතුරු පාර්ලිමේන්තුවෙන් බිඳ වැටුණු කුළුණ යළි ගොඩනැගුණු බවත් හෙතෙම එහිදී කීය.

අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවෙන් පන්නා දැමූ අරගලයෙන් සත පහක වැඩක් නොවූ බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පලකරන ලද්දේ දේශීය ආදම් වෘත්තිකයන්ගේ 16 වන සමුළුව න් අමතමිනි.
(උපුටා ගැනීම අවසන් lanka c news)

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ මේ ප්‍රකාශය ගැන විමසා බැලීම වටී.

ජනතා විමුක්ති පෙරමුණ යනු මාක්ස් ලෙනින් වාදය මූලික කර ගත් කොමියුනිස්ට්වාදී දේශපාලන පක්ෂයක්; මාක්ස් ලෙනිනින්වාදයේ පදනම, කාල් මාක්ස්ගේ සහ පෙඩ්රික් එංගල්ගේ කොමියුනිස්ට් ප්‍රකාශනය (1848 කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් දෙදෙනා විසින් ) කාල් මාක්ස්ගේ සමකාලීන ඔහුගේ දීර්ඝකාලීන මිත්‍රයා වන ප්‍රෙඩ්රික් එංගල්ස් විසින් රචිත 1847 “කොමියුනිස්ට් වාදයේ මූලධර්ම” සහ කාල මාක්ස් විසින් 1967 “ප්‍රාග්ධනය” කෘතිය මත පිහිටා ඇත.
( කාල් මාක්ස්ගේ ඇවෑමෙන් ප්‍රෙරඩ්රික් එංගල්ස් විසින් “ප්‍රාග්ධනය” කෘතියේ දෙවන කොටස සම්පූර්ණ කර ඇත)

පසු කාලයේ වී .ඇයි ලෙනින් විසින් 1917 රුසියාවේ ඔක්තෝම්බර් ව්ප්ලවයෙන් පසු ඔහූගේ අත්දැකීම් හා මත අනුව මාක්ස් වාදයට අර්ථකතන හා උපාය මාර්ග දක්වා ලියන ලද ලිපි හා ගන්ථ මහත් රාශියක් විය. මාක්ස්ගේ හා ලෙනින්ගේ මත ඒකාබද්ධ කර මාක්ස්-ලෙනිනවාදය ලෙස හදුන්වයි. මෙයට අමතරව ලෙනින්ගේ සෝවියට් රතු හමුදාවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ, යුක්‍රේනයේ උපන් ලියෝන් ට්‍රොස්කි විසින් ද මාක්ස් ලෙනින් වාදය තව දුරටත් අර්ථ විග්‍රහ කොට ලියන ලද ලිපි හා ගන්ථ ද ඇත. එය ට්‍රොස්කි වාදය ලෙස ද හදුන්වයි. එම ට්‍රොස්කිවාදය ද කොමිනිස්ට්වාදය ඉදිරියට ගෙන යාමට හේතු විය. රුසියාවේ සෝවියට් සමූහාණඩුවේ පාලක ජෝසෆ් ස්ටාලින්ගේ මර්දන වැඩ පිළිවෙල හේතුවෙන් ලියෝන් ට්‍රොස්කිට ජීවිත තර්ජන ඇති විය. එහි ප්‍රතිපලයක් ලෙස ජෝසෆ් සටාලින් විසින් ලියෝන් ට්‍රොස්කි ඝාතනය කරවන ලදී. ලියෝන් ට්‍රොස්කි විසින් ලියන ලදී. තිස් දහසක් පමණ වූ ලිපි හා ලේඛන සියල්ල කොමියුනිස්ට් වාදයට උපකාර පිණිස ලියා ඇත.

කාල් මාක්ස්, පෙඩ්රික් එංගල්ස්, වී. අයි.ලෙනින්, සහ ලියෝන් ට්‍රොස්කිවාදී කොමියුනිට් වාදය මූලධර්මය කර ගත් කිසිදු පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදය, නියෝජිත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ නැත. ඒ සියල්ල ඔවුන් දකින්නේ ධනේශ්වරවාදය සෘජුව පෝෂණය කරන අවයව ලෙස ය. ඔවුන් පූර්ණ විශ්වාසය තබන්නේ සන්නද්ධ අරගලය මත ය. හෙවත් විප්ලවයකින් බලය ගැනීම ය.

කොමියුන්ට්වාදී පක්ෂයක මූලික න්‍යායාත්මක හරයක් ඇත. එනම්:-

1 ධනේෂ්වරවාදය ප්‍රතික්ෂේප කිරීම;

ධනවාදය පවතින ආර්ථික ක්‍රමයෙන් සහ නිෂ්පාදන ක්‍රියාවන් හේතුවෙන් පන්ති දෙකක් ඇති කරයි
1 . නිර්ධන කම්කරු පන්තිය,

  1. කර්මාන්තවලට ප්‍රාග් ධනය යොදා කරමාන්ත කරන සුළුතර හාම්පුතුන් වන ධනපති පන්තිය. මාක්ස්ගේ න්‍යායට අනුව ශ්‍රමය මත යැපෙන සමාජයේ බහුතර ජනතව කම්කරුවෝ. මොවුහු මුදලට ශ්‍රමය විකුණා ජීවත් වෙති.
    සුළුතරයක් වූ කර්මාන්ත ශාලා හිමිකරුවෝ කම්කරුවන්ගෙන් ශ්‍රමය සූරා කෑමෙන් ලාභ ලබති.
    ශ්‍රමයෙන් ඇති කරන ලාභය “අතිරික්ත ආදායම හෙවත් අතිරික්ත වටිනාකම” ලෙස කාල් මාක්ස් හදුන්වයි. කර්මාන්තශාලවක වුව ද සියලු කාර්මික පිරිවැය සහ ඒ නිෂ්පාදිත භාණඩ විකිණීමෙන් ලබන ලාභය ( නිෂ්පාදන පිරිවැය කපා හැර ඉතිරිය) අතිරික්ත ආදායම හෙවත් අතිරික්ත වටිනාකම ලෙස මාක්ස් හදුන්වයි.
    ඒ අතිරික්ත ආදායම හාම්පුතුන් විසින් ඔවුන්ගේ ප්‍රාග් ධනයට එකතු කර නැවත නැවත භාණ්ඩ නිෂ්පාදනයට යෙදවීමෙන්
    තව තවත් ශ්‍රමය සූරා කෑමෙන් අතිරික්ත ආදායම් වැඩී යාම. ඒ අතිරික්ත ආදායම ධනපති පංතිය තව තවත් ශක්තිමත් කිරීම; එයට අනුරූපීව නිර්ධන පංතිය වැඩී යෑම. නිර්ධන පංතියට රැකියාවල් ලබා දිය හැක්කේ ප්‍රාග්ධනයට පමණක් බව ප්‍රෙඩ්රික් එංගල්ස් කියා ඇත. නිර්ධන පංතියේ වැඩීම ස්ථීර ලෙසම ප්‍රාග්ධනයේ වැඩීමට අනුරූප බව ද ප්‍රෙඩ්රික් එංගල්ස් කියයි.

2.. ධනේෂ්වරවාදී දේශපාන පාලන ක්‍රම ප්‍රතික්ෂේප කිරීම. රාජාණ්ඩු ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යූහයන් ඇති පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය,
ලිබරල්වාදය ,නව ලිබරල් වාදය , ධනේෂ්වර පෙඩරල් වාදය, ආදී සියලු පාලන ක්‍රම ප්‍රතික්ෂේප කරනවා ඇත.
ධනවාදී කවරවූ හෝ විධායක ජනාධිපති ධුර සහිත පාලන ව්‍යූහයන් සහ ඉහත පාලන ව්‍යූහායන් ක්‍රියාත්මක කරන ආණඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති අණ පනත්, අධිකරණ පොලිස් හමුදා, යුද්ධ හමුදා, ගුවන් හමුදා ආදී සියල්ල ප්‍රතික්ෂේප කිරීම,

එය ප්‍රෙඩ්රික් එංගල්ස් කියා ඇත්තෙර් මෙසේ ය.

“සමාජයේ ප්‍රථම පංතිය බවට පත්වූ ධනපති පංතිය දේශපාලන ක්ෂේත්‍රයේද තමා ප්‍රථමයා බව ප්‍රකාශ කළේය. නෛතික වශයෙන් ස්වාධීන තරඟය පිළිගන්නා වූද, නීතිය ඉදිරියේ ධනවාදී
සමානත්වය මත පදනම් වූද නියෝජිත ක්‍රමයක් මගින් එය කරන ලදී. නිදහස් තරඟය ව්‍යවස්ථානුකූල ලෙස පිළිගැනිණි. යුරෝපීය රටවල එය ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු ක්‍රම මඟින් ක්‍රියාවට යෙදවිණි. ව්‍යවස්ථානුකූල රාජාණ්ඩුවල චන්ද බලය ඇත්තේ සෑහෙන ප්‍රාග්ධනයක් සතු අයට, එනම් ධනපති පංතියට පමණකි. මේ ධනපති චන්ද දායකයෝ, ධනපති මන්ත්‍රී නියෝජිතයින් තෝරා පත් කරති. ධනපති මන්ත්‍රී නියෝජිතයින්ට අයබදු නොගෙවීමේ වරප්‍රසාදය ඇත. ඔවුහු ධනපති ආණ්ඩුව තෝරා පත් කරති.”

  1. නිර්ධන පන්ති ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය තැබීම, මෙයට කම්කරු, ගොවි. ශිෂ්‍ය යන මුලික පිරිවර ලෙස දක්වත්. ගොවි කම්කරු දෙපිරිස ඒකාබද්ධ කර “ කම්කරු ව්‍යාපාරය සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු ශිෂ්‍ය ව්‍යාපාරය යන පිරිස මෙහි මූලික ම නිර්ධන පංති පෙරමුණු වේ.
    මේ පිරිස් නොමැතිව කොමියුනිස්ට් දේශපාලනයක් ලොව කිසි තැනක නැත. අනෙක් සියලු පිරිස් ගොඩ නගන්නේ මේ පිරිස් මූලික කර ගෙන ය.
  2. ආයුධ සංනද්ධ විප්ලවයක් මගින් බලය ලබා ගැනීම හෝ මහජන කැරැල්ලක ඇති වූ අවස්ථාවකදී එයට නායකත්වය දී බලය ලබා ගැනීම. මෙය ද ආයුධ සංනද්ධ නොවී කළ නො හැක. කොමියුන්ස්ට් අදහස් අනුව එය ද ප්‍රායෝගිකව කළ නො හැක්කේ පාලන බලය හිමි ධනේෂ්වර වාදී සුළුතර පාලයකයන් විසින් ඔවුන්ගේ ආයුධ සංනද්ධ හමුදා යොදා කැරැල්ල මර්දනය කරන බැවිනි.

කාල් මාක්ස්ගේ සහ ප්‍රෙඩ්රික් එංගල්ස්, වී. අයි.ලෙනින් ,ලියෝන් ට්‍රොස්කි, ආදි සියලු කොමියුනිස්ට් න්‍යායාචාර්යවරුන් කියා සිටින්නේ ප්‍රතිගාමී ධනේෂ්වර සුළුතරය විසින් නිර්ධන පංති සටන් ව්‍යාපාරය ආයුධ බලය යොදා මර්දනය කරන බැවින් එයට විරුද්ධව සංවිධානය විය යුතු බව ය. ආයුධ සංනද්ධ විය යුතු බව ය.

  1. විප්ලවය විසින් කම්කරු පන්තිය බලයට පත් කිරීමත්, සමාජය කොමියුනිස්ට් නිෂ්පාදන ක්‍රමයකට පරිවර්තනය කිරීමට අවශ්‍ය සියලු උපායමාර්ග ගැනීම සඳහා මූලික අංගය වන දේපලවල පුද්ගලික අයිතිය අහෝසි කොට පොදු අයිතියට පත් කිරීම. කොටින්ම කියතොත් පුද්ගලික දේපල ක්‍රමය අහෝසි කිරීම.
    එය ,ප්‍රෙඩ්ක් එංග්ල්ස්, කොමියුනිස්ට් මූල ධර්මවල දක්වා ඇත්තේ මෙසේ ය.

“නිර්ධනයාට සිය ස්වාධීනත්වය ලැබිය හැක්කේ පුද්ගලික දේපොල අයිතිය පොදුවේ විනාශ කිරීමෙන් පමණි.”

එමෙන් ම
“කොමියුනිස්ට්වරු සිය ප්‍රධාන ඉල්ලීම හැටියට පෞද්ගලික දේපොළ
අහෝසි කිරීම සම්පූර්ණයෙන්ම නිවැරදි ලෙස ඉදිරිපත් කරති.”

කොමියුනිස්ට්වාදී පක්ෂයක මධ්‍ය කාරක සභාව ඉහත දැක්වූ මාක්ස් ලෙනින්වාදී මූල ධර්ම ඉක්මවා නොයයි. කොමියුනිස්ට් වාදී පක්ෂයක් දේශපාලනය කරන රටේ, භූමියේ ඇති විෂමතාවයන් දෙයාකායකින් ප්‍රයෝජනයට ගනී.

1 . ‍රටේ දේශපාලන බලය ඇල්ලීමට, මහජන අරගල හෝ සංනද්ධ ක්‍රියාකාරකම් මෙහෙයවීමට උපායමාර්ගිකව ප්‍රයෝජනය පිණිස,

  1. දෙවැන්න නම් රටේ දේශපාලන බලය ඇල්ලීමෙන් පසු රටේ භෞමික සම්පත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන, ආර්ථික සංවර්ධන කටයුතු උපරිම වශයෙන් සාධනය කර ගැනීම පිණිස.

රටේ මානව සම්පත සම්බන්ධයෙන්
සමාජ , ආර්ථික, සංස්කෘතික වශයෙන් ඇති සියල්ල මැනවින් අධ්‍යනය කර කොමියුනිස්ට් මතවාදයට උපාය මාර්ගිකව පෙළ ගැස්වීම අදියරෙන් අදියර කරත්.

ඒ සදහා
ශිෂ්‍ය සටන් ව්‍යාපාරය (විශ්ව විද්‍යාල) සහ
කම්කරු පිරිස් (ගොවි- කම්කරු)
මූලික ලෙස බලගැන්වීම් කරත්. (වෘත්තීය සමිති)

ඒ සඳහා පක්ෂ සාමාජිකයන් අතරින් තෝරාගත්, විශේෂයෙන් කොමියුනිස්ට් මතවාදය කාවැද්දිය හැකි ක්‍රියාශීලී, පිරිස් ගෙන් දේශපාලන අංශය ලෙස පුහුණු කරත්.

ඔවුන්ට මනා ලෙස අධ්‍යපනික වශයෙන් කොමියුනිස්ට් මතවාදය උගැන්වීම කරයි. මොවුන් අතරින් යම් කාලයක් පුහුණු කළ පසු විශ්වාසය තහවුරු වූවන්, පූර්ණ කාලීන (full time) සාමාජිකයන් ලෙස පක්ෂ කටයුතුවලට යොදවනු ලැබේ. මේ පූර්ණ කාලීන සාමාජිකයන් මනා ලෙස අදියරෙන් අදියර කොමියුනිස්ට් මතවාදය ඉගන ගත් පිරිස්වලින් සමනවිත ය. සමාජයට මොවුන්ගේ කිසිදු වෙනසක් බැලූ බැල්මට නො පෙනේ. මොවුහු තම දේශපාලන මතවාදය පතුරුවා හරින වාහකයෝ ය. එසේ ම ඔවුන් පක්ෂ ක්‍රියාකාරකම් බලවත් කැපවීමෙන් ඉටු කරන අධික කැප කිරීම් ඇති අයවලුන් වේ. මොවුන් තම ඉලක්ක ගත දේශපාලන දැනුමෙන් ද ඒ සදහා වූ පක්ෂ ඉහළ සාමාජිකයන්ගෙන් ලත් පුහුණුවද ඇති පුද්ග්ලයෝ වෙත්. මේ සඳහා ලොව බොහෝ රටවල කොමියුනිස්ට් පක්ෂ සඳහා ශිෂ්‍ය සංවිධානවලින් සමාජිකයන් බඳවා ගැනේ.

මාක්ස් විසින් සහ ලෙනින් විසින් ශිෂ්‍ය (සටන්) ව්‍යාපාරය බලගැන්විය යුතු බව අවධාරණය කොට ඇත.

ලෝකයේ තිබෙන කොමියුනිස්ට් නොවන දේශපාලන පක්ෂ සහ කොමියුනිස්ට් පක්ෂයක ඇති වෙනස මෙයයි. අනෙකුත් සියලු දේශප්ලන පක්ෂවලය සාමාජිකයන් බැදෙන්නේ
රැකියාවක් ගැනීමට හෝ
ඉඩමක් ගැනීමට හෝ
කුමන හෝ දේශපාන හයියෙන් ආර්ථික ලාභයක් හෝ දේශපාලන වාසියක් ගැනීමට හෝ යන කරුනක් ඉෂ්ට කර ගැනීමේ අභිලාෂ ඇතිව ය.

කොමියුනිස්ට් පක්ෂයක පූර්ණ කාලීන සාමාජිකයින් මේ කිසිදු බලපොරොත්තු නැති තම පක්ෂයේ අරමුණ ඉෂ්ට කිරීමට ම කැප වූ පිරිසකි.

මේ පිරිස් සමාජයේ සිටිය ද විශේෂයක් නො පෙනේ. මොවුන්ගේ දේශපාලන කටයුතු රාජය ආරක්ෂක අංශ වලින් සහ අනෙකුත් දේශපාලන පක්ෂවලින් වහන් වී කළයුතු බැවින් ප්‍රවේශම් සහගතව කිරීමට ඔවුන් වග බල ගනී.

මාක්ස ගේ සහ සියලු කොමියුනිස්ට් න්‍යායාචාර්යන්ගේ ඉගැන්වීම අනුව සංනද්ධ බලය කොමියුනිස්ට්වාදී පක්ෂයක අනීවාර්ය සාධකයක් බව ය

ඔවුන් ඒ සඳහා ක්‍රියා කරනවා ඇත. ලෝකයේ කොමියුනිස්ට්වාදී රාජ්‍ය බලය අත් කර ගත් සියලු රාජ්‍ය හෙවත් රුසියාව, චීනය, කිව්බාව, වියට්නාමය, උතුරු කොරියාව
ලාඕසය යන සියලු රටවල් ආයුධ සක්නද්ධ බලයෙන් රාජ්‍ය බලය ලබා ගත් රාජ්‍ය වේ. උතුරු කොරියාව මහජන සංනද්ධ අරගලයකින් බලයට පත් නො වුන ද උතුරු කොරියාව ජපාන අධිරාජ්‍යයට යටත්ව තිබූ අතර දෙවන ලෝක සංග්‍රාමයෙන් ජපානය පැරදීමත් සමගම උතුරු කොරියාව සෝවියට් සමූහාණ්ඩුවේ බලයට නතු විය. ඒ අතින් ගත්ත ද, එකල සෝවියට් සමූහාණ්ඩුවේ ආයුධ සංනද්ධ බලයේ රැකවරණය මත උතුර් කොරියා සමූහණ්ඩුව බිහි වී ඇත. කුමන ආකාරයෙන් ගත්ත ද කොමියුනිස්ට් රාජ්‍යයක් ඇති වීමට සහ ඇති කොම්මියුනිස්ට් රාජ්‍යයක පැවැත්මට ආයුධ සංනද්ධ භාවය අත්‍යවශ්‍ය සාධකයකි.

කාල් මාක්ස්, පෙඩ්‍රික් එංගල්ස්, වී.අයි.ලෙනින්, ලියෝන් ට්‍රොස්කි ආදී කොමියුයුනිස්ට් න්‍යායාචාර්යවරු කම්කරු පංති සටන් ව්‍යාපාර අනීවාර්යයෙන් ම ආයුධ සංනද්ධ විය යුතු බව අවධාරණය කර ඇත.

නිර්ධන පංති විප්ලයේ යුද්ධ වැඩ පිළිවෙළ ගැන වී අයි.ලෙනින් කියා සිටින්නේ
“අපගේ සටන් පාඨයවිය යුත්තේ ධනපති පංතිය පරාජය කිරීම, එහි දේපල අසන්තක කිරීම හා එය නිරායුධ කිරීම සඳහා නිර්ධන පංතිය ආයුධ සංනද්ධ කරනු යන්නය.විප්ලවවාදී පංතියට අනුගමනය කළ හැක්කේ එම උපක්‍රම පමණය.”
මේ ආකාරයෙනි.
ලෙනින් තෝරාගත් කෘති වෙළුම් 12(4)

මේ නයින් බලන කල ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ මේ
මේ කියුම් එතරම් අරුමයක් නො වේ. එසේ වුව ද මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාලනය හොබවන් බැවින් මේ කීම බරපතල ය. ව්‍යවස්ථාදායකය හෙවත් පාරිමේන්තුවට කරන ලද නිග්‍රහයකි. හෙවත් ජනතා පරමාධිපත්‍ය තුට්ටුවකට නො සලකා හැරීමක් බව බැලූ බැල්මට පෙනේ.එසේ වීම නිදහස් නිවහල් රටකට සුදුසු නැත. මේ ප්‍රවෘතියෙහි ඇති කියුම් කියවන ඇත්තෝ මේවා හොදින් තේරුම් ගැනීම් වැදගත්. කැලෑ නීතිය ගැන කතා හොඳටම ඇති බව ද නො කියා ම බැරි ය. මේ රටේ ජීවත් වන බහුතර ජනතාව බෞද්ධාගමික සහ ජීවනය අගයන බොදුනුවන් බව අමතක නොකළ යුතු ය. හීන විසමාචාර බලහත්කාරය ගරු කරන්නේ නැත.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන අපට ගැටලු නැත. ඔහුට ඒ සඳහා ඇයිතියක් ඇත.

“ගාලු මුවදොර අරගලය විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා දැමූ පසු වහාම අරගලය පාර්ලිමේන්තුවට හැරවිය යුතුව තිබූ බවද හෙතෙම කියා සිටියි.”

මේ වැකියෙහි “ වහාම අරගලය පාර්ලිමේන්තුවට හැරවිය යුතුව තිබූ බවද” යන වදන්න් පෙළ අනුව හොඳයි! පාර්ලිමේන්තුවට අරගලය හැරවීම වුණා යයි සිතමු; එයින් කුමක් ද බලාපොරොත්තු වන්නේ. අපගේ අදහස පාර්ලිමේන්තු බලයට කිසි දෙයක් වන්නේ නැත. හේතුව පාර්ලිමේන්තු බලය ඇත්තේ දියවන්නා ඔයේ පිහිටා ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ නො වේ. පාර්ලිමේන්තු බලය හෙවත් ව්‍යවස්ථාදායක බලය ජනතාවගේ පරමාධිපත්‍ය බලය අනුව ජනතාවගේ ඡන්දයෙන් තෝරාගත් හා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත නියෝජන බල ය. එම බලය ගොඩනැගිල්ලකට අයත් නැත. සභා ගර්භයට අයත් නැත. එසේ වුව ත් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රැස් වීමට සභා ගර්භයක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උරුම පාර්ලිමේන්තුවේ සියලු කාර්ය සහ කර්තව්‍යයට කිරීමට සමත් සියලු පහසුකම් සහිත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඇවැසි ය. නමුත් ඒ ගොඩ නැගිල්ල බලහත්කාරයෙන් පිරිසක් අත්පත් කර ගත් පමණින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අහිමි වන්නේ නැත. ගිලිහී යන්නේ නැත. අන්සතු වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිශ්ප්‍රභා වන්නේ නැත. ඉතිහාසයේ ඇතැම් අවස්ථාවල වෙනත් සතුරු හමුදා හෝ ආයුධ සංනද්ධ පිරිස් යුද බලයෙන් රටවල් අල්ලා ගත් පසු ඔවුන්ගේ යුද බලය පා, පවතින පාර්ලිමේන්තු බලය අහෝසි කර වෙනත් පාලන ඒකකයන් ස්ථාපිත කරත්. එය “අවියේ බලහත්කාරය” මිස රාජ්‍යයේ ස්වධිපත්‍ය නොවේ. උරුමය නොවේ. යුක්තිය නොවේ.
ජන සම්මතවාදය නොවේ.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අරගල කරුවන් අත්පත් කරගත්තා නම් එහි වූ පාර්ලිමේන්තුව සතු ලිය කියවිලි ඇතුලු එහි සතු, චංචල නිශ්වල දේපොල සම්පූරණයෙන් ම හෝ ‍යම් කොටසත් හෝ විනාශයට ලක්වීමට ඉඩ තිබිණි. එසේ වුවත් පාර්ලිමේන්තුවේ ව්‍යවථාදායක බලය අන්සතු නොවේ. අත් නොහැරේ.
පාර්ලිමේන්තුව සතු සත්‍ය සටහන් පිටපත් විනශ වීම හේතුවෙන් යම් දුෂ්කර කම්වලට මුහුණ දිමට සිදුවෙත්.

හොඳයි! ඒ සියල්ල සිදු වුවත් පාර්ලිමේන්තු බලය ද යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා, පොලිස් හමුදා, සිවිල් ආරක්ෂක බලකා බලය ද අහෝසි නොවේ. විසිරී නොයයි. කථානයකවරයාට කුමන හෝ ස්ථානයක අරක්ෂක හමුදවේ රැකවරණ මත පාර්ලිමේන්තුව රැස් කළ හැක. එමගින් බහුතර මන්ත්‍රී සංඛාවේ එකතාවය මත ජනාධිපතිවරයා ඉවත් වීමෙන් පුරප්පාඩු වූ එම ජනාධිපතිධූරයට අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව මසක කාලයකට පත් වීය හැක. ඊට පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බහුතර එකඟතාවයෙන් හිස් වූ ජනාධිපති ධූරයේ ඉතිරි කාලය සඳහා ජනාධිපතිවරයෙක් පත් කර ගත හැක. නව ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන ව්‍යස්ථාව සහ මහජන ආරක්ෂක ආඥා පනතේ විධි විධාන ප්‍රකාරව හදිසි නීතිය පැනවීමත් අවශ්‍ය නම් ඇදිරි නීතිය පනවා රටේ ආරක්ෂාව සුරක්ෂිත කළ හැක. අවශ්‍ය නම් යුධ නීතිය Marshall Law පැන විය හැක. එයට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අදාල නැත. ව්‍යවස්‍ථාදායක බලය ඇත්තේ ගොඩනැගිල්ලේ නොවේ.

එබැවින් සිවිල් අරගලයන් මගින් දූෂිත පාලකයන් පන්නා දැමිය හැකි වුව ද රටේ රාජ්‍ය බලය කැරලි සංවිධායකයන් අතට පත් වීමට හේතු විරල ය. නැතුවා නොවේ. ශ්‍රී ලංකාව වැනි රටක එය හිතන තරම් පහසු නො වනවා ඇත. “කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය” කියන පැරණි කියමන මෙහිදී සිහියට නැගීම යහපත් වෙනවා ඇත.

Protected by Security by CleanTalk