Sat. Jan 18th, 2025
Spread the News

ආරියතිලක
2024.11.23

“අපි අපේ දෙය්යෝ කියල හිතන්නේ ප්‍රභාකරන්ව”

ඉහත දැක්වූයේ 2024 නොවැම්බර් 14 දින පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්දයෙන් තේරීපත් වූ අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයකි.

යම් පුද්ගලයෙකු දෙවියෙකු ලෙස යම් තැනැත්තෙකු විසින් අදහන්නේ නම් ඒ පුද්ගලයා දෙවියෙකු ලෙස ඇදහීමට තරම් හේතුවක් අදහන්නාට තිබිය යුතු ය. ඒ දෙවියෙක් ලෙස ඇදහීම කරනුයේ අදහන අයට හෝ ඒ අදහන ජන කොට්ඨාශයට ඔහුගෙන් සිදු වී ඇති කැප කිරීම, උපකාරය, පරිත්‍යාගය හෝ සේවය හේතුවෙනි. මෙහි ප්‍රභාකරන් ලෙස
හදුන්වන්නේ එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් බව, අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයේ එම විඩියෝවෙහි ඉදිරියට කරන ප්‍රකාශ මගින් පැහැදිලි ය.

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දර්ශනය සහ වෑයම ද ඔහු නියෝජනය කළ දෙමළ ජනතාවගේ ස්වයංපාලන අයිතිය පිළිබඳ සංකල්පය ක්‍රියාවට නංවා ගැනීමට සංනද්ධ සටන් භාවිතය සහ දේශපාලන උපාය මාර්ග ද සැලකිල්ලට ගෙන “අපි අපේ දෙය්යෝ කියල හිතන්නේ ප්‍රභාකරන්ව” යන කියමන පිළිබඳව සලකා බැලීම වටී. වේලුපිල්ලේ ප්‍රභාකරන් කළ කී දෑ සියල්ල කේන්ද්‍ර ගත වී තිබුණේ ලංකා රාජ්‍ය බෙදා වෙන් කර උතුරු නැගනහිර වෙන ම රාජ්‍යයක් අති කර ගැනීමට ය. ඒ උතුරු නැගනහිර දෙමළ වූ ජනයා සඳහා ම ය. අනෙක් කිසිදු ජන කොට්ඨාශයක් කිසි ලෙසකින් ඔහු නියෝජනය කිරීමක් නොවී ය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ දෙමළ ජනයා සඳහා වූ බෙදුම්වාදය ය. ඒ සඳහා ගත් උපාය මාර්ග ලංකා රජයට විරුද්ධව ත්‍රස්තක්‍රියා ඇති කිරීම සහ රාජ්‍ය විරෝධී යුද්ධයට අවතීර්ණ වීම ය.

එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලංකා රජය විසින් ද ඉන්දියාව(1992), එක්සත් රාජ්‍යධානිය 2001 මාර්තු 29 සිට)ආදි රටවල තහනම් කෙරෙණි. ඇමරිකා එකසත් ජනපදය(1997) එරටෙහි අරමුදල් එකතු එල්.ටී.ටී.ඊ.යට තහනම් කෙරෙණි. රටවල් 21 න් සමන්විත යුරෝපා සංගමය (2006), කැනඩාව(2006), මැලේසියාව (2014)යන රටවල ද එල්.ටී.ටී.ඊ ය තහනම් කෙරෙණි.

අන්තර ජාතික වශයෙන් ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස නම් කරන ලද ත්‍රස්ත ලැයිස්තුවේ ( List of designated terrorist groups ) එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත කර ඇත.

මේ ආකාර දේශීය හා විදේශීය වශයෙන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් ලද එල්.ටී.ටී.ඊ.සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ව “අපි අපේ දෙය්යෝ කියල හිතන්නේ ප්‍රභාකරන්ව” යනුවෙන්, කළ ප්‍රකාශය අනුව පැහැදිලි වන කාරණය වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මතවාදය සහ ඒ සියලු ක්‍රියාවන්හි ඉලක්කය වන ලංකා භූමියේ උතුර නැගනහිර බෙදා වෙන් කර වෙන ම රාජ්‍යයක් ඇතිකිරීමේ අභිප්‍රාය, අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිගන්න බව ය.

ප්‍රභාකරන් විසින් රට බෙදා වෙන් කිරීමේ අරමුණ ඇතිව කළ කී දෑ සියල්ල පිළිගන්නා බව ය. ඉදිරියට අයුධ සංනද්ධ අරලගලයක් නො කළ ද මෙයින් ගම්‍ය වන්නේ, ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී අභිප්‍රාය අනුව ලංකා භූමිය බෙදා වෙන් කිරීම සදහා අවශ්‍ය නෛතික බලය, දමිළ ඩයස්පෝරාව මගින් සාධනය කිරීම ය. ඒ සඳහා දමිළ ඩයස්පෝරාව නෛතික වශයෙන් දැන් උත්සාහ කරමින් සිටින්නේ ඒ සඳහා ඇවැසි නෛතික වශයෙන්, ලංකා රජයට අන්තර්ජාතික අපරාධ අධිකරණයේ දෙමළ ජනතාව සංහාරය කළේ යයි යුද අපරාධ චෝදනා ගොනු කිරීමට පොටක් පාදා ගැනීමට ය. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ, උතුරු නැගනහිර දමිළ ජනතාවට ස්වාධිපත්‍ය පෙන්වීමට නො හැකි බැවින් ලංකා රජය එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාද කිරීමෙදී වූ සටන් වලදී දෙමළ ජනතාව සංහාරය කළේයයි චෝදනා ගොනු කර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී එම චෝදනා සම්මත කර ගැනීමත් අන්තර් ජාතික අපරාධ අධිකරණයේ නඩු පවරා ලක් රජය වරදකරු කර තීන්දුවක් ලබා ගැනීමටත් ය. එමගින් උතුර නැගනහිර බෙදුම්වාදයේ පළවන අදියර, නෛතික වශයෙන් සපුරා ගැනීම ඔවුන් උත්සාහ කරනවා ඇත.

ස්වාධිපත්‍ය නම් භූමිය පරිහණය කිරීමේ පරම්පරා උරුමය යි. නිජබිම් සංකල්පය කියන්නේ එයට ය. ඇතැම් දෙමළ දේශපාලන නායකයන් සහ බෙදුම්වාදී දෙමළ සැම දෙනා උතුරු නගනහිර දෙමළ ජනතාවගේ නිජබිම ලෙස ප්‍රකාශ කරනුයේ මේ අදහස අනුව වෙත්. භූමියේ ස්වාධිපත්‍යය හෙවත් ජීවත් වන ජනතාවකට ඔවුන් ජීවත් වන භූමියට ඇති පරම්පරා උරුමය පෙන්විය නො හැකි නම් ඒ භූමියට නීත්‍යානුකූලව පාලන අයිතිවාසිකම්ක් ඇත යයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නො පිළි ගනී. උතුරු නැගනහිරට දෙමළ නිජබිම් යයි ඔප්පු කර ගැනීමට කිසිදු සාධක නැත. උතුරු නැගනහිර ඇති බෞද්ධ පුරාවස්තු විනාශ කිරීමට ද අතීතයේ තිබූ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය කිරීමට විරුධ වීම ද , පැවැති බෞද්ධ වෙහෙර විහාරයන් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට විරුද්ධ වීම ද ඔවුන් ක්‍රියා කරන්නේ මේ හේතුව නිසාවෙනි. වෙහෙර විහාරාම දෙමළ ජනතාවගේ පාරම්පරික සංස්කෘතික ඇදහීම් සහ අංග නො වන බැවිනි.

උතුරු නැගනහිර භූමියේ ස්වාධිපත්‍ය පෙන්වීමට දෙමළ බෙදුම්වාදයට නො හැකි බැවින් ඔවුන් දැන් උත්සාහ කරණුයේ දෙමළ වූ නිසා ම ලංකා රජයෙන් දෙමළ ජනතාව කොන්කර සැළකීමට භාජනය වූ බව ත්, එයට විරුද්ධ ක්‍රියා කිරීමට සහ ආයුධ අතට ගෙන සටන් කිරීමට හිමිකමක් අයිතිවාසිකමක් ඇති බව ත්, එල්.ටී.ටී.ඊ ය එහි ප්‍රධාන සටන්කරු බව ත්, ඒ සටන් වලදී එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මෙන් ම සාමාන්‍ය දෙමළ ජනතවා ලංකා රජය විසින් සංහාරය කරන ලද බව ත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඔප්පු කර පෙන් වීමට ය. එමගින් උතුරු නැගනහිර ජනතාවට බෙදා වෙන් වීමේ නෛතික අයිතියක් ඇති බව ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමට ය. එය සාර්ථක වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසනයක් උතුරු නැගනහිර වෙසෙන දෙමළ ජනතාව වෙනුවෙන් ලබා ගැනීමට හැකි වෙනු ඇත. ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත් වීමක් ඔවුන් බලාපොරොත්තු වනවා ඇත.

ඒ සඳහා ඇතැම් විදේශ රාජ්‍ය විශාල කාර්ය භාරයක් මේ මොහොතේ ද ඉටු කරමින් සිටිත්.

ඊලම් රාජ්‍යයක් පිහිටු වීම පිණිස ජනමත විචාරණයක් පැවැත් විය යුතු බව කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෝන් චෙන් කැනඩා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඔහු එම යෝජනාව ඉදිපත් කරමින් කියා ඇත්තේ:

ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ගේ ස්වයං පාලන අයිතිය ශ්‍රී ලංකා රජය දරුණු ආකාරයෙන් උල්ලංඝනය කර ඇති බව ත් ය.

ශ්‍රී ලංකාවට එරෙහිව දෙමළ සංහාරය සම්බන්ධයෙන් චෝදනා විභාග කල යුතු යයි පෙත්සමක් අත්සන් කිරීමට ත් ජනමත විචාරණයක් පැවැත්වීමටත් අවශ්‍ය බව ඔහු කියා සිටී.

2019 වසරේ මැයි මාසයේදී සිදු කළ ජන සංහාරක යුද්ධය හරහා දෙමළ ඊලම සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කිරීමකින් අවසන් කළ බවත් එම ඔහු පෙත්සමෙන් චෝදනා කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ලෝකයේ සියළුම රාජ්‍යයන් එක්වී ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ දෙමළ සංහාරයට එරෙහිව චෝදනා ගොනු කළ යුතු බව ද ඔහු තවදුරටත් එමඟින් යෝජනා කර ඇත.

මේ සියලු ආකාර ලංකාවට එරෙහි මැදිහත් වීම් කරනුයේ උතුර නැගනහිර දෙමළ ස්වයං පාලන අයිතිය වෙනුවෙන් එකසත් ජාතීන්ගේ සවිධානයේ ආසනයක් ලබා ගැනීම පිණිස ය.

එය උතුරු නැගනහිර බෙදුම් වාදයේ ඉලක්කය සපුරා ගැනීම මුල් පදනම වනවා ඇත. එමගින් ඔවුන් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි වෙනවා ඇත. එම පාර්ලිමේන්තුව ලංකාවේ උතුරු නැගනහිර භූමියේ රැස් වීමට අවශ්‍ය නැත. ලෝකයේ වෙනත් රටකදී වුව ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්ෂණය යටතේ එම පාර්ලිමේන්තුව රැස් විය හැක. උතුර නැගනහිර වෙන ම රාජ්‍යය ලෙස ඒ භූමියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කළ හැක. එමගින් නීති අණ පනත් සම්මත කළ හැක. ඒ නීති අණපනත් සම්මත කිරීම් මත ඔවුන්ට වෙන ම රාජ්‍යයක් ලෙස පාලනය වීමට ඇවැසි ආයතන නිර්මාණය කළ හැක.
එමගින් අධිකරණ බලය සහ අධිකරණ පිහිටු වීම, ඉඩම් පිළිබඳ සම්පූරණ බලය, යුධ, ගුවන්, නාවික යන හමුදා පිහිටු වීම, පොලිස් බලය ස්ථාපිත කිරීම, රාජ්‍ය තාන්ත්‍රිකව විදේශ රාජ්‍යවලින් සියලු ආකාර යුධ ආයුධ සහ යුද්ධෝපකරණ ලබා ගැනීම, මුදල් බලය, රාජ්‍ය භාණාඩාගාරය සහ බැංකු ඇති කිරීම, මුදල් ඒකකය පවත්වා ගැනීමේ බලය, මුදල් අච්චු ගැසීම, විදේශ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම සහ තානාපති සේවා පැවැත්වීම, වරායන් ඇති කිරීම හා පවත්වා ගැනීම, සිවිල් ගුවන් සේවා සහ ගුවන් තොටුපල බලය, ආගමන විගමන බලය, විදෙශ වෙළඳාම, විදේශ සමඟ ගිවිසුම් වලට එළඹීම, ස්වකීය රාජ්‍යයට අයිති සාගරයේ හිමිකම ඇතුලු ස්වාධීන රාජ්‍යයයන්ට හිමි සියලු අයිතිවාසිකම් භුක්ති විදීමට හිමිකම සැලසේ. මේ කිසිවකට විරුද්ධ වීමට ලංකා රජයට හෝ ලොකයේ වෙනත් කිසිදු රාජ්‍යකට නීත්‍යානුකූලව බලයක් හිමි වන්නේ නැත.

ලංකා රාජ්‍යට හිමි උතුර නැගනහිර සියලු පාලන අයිතිවාසිකම් නිත්‍යානුකූලව අහිමි වනවා ඇත. ලක් රජයේ පොලිස් බලය ,යුද ගුවන් නාවික හමුදා බලය සහ පරිපාලන බලය උතුර නැගනහිරින් ඉවත් කර ගැනීමට සිදුවනවා ඇත. ඔවුන්ගේ පාලන ඒකක සහ පොලිස් බලය, යුද, ගුවන්, නාවික හමුදා බලය පිහිටුවා ගන්නා තෙක්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවක රැකවරණය ලබා හැනීමට හැකියාව ද ඇති කරයි. එයට විරුද්ධව ක්‍රියා කිරීමට ලංකා රජයට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් ඇතිවන්නේ නැත..

පසුගිය 21 දින නව පාර්ලිමේන්තුව රැස්වූ දින අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ සභා ගැබේ( සීමාවේ) මන්ත්‍රිවරයන්ට ඇති අසුනක වාඩි මීමෙන් පසු පාර්ලිමේන්තුවේ නිළධාරියෙක් පැමිණ් එම අසුන විපක්ෂනායක තුමාගේ අසුන බැවින් වෙනත් ආසනයක අසුන් ගන්නා ලෙස අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇත. එවිට මන්ත්‍රීවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ සිදු වීම මහත් ආන්දෝලනාත්මක සිදු වීමක් බවට පත් වී අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට විවිධ ආකාරයෙන් දෝෂාරෝපණ අවලාද එල්ල කරමින් සිටී.

අපගේ අදහස නම් මේ සිදු වීම අහම්බයක් නො ව සිතා මතා සැලසුම් කර අප ඉහතින් දැක්වූ බෙදුම්වාදී න්‍යායේ එක් ඉදිරි පියවරක් සම්පූරණ කර ගැනීමක් බව ය. මෙය රටේ සියලු දෙනා මැනවින් අධ්‍යනය කර අවබෝද කර ගැනීම අනාගතයේ එම උවදුරින් මේ රට නිදහස් කර ගැනීමට හේතු වනවා ඇත.

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බලය මත ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ 62 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ක්‍රියා කිරීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 තෝරා පත් කර ගත යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාව පහත පරිදි ය.

“62.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරයන් දෙසිය විසිපස් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් වන්නේ ය.”

පාර්ලිමේන්තුව නම් ව්‍යවස්ථාදායක බලය ය. 62වන ව්‍යවස්ථාවෙන් ලැබී ඇති පාර්ලිමේන්තු බලය ලැබී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවෙනි. එනම් ජනතාවගේ පරමාධිපත්‍ය බලය මත ය. ආණ්ඩුක්‍රම ව්‍යවසථාවෙන් හිමි වන බලය, 3 වන ව්‍යවස්ථාව මත පිහිටා ඇත.

[ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව :- 3. “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇතෙතේ ය. පරමාධිපත්‍ය අතහළ නොහැක්කේ ය. පරමාධිපත්‍යට පාලන බලත, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුලත් වන්නේ ය”]

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමෙන්තු බලය ක්‍රියාත්මක කිරීමට ඇවැසි මන්ත්‍රීවරයන් තොරා පත් කර ගැනීමේ කර්තව්‍යය ඉටු කිරීම පිණිස, ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ XIV පරිච්ඡේදයේ පනවා ඇති විධි විධාන ප්‍රකාරව සහ ඒ සඳහා පනවා ඇති 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත් වීම කළ යුතු ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන ප්‍රකාරව සහ 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව, 10 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වන දින පැවැත් වීම සිදු කෙරෙණි. පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නා මන්ත්‍රීවරයන්ගේ නම්, 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි 62 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමසාරිවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කිරීම කළ යුතු ය. ඒ අනුව 2024 නොවැම්බර් මස 25 වන දින අංක 2410/07 අංක දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් පළ කරන ලදී. අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ නම එකී ගැසට් පත්‍රයෙහි, යාපනය මැතිවරණ කොට්ඨාශ අංක 10 හි (ස්වාධීන කණ්ඩායම 17) රාමනාදන් අර්චුනා යන ලෙස පළ කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාව විසින් පළ කරන ලද, 2024 නොවැම්බර් මස 25 වන දින අංක 2410/07 අංක දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව, අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව නීත්‍යානුකූවල පාර්ලිමේන්තුවට තෙරී පත් වූ මන්ත්‍රීවරයකු බව පැහැදිලි ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වන ව්‍යවස්ථාවෙන් සලසා ඇති විධිවිධාන අනුව පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයන්හි 3 වන වගන්තියෙහි මෙසේ පනවා ඇත. එනම්:-

“3.(1) මැතිවරණයකට පසු පාර්ලිමේන්තුව රැස්වන ප්‍රථම දිනයේ සහ ඉන්පසුව එක් එක් මන්ත්‍රීවරයාට ආසනයක් බැගින් වෙන් කර දෙනු ලබන තෙක්, මන්ත්‍රීවරයන් විසින් සභා සිමාව ඇතුළත තිබෙන කවර හෝ ආසනයක අසුන් ගනු ලැබිය හැකි ය.

(2) කථානායකවරයාගේ අභිමතය පරිදි, කලින් කලට, මන්ත්‍රීවරයන් සඳහා ආසන වෙන් කර දෙනු ලැබිය යුත්තේ ය.”

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 3(1) වගන්ති ප්‍රකාරව, 10 වන පාර්ලිමේන්තුව රැස්වූ, නොවැම්බර් 21 දින ප්‍රථම පාර්ලිමේන්තු දිනය බැවින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණ මන්ත්‍රීවරයෙකු වශයෙන් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට, පාර්ලිමේන්තු සභා සීමාව ඇතුලත තිබෙන කවර හෝ ආසනයක අසුන් ගැනීමට ඇයිතියක් ඇත. විපක්ෂක නායකවරයා වෙනුවෙන් යම් ආසනයක් පෙර පටන් පනවා තිබුණ ද එම අසුනෙහි ද වුවද වාඩි වීමට එදින ඔනෑ ම මන්ත්‍රීවරයෙකුට අයිතියක් නැතැයි නො කිව හැක.

පාර්ලිමේන්තුවට තෙරී පත් වන මන්ත්‍රීවරයන් ජන්තාවගේ පරමාධිපත්‍යයේ බලය මත තේරී පත් වී ඇති බැවින් සහ මැතිවරණයකට පසු පාර්ලිමේන්තුව රැස් වූ ප්‍රථම දින බැවින් මන්ත්‍රීවරයන් විසින් සභා සිමාව ඇතුළත තිබෙන කවර හෝ ආසනයක අසුන් ගනු ලැබීම වරදක් ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව නො කිව හැක.

ජනතාවගේ පරමාධිපත්‍ය බලය මත වූ ව්‍යවස්ථාදයකයේ බලය අත් හැරීමට සහ අන්සතු කිරීමට ද හිමි කමක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 76 ව්‍යවස්ථාවේ (1)වන අනුව්‍යවස්ථාවෙහිවෙහි

“76(1) පාර්ලිමේන්තුව විසින් පර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නො හළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන් සතු නො කළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදයක බලයක් ඇති කිසිදු අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නො පිහිටවිය යුත්තේ ය.”

යනුවෙන් ව්‍යවස්ථා කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 67 වන ව්‍යවස්ථා ප්‍රකාරව ස්ම්මත කර ඇති පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව ද මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද , පරිහාර සහ බලතල සම්බන්ධයෙන් ක්‍රියා කරනවා ඇත.

බෙදුම්වාදී කුමන්ත්‍රණයේ ජාත්‍යන්තර සැළසුම:-

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ උතුරේ ජන්තාවගේ ඡන්ද ප්‍රතිඵලය බෙදුම් වාදය උතුරුරෙන් ප්‍රතික්ෂේප වීමක් ද පෙන්නුම් කරයි. එය බෙදුම්වාදීන්ට ඉදිරියේදී තම අරමුණ ඉටු කර ගැනීමට බාධා ගෙන දෙනවා ඇත.

එල්.ටී.ටී.ඊ හිතවාදී වෙදුම්වාදී පිරිසට එය දෙයාකරයකින් බාධා වීමට හේතු ය.

  1. ඉදිරියේ එන ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේදී බෙදුම්වාදී පිරිසට අවාසි සහගත වීම.
  2. මෙරට දෙමළ ජනතාව (යම් පමණකට) බෙදුම්වාදීන්ගෙන් ඈත්වීම ඇරඹීම.

2024 පාර්ලිමේන්තු මැතිවරණය, යාපනය (මැතිවරණ කොට්ඨාශය) දිස්ත්‍රිකයෙන් ජාතික ජන බලවේගය (NNP) 80 830 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. එය 24.85% ප්‍රතිශයකි. මන්ත්‍රී ආසන 3 යි.
(කරුණානාදන් ඉලංකුමරන් මහතා
ෂන්මුගනාදන් ශ්‍රී බවානන්දරාජා මහතා
ජෙයවන්ද්‍රමූර්ති රජීවන් මහතා)

ඉලංකෛ තමිල් අරසු කච්චි(ITAK) ඡන්ද 63 327 (19.47%) කි. මන්ත්‍රී ආසන 1 යි.
(සිරිඥානම් සිරිදර්න් මහතා)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය = අකිල ඉලංකෛ තමිල් කොංග්‍රස් ACTC(all ceylon temil congress) ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 27 987 (9.60%) කි. මන්ත්‍රී ආසන 1 යි. (ගජේන්ද්‍රකිමාර් කංගේසර් පොන්ම්බලම් මහතා)

ස්වාධීන කණ්ඩායම් 17 ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 27 855(8.56%) යි. මන්ත්‍රී ආසන 1 යි. රාමනාදන් අර්චුනා මහතා

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (democratic tamil national alliance) ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 22 513 කි. (6.92%)

Eelam people’s democratic party (EPDP) ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 17 730 (5.45%) කි.
මෙහි දක්වා ඇත්තේ ඡන්ද ලබා අනුපිළිවල අනුව පක්ෂ/ කණ්ඩායම් හයක ප්‍රතිඵල පමණි.

මෙවර මැතිවරණ ප්‍රතිඵලය අනුව, දෙමළ දේශපාලන පක්ෂ විසින් රජ කරගෙන තිබූ යාපනය දිස්ත්‍රිකයේ ඡන්ද පදනම දෙමළ දේශපාලන පක්ෂ කෙරෙන් ගිලිහී ගොස් ඇති බව පැහැදිලි ය. දෙදරා ගොස් ඇති බව ය. ජාතික ජන බලවේගය සිංහල දේශපාලන නායකත්වය මත යාපනය දිස්ත්‍රික්කය 80 330 ක ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රණය කිරීම දෙමළ දේශපාලන පක්ෂ කලබලයට පත් නො කරනවා යයි නො කිය හැකිය. මෙය දෙමළ ඩයස්පොරාව ද කිසිසේත් බලාපොරොත්තු නො වූවකි.

වන්නි, මඩකලපුව, ත්‍රිකුණාමලය, දිඝාමඩුල්ල යන මැතිවරණ කොට්ඨාශවල මෙවර පාර්ලිමේන්තු මැත්වරණය ප්‍රතිඵල, සැප්තැම්බර් 21 ජනාධ්පතිවරණය ප්‍රතිඵල ය සමඟ සැසදීමෙ දී දෙමළ දේශපාලන පක්ෂ තැති ගන්වන සුළු ය. එම මැතිවරණ දිස්ත්‍රික් කොට්ඨාශ හතරෙහි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ඡන්ද 109 635 ක ප්‍රමාණයක් පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා ගෙන තිබේ.

තවත් අවදානයට යොමු කළ යුතු කරුණ වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණය ඡන්ද ප්‍රතිඵලයට වැඩි ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ලබා ගැනීම ය. එය 56 110 ක ඡන්ද ප්‍රමාණයකි. මේ ඡන්ද වලින් සැලකිය ප්‍රමණය කදුරට දමිළ ජනතාවගේ ඡන්ද බව පැහැදිලි වන්නේ කදුරට දෙමළ ජනතාව වැඩි වශයෙන් නියෝජනය කරන පක්ෂවලට මෙවර මන්ත්‍රී ධූර සංඛ්‍යාව අභිබවමින් ජාතික ජන බලවේගය මන්ත්‍රී ධූර 6ක් ලබා ගැනීම නිසාවෙනි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද ප්‍රතිඵලය, එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ඉදිරි සැසිවාරයේදී ලංකාවට විරුධ චෝදනා සම්බන්ධ ජාත්‍යන්තර මතය කෙරෙහි ප්‍රබල බලපැමක් ඇති කිරීමට හේතු වීමට ඉඩ ඇත. හේතුව උතුරේ ජනතාව සිංහල පාලකයෙකු විශ්වාස කොට ඡන්දය දී තිබෙන බැවිනි.

දෙමළ බෙදුම්වාදී නායකයන්ගෙන් සහ ස්වයං පාලන අයිතිය වෙනුවෙන් ක්‍රියා කරන දෙමළ ඩයස්පෝරාවෙන් උතුරු නැගනහිර දෙමළ ජනයා ගැලවී යෑම ඔවුන් කිසි සේත් ම කැමැති නො වනවා මෙන් ම ඉඩ නො තබනවා ඇත.

එක වෙඩිල්ලෙන් කුරුල්ලන් දෙදෙනෙක බිම එලා ගත්තා මෙන් පාර්ලිමේන්තුවේ පුටුවක් මුල් කර ගෙන කරන ලද සැළසුම ආරම්භ වී ඇත.

එනම්, ඉහතින් දැක් වූ නොවැම්බර් 21 දින පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් තේරී පත් වුණ වරප්‍රසාද සහිතව පැමිණි මන්ත්‍රීවරයෙකුට සභා ගැබෙහි අසුනෙහි සිටීමට ඉඩ නො දෙනවා යයි ද එමගින් දෙමළ ජනයා වෙනස් කොට සැළකීමට භාජනය කරනනේ යයිද චෝදනා කර සිංහල රජ්‍ය පාලනය කෙරෙහි දෙමළ ජනයාගේ සිත් බිඳ වීම ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී මෙම සිදුවීම ප්‍රයෝජනයට ගැනීමට ද උතසාහවත් වන බව අපගේ අදහස ය.

සිංහල නායකයන්ගේ පාලනය කෙරෙහි, උතුරු නැගනහිර සහ සමස්ථ දෙමළ ජනයාගේ පැහැදීම සහ විශවාසය පළුදු කිරීම මෙම කුමන්ත්‍රණයේ එක් අරමුණක් බව අපගේ අදහස ය.

ඒ මගින් බෙදුම්වාදය ඉලක්ක කර ගත්, දෙමළ ඩයස්පෝරාවේ සහ ලංකා රාජ්‍ය බෙදා වෙන් කිරීමට උපකාර කරන සියලු දෙනා විසින් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් කරන කුමන්ත්‍රණ ජය ගැනීමට නම් අවලාද අපහාස ඉවත ලා දුර දක්නා නුවණින් කටයුතු නො කළ හොත් දැනට උතුරු නැගනහිර කදුරට දමිළ ජනතාවගේ විශ්වාසය නැවත පළුදු වීම නියත ය. එය ජාතිවදය පදනම් කර ගත් බෙදුම්වාදයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමේ මඟක් වනවා ඇත.

බෙදිම්වාදීන්ගේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන කුමන්ත්‍රණයන්ට අසු නොවී සිටීමට අප විසින් අපගේ දේශපාලන විඥානය තියුණු කර ගත යුතු ය. ඉවසීම පුරුදු පුහුණු කර ගත යුතු ය. අප රටක් වශයෙන් බෙදා වෙන් කිරීමට එකඟ නොවුන ද මෙරට දෙමළ ජනතාවට කිසි ලෙසකින් විරුද්ධ නැත. මෙය කියවන කිවෙක් දමිළ වූ ජනතාවගේ ලංකේය පොදු හිමි කම අමතක නො කළ යුතු ය.

දානය, ප්‍රිය වචන, සමානාත්මතාවය, අර්ථ චරියාව යන සම්බුදු රජුන් විසින් දේශනා කරන ලද සතර සංග්‍රහ වස්තු අනුව රාජ්‍ය පාලනය සහ රටේ පුරවැසියන් ලෙස ඔවුනොවුන්ට සැලකීම, අන්‍යොන්‍ය මිත්‍රත්වය ඇතිවෙන ලෙස වගවීමෙන් ක්‍රියා කිරීම ජාතික සමගියට ඒකාන්ත කොට හේතු වෙනවා ඇත. එසේ නො වන තාක් අවිශවාසය මුල් කොට, බෙදා වෙන් වීමට උත්සාහ කරනවා ඇත.

Protected by Security by CleanTalk