Spread the News

p1 3තමන් අපේක්‍ෂා කළ ඡන්ද සංඛ්‍යාවක්‌ ප්‍රතිඵල තුළ නැතත් පෙර මැතිවරණයට වඩා රට පුරා ජවිපෙ බලය වැඩිවී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11 දා) ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන අතරතුරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ කැඳවූ දිසානායක මහතා සිය පක්‍ෂ මූලස්‌ථානයේදී මෙසේද කීවේය.

තවමත් ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙනවා. මේ මැතිවරණය එද්දී වංචා දූෂණවලට එරෙහිව රට තුළ විශාල ආණ්‌ඩු විරෝධයක්‌ මතුවෙමින් තිබුණා. ඊට සාපේක්‍ෂව ජනතා විමුක්‌ති පෙරමුණ අපේක්‍ෂා කළා දේශපාලනික වශයෙන් යම් ප්‍රතිඵලයක්‌. දැනට ලැබෙන ප්‍රතිඵල අනුව පෙන්නුම් කරනවා පක්‍ෂයක්‌ ලෙස අප අපේක්‍ෂා කළ ප්‍රතිඵල මේ තුළ නැති බව. කෙසේ වෙතත් 2011 පළාත් පාලන මැතිවරණයේදී අපට හිමි වූයේ මන්ත්‍රීධුර හැත්තෑ දෙකයි. මේ අතර කොළඹ 01 ක්‌ සහ කඩුවෙල 01 ක්‌ තිබුණා. නමුත් මෙවර අප කොළඹට මන්ත්‍රීවරු 6 ක්‌ සහ කඩුවෙලට පහක්‌ වගේ වර්ධනයක්‌ වී තිබෙනවා. දැනට මේ වනවිට අපට මන්ත්‍රිධුර 10 කට වැඩි සංඛ්‍යාවක්‌ රට පුරා ලැබී තිබෙනවා. උතුරු පළාතෙත් මෙවර අපට මන්ත්‍රිධුර ලැබිලා.

ඒ වගේම 2015 මහ මැතිවරණය සමඟ සසඳද්දී ජවිපෙ ඡන්ද ප්‍රතිශතය සහ ඡන්ද ප්‍රමාණය වර්ධනයක්‌ පෙන්නුම් කරනවා. හම්බන්තොට, මාතර ගාල්ල ඡන්ද වැඩිවෙලා. එම් ප්‍රතිඵල ලබා ගැනීමට කලාකරුවන්, සාහිත්‍යධරයන්, විද්වතුන් මාධ්‍යවේදීන් සුවිශාල මැදිහත් වීමක්‌ ලබා දුන්නා.

2015 ජනවාරි 08 ට පසු රනිල් මෛත්‍රී ආණ්‌ඩුවේ ගුණාගුණ මැන බලන මැතිවරණයක්‌ බවට මේ මැතිවරණය පත්වුණා. මේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරනවා ජනතාව මේ ආණ්‌ඩුව ප්‍රතික්‍ෂේප කළ බව. 2015 ජනවාරි 08 පොරොන්දු වූ ජනතා අපේක්‍ෂාවලට මුළුමනින්ම පිටුපස හරවා ආණ්‌ඩුව කළ කාර්යභාරයේ ප්‍රතිඵලයක්‌ මේ. මේක ආණ්‌ඩුවේ විශාල බිඳ වැටීමක්‌. ඒ වගේම ජනතා දේපල රිසිසේ පරිහරණය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය අහිමිකර තම බලය වෙනුවෙන් කටයුතු කළ රාජපක්‍ෂ බලවේගය මේ මැතිවරණයේදී සැලකිය යුතු හිස එසවීමක්‌ පෙන්නුම් කරනවා. බිඳ වැටෙන ආණ්‌ඩු විරෝධය රාජපක්‍ෂ කඳවුර වටා ඒකරාශි කර ගැනීමේ තත්ත්වයක්‌ පෙන්නුම් කරනවා. ජනතාවට මෙහිදී අත්හළ නොහැකි වගකීමක්‌ තිබෙනවා. කවුරුන් ජය ගත්තත් හෙටත් ගොවි පරපුරට, කම්කරුවන්ට, තරුණ පරපුරට එල්ල වන ප්‍රශ්නවලදී ඔවුන් ජවිපෙ සොයා එන බවට සැකයක්‌ නෑ. එම නිසා අප තවදුරටත් මේ වර්ධනය වන දේශපාලන තත්ත්වයට එරෙහිව ජනතාව වෙනුවෙන් මැදිහත් වෙනවා.

අජිත් අලහකෝන්