අභූත චෝදනා සහිත පිටු 600 ක වාර්තාවක් සකස් කරලා ශ්‍රී ලංකාව අපකීර්තිමත් කිරීමට තවත් කුමන්ත්‍රණයක්

Spread the News

අභූත චෝදනා සහිත පිටු 600 ක වාර්තාවක් සකස් කරලා

ශ්‍රී ලංකාව අපකීර්තිමත් කිරීමට තවත් කුමන්ත්‍රණයක්

කේ. සී. ජේ. රත්නායක

source link:

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අභූත චෝදනා ඇතුළත් සාවද්‍ය වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කොට ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරවීමට සකස් කළ තවත් කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි.

මේ වාර්තාව සකස් කොට තිබෙන්නේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ක්‍රියාකාරිකයන් ගෙන් සමන්විත කණ්ඩායමක් හා ජර්මනියේ සිට ක්‍රියාත්මක වන කොටි ගැති පිරිසක් බවත් දැන ගන්නට ඇත.

පිටු 600 කින් සමන්විත බව කියන මේ සාවද්‍ය වාර්තාව මඟින් පෙන්වා දීමට යත්න දරා ඇත්තේ ශ්‍රී ලංකාව ඉතා දරුණු ලෙස මාධ්‍ය මර්දනය කරමින් මාධ්‍යවේදීන් ඝාතනය කරමින් හා මිනිස් අයිතීන් උල්ලංඝනය කරමින් ඒකාධිපති පාලනයක් පවතින රටක් බවයි. මෙරට ජනමාධ්‍ය නිදහස හා මානව හිමිකම් පිළිබඳව හඬ නඟන කූප්‍රකට චරිත කිහිපයක් විදේශීය සංවිධානයක මූල්‍ය අනුග්‍රහය මත සකස් කැර ඇති මේ සාවද්‍ය වාර්තාව ලබන අපේ‍්‍රල් 26 දා ජීනීවා නුවර දී එක්තරා පුද්ගලයන් කණ්ඩායමකට බාර දීමට සූදානමින් සිටින බවත් දැන ගන්නට ඇත.

ශ්‍රී ලංකාව බරපතළ ලෙස මානුෂිය අයිතීන් උල්ලංඝනය කරන රටක් වශයෙන් හුවා දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකා රජය අසීරුවට ලක් කිරීමේ අරමුණින් සකස් කොට ඇති මේ වාර්තාවේ ඉතා විශාල වශයෙන් සාවද්‍ය තොරතුරු හා සංඛ්‍යා ලේඛන සඳහන් වන බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අනාවරණය වෙයි.

යුරෝපා සංගමය විසින් මීට පෙර ජී. එස්. පී. බදු සහනය සම්බන්ධයෙන් යම් තීරණ ගැනීමට පෙළඹී තිබුණේ ද මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන විසින් සපයන ලද ව්‍යාජ වාර්තා හා තොරතුරු පදනම් කැර ගෙන බවත් පසුව අනාවරණය විය.

මෙවර එ. ජා. මානව හිමිකම් සමුළුව සඳහා සාවද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට මූලිකව සිටින්නේ දැනට මෙරට සිට ක්‍රියාත්මක වන මාධ්‍ය ලේබලය අලවා ගත් පුද්ගලයන් දෙතුන් දෙනකු හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය පවත්වා ගෙන ගිය ගොඩනැගිල්ලට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ ඇතැමෙක් කොළඹ නගරයේ විරෝධතා පැවැත්වූහ.