Spread the News

අමෙරිකන් සමුළුවේදී ඔබාමාට කැපිල්ල

කාටජිනා හිදී -ඒ. එ‍ෆ්. පී. source:

කොලොම්බියාවේ කාටජිනා හි පැවැති අමෙරිකානු සමුළුවට එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා සහභාගි වූයේ ලතින් අමෙරිකානු රටවල එක්සත් ජනපද වෙළෙඳ අපේක්ෂාවන් තවදුරටත් තහවුරු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් නමුදු කියුබාව කොන්කිරීම හා ඔහුගේ රහස් ඔත්තු සේවා නිලධාරීන්ට එරෙහිව නැඟුණු ලිංගික චෝදනාවලට මුහුණ දීමට ඔහුට සිදුව තිබේ.

සමුළුවේ සමගාමීන්ගෙන් ඔහුට දැඩි බලපෑම් එල්ලවී ඇත්තේ කලාපීය ප්‍රගතිය ගැන අගයනවාට වඩා කියුබාව සිය කණ්ඩායමට යළි ඇතුළත් කරගැනීම කෙරේ අවධානය යොමු කිරීම සම්බන්ධයෙනි.

එක්සත් ජනපදය සිය දිගුකාලීන සතුරකු ලෙස සලකන කියුබාව මේ කලාපීය කණ්ඩායමට ඇතුළත් කරගැනීමට විරුද්ධ වී ඇති අතර මේ තත්ත්වය පෙරේදා සමුළුවේ අවසන් ප්‍රකාශනය සෙසු රාජ්‍ය නායකයින් විසින් අස්සන් කිරීමෙන් වැළකීමටද හේතුවක් වී තිබිණ.

එක්සත් ජනපදයේ සමීප මිතුරකු වන කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවල් සැන්ටෝස් පවා කියුබාව මීළඟ සමුළුවෙන් ඈත්කර තැබීම පිළිගත නොහැකි බව කීවේය.

මෙහිදී බ්‍රසීලියානු ජනාධිපතිනි ඩිල්මා රෝසෙෆ් එක්සත් ජනපදය සිය කලාපීය සහකරුවන්ට සමාන ලෙස සැලකිය යුතු බවත් එ‍සේ සිදුනොවුනහොත් එරට ආසන්නයේ පවතින රටවල සහයෝගය එක්සත් ජනපදයට අහිමිවනු ඇති බවත් කීවාය.