Spread the News

Courtecy Lanka C news

අරගලය පසුපස ඇමරිකා තානාපති නෑ..- විමල්ට, ගම්මන්පිලට 43 සේනාංකයෙන් ප‍්‍රහාරයක්

පසුගිය වසරේ මැයි 09 වනදා දේශපාලන චණ්ඩින් සියලු දෙනා බේරේ වැවේ තම ලයිසන් එක දිය කර ගත් නමුත් අවුරුද්දකට පසුව නැවත මේ දේශපාලන චණ්ඩින් යළි තමන්ගේ මැරකමින්, ත්‍රාඩකමින් හොරකම් කරන ලද මුදල් වලින් මහ පාරේ තම අශිෂ්ඨ දේශපාලනය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇති බවට 43 සේනාංකය චෝදනා කර සිටි.

ඊයේ දින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු මෙන්ම අරගලයේ ප්‍රධාන සාමජිකයෙකු ලෙස කටයුතු කළ ප්‍රියත් නිකේෂල මහතාට, කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න විසින් මහ පාර මැද පහරදීමට විරෝධය පළකරමින් 43 සේනාංකයේ තරුණ අංශය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පලවිය.

මෙම මාධ්‍ය හමුව සඳහා 43 සේනාංක තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු වන තීක්ෂණ ගම්මන්පිල මහතාත්, සමාජ හා දේශපාලන ක්‍රියාකාරී නදීෂ ද සිල්වා මහතාත්, සමාජ හා දේශපාලන ක්‍රියාකාරිනි මධුරි රණසිංහ මෙනවිය සම්බන්ධ විය.

මෙහිදී 43 සේනාංක තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු වන තීක්ෂණ ගම්මන්පිල මහතා අදහස් දක්වමින් පවසා සිටියේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාගෙන් පහර කෑමට ලක්වූ ප්‍රියත් නිකේෂල මහතා අප ඇතුළු සියලු අරගලයේ නියුතු පිරිස් සමඟ කටයුතු කළ බවත් යම් හෙයකින් ඔහු අතින් වරදක් වී ඇතිනම් රටේ පවතින නීතිය මගින් කටයුතු කරනවා විනා දේශපාලන ලයිසන් ගත් මැරයන් යොදවා මහ පාර මැද පහර දී ප්‍රශ්න විසඳීමට යාම තරයේ හෙළාදකින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තීක්ෂණ ගම්මන්පිල මහතා:

“අපි දැක්කා පාර්ලිමේන්තුවේ ඉන්න විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මාල කඩන රත්තරන් කියලා කළුතර පැත්තේ කෙනෙක් අරගලය හෑල්ලුවට ලක් කරන්න බොහොම රසවත් කතා කියනවා. සමහර පුද්ගලයෝ පොත්පත් ලියනවා. මේ ඔක්කොම ඉන්න ඕනේ එක කුණු බක්කියේ නැත්නම් කුණු කාණුවේ. මේ දේශපාලඥයෝ රාජපක්ෂ පවුලත් එක්ක එකතු වෙලා රට වට්ටපු හින්දා තමයි අරගලයක් ස්වාධීනව ගොඩනැඟිලා රටේ මිනිස්සු එළියට ඇවිල්ලා ගෝඨාභය එලවන මට්ටමට ගොඩනැගුණේ. නැත්නම් ඇමරිකාවේ තානාපතිට අවශ්‍යතාවක් තිබ්බේ නැහැ ඒක කරන්න. අපි අරගලය කරේ අපිට දුකක්, පීඩනයක් දැනුන හින්දයි. අරගලයක් කරා කියලා අවුරුද්දකට පස්සෙත්, අරගලය පිටින් දාලා පහර දෙන එකට මේ රටේ ජනාධිපතිගේ ඉඳලා වගකියන්න ඕනේ. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණේ අරගලයක ප්‍රතිඵලයක් විදියට. ඔහු තේරුම් ගන්න ඕනේ නැවත අරගලයකින් තමන්ට අත්වෙන ප්‍රතිවිපාකත්. ලයිසන්, චණ්ඩි බිහි කරන්න මේ රටේ ජනාධිපතිට අවස්ථාවක් දෙන්න බැහැ. ඊට විරුද්ධව අපි නැගී හිටිනවා කියන එක අපි කියන්න කැමතියි. අවුරුද්දකින් පස්සේ නැගිටලා කෑගහනවා වගේම තව ටික කාලෙකින් නැවතත් මේ රටේ මිනිස්සු නැගිට්ටොත් ආයෙත් බේරේ වැවේ නාන්න වෙනවා කියන කාරණාවත් මතක් කරන්න කැමතියි. අරගල කරපු පුහුල් ගෙඩි කපුවා මැරිලා, අරයා එල්ලිලා මැරිලා, තව කෙනෙක් වහ බීලා මැරිලා වගේ ව්‍යාජ කතා වලින් පඩිසන් දුන්නා කියන කතා හදන්න එපා. අරගලයෙන් පොදු අරමුණකට ආවේ. මැරුණා නම් තව කෝටි ගාණක් මැරෙන්න ඕනේ. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා, මිනිස්සුන්ගේ කන බත් එකට කෙලපු විමල් වීරවංශලා, ගම්මන්පිලලා හදපු බොරු මායාවන් ඔස්සේ ගියපු මිනිස්සුන්ට තමා මේ පඩිසන් දෙන්නෙ අනාගතයෙදි. අපිට දැනෙනවා යම් යම් සිද්ධි වෙද්දි නීතිය අතට අරගෙන කටයුතු කරනවා. මේ නීතිය නැතිකම හින්දා තමයි රටේ තරුණයෝ අද රට යන්නේ. ඒ නිසා රටේ උසස් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න. චණ්ඩි හදන්න එපා මන්ත්‍රීලා කියලා. සියලු මිනිස්සු වැරදි කරපු නැති මිනිස්සු කියලා කියන්න බැහැ. වැරදි තියෙන්න පුළුවන්. ඒක විසඳන ක්‍රමයක් තියෙනවා. රට ගොඩනගනවා නම් අරගලයේ ලැබුණු පාඩම් ඉගෙනගෙන ඉදිරි කටයුතු කරන්න කියන ඉල්ලීම ජනාධිපතිතුමාට කියනවා.”

ඉන් අනතුරුව අදහස් දැක්වූ සමාජ දේශපාලන ක්‍රියාකාරී නදීෂ ද සිල්වා මහතා ප්‍රියත් නිකේෂල මහතාට පහරදීම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය වසරේ මැයි 09 වෙනිදා දවස අවසානයේ අරාජික වාදයක් දක්වා රට ගෙනියන්න සිද්ධ වුනෙත්, එතනට රට තල්ලු වුණෙත් දේශපාලන අවිනිශ්චිතතාවය නිසා බවයි.

“මම දකින්නේ මේක ඇතුලේ ඇත්තටම අනාරක්ෂිතභාවය. සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන විදි තියෙනවා. තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව, තමන්ගේ ජීවිතය සම්බන්ධව ඇතිවෙන මේ අවිනිශ්චිතභාවය නැති කරලා විශ්වාසයක් දෙන එක තමයි රජයක වෙන්නේ. ඒ සඳහා තමයි ඇත්තටම රජයක් අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ දේ සපයන්න බැරිනම් ලංකාවේ ජනාධිපතිවරයාගෙන් අහන්න කැමති ඇත්තටම ඔබ මේ වෙලාවේ කරන්නේ මොකක්ද? කියන එක. දැන් මේ සිද්ධියට සම්බන්ධ දේශපාලනඥයා අත්අඩංගුවට පත්වෙලා තියෙනවා. හැබැයි ඒ අත්අඩංගුවට ගැනීම පමණක් සෑහෙනවද? මේ සිදුවීම හරහා ලැබිච්ච අවිනිශ්චිතතාවයේ පණිවිඩයට උත්තරයක් අවශ්‍යයි. අන්න ඒ විශ්වාසය තමයි අපි රජයකින්, සමාජය බලාපොරොත්තු වෙන්නේ. අත්අඩංගුවට ගැනීමකින් පමණක් මේ වැඩේ ඉවර කරන්නේ නැතුව, රටේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය සම්බන්ධව විශ්වාසය ඇතිවන වන පරිදි එතනින් එහාට කොහොමද මේ කියන චරිතයට, මේ කියන මේ සම්බන්ධ වෙච්ච පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් පෙන්විය යුතුයි. ඒක නිසා අපි හැමෝම ප්‍රජාතන්ත්‍ර මූලික මිනිස් අයිතිවාසිකම් අගයන නීතියේ ආධිපත්‍ය පැවතිය යුතු යැයි විශ්වාස කරන සවිඥානික මිනිස්සු හැටියට කියනවා මේ වෙලාවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට මේ විශ්වාසනීයත්වය ස්ථාපනය කරන්න කියලා. මෙතනින් එහාට ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ නම් අපි තවදුරටත් පක්ෂ විශ්වාස කරන මිනිස්සු හැටියට දැන් තමයි නියම වෙලාව. නිශ්චිත දේශපාලන බලවේගයක් පක්ෂ දේශපාලන යාන්ත්‍රනය ඇතුලෙම හැදෙන්න අවශ්‍යයි යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළ හැකි ආකාරයෙන්.”

එමෙන්ම මාධ්‍ය හමුව සඳහා සම්බන්ධවූ සමාජ දේශපාලන ක්‍රියාකාරිනී මධුරි රණසිංහ මෙනවිය පලකළ අදහස් මෙසේයි;

“සමාජයක් විදිහට, රටක් විදිහට අපේ රටේ දේශපාලනය, ඒ වගේම ආර්ථිකය, සමාජය ඇතුළේ තිබිච්ච කඩා වැටීම අද වෙනකොට අපි දකිනවා. රටක නීතියක් තියෙන්නේ, දේශපාලනයේ නියත අය වෙන්න පුළුවන්. දේශපාලනයේ නියත නොවන පිරිස් වෙන්න පුළුවන්. සාමාන්‍ය පුරවැසියෝ වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක් අදාළ වෙන විදියට. එතකොට ඒ නීතිය යටතේ සාධාරණය ඉෂ්ඨ කරනවා මිසක් පාරේදී සත්තු වගේ ගහගෙන මැරකම් කරගෙන ජඩකම් කරගෙන මේවා විසඳන්න බැහැ. 2015 කලින් රාජපක්ෂ පවුල ඇතුළුව මැර දේශපාලනයේ නියුතු විවිධාකාර පිරිස් තමන්ගේ ප්‍රශ්න, හැමදේම එළියට අරගෙන කරා. මිනිස්සුන්ට බියක් ඇති කරා. මේ රට දාලා යන්න බයක් ඇති කරා මිනිස්සුන්ට. දේශපාලනයේ නිරත වෙන්න බයක් ඇති කරා. සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න බයක් ඇති කරා. එතකොට නිදහසට මොකද වෙන්නේ? මානව නිදහසට, අපේ මානව අයිතිවාසිකම් වලට මොකද වෙන්නේ? ඉතින් ඒ තත්වය තවදුරටත් මේ ක්‍රියාදාමය හරහා ඇතිවෙනවා කියන එක අපිට බලන් ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන් කැමති දේශපාලනයක්, සමාජ ක්‍රියාකාරකමක නිරතවෙන්න අයිතිය තියෙනවා. තමන් එයට අකමැතිනම් ඉවසීම කියන එක, අපි හැමෝම ලබාගත යුතු දෙයක්. කඩුවෙල උප නගරාධිපති තමයි මේ පහරදීම කරේ. ඔහුගේ අදාළ පක්ෂයෙන් මේ පුද්ගලයා වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගනීද? මොකද ඔහු නීතියට විරුද්ධ වැඩක් කරේ නේද? රටේ දේශපාලඥයෝ ඉන්නේ රටේ නීති හදන්න. නීති රකින්න. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුරවැසියෝ විදිහට කරුණාකරලා අපි මැර දේශපාලනයට විරුද්ධ වෙමු. මැර දේශපාලනය තවදුරටත් ලංකාවට අවශ්‍ය නැහැ. ”

– මාධ්‍ය අංශය

More Information -.Links