Sun. Nov 24th, 2024
Spread the News

අරන්තලා ඝාතනයට වසර 25 යි

source:

රුදුරු කොටි ත්‍රස්‌තවාදීන් සිය වියරුභාවය හා තිරිසන් භාවය පෙන්නුම් කරමින් අහිංසක ජනතාව කපා කොටා මරා දමමින් මුළුරටම එකල භීතියෙන් භීතියට පත්කර තිබුණි. අම්පාර මහඔය මාර්ගය දෙපස ජනතාවට කොටින්ගෙන් එල්ලවූ විවිධ ප්‍රහාරයන් නිසා එම ජනතාවද සිටියේ දැඩිසේ බියට පත්වෙමිනි. මෙවන් ප්‍රහාරයන් නිසා අම්පාර මහඔය මාර්ගයේ ගමන් ගන්නා ජනතාවගේ හදවත තුළට නිතැතින්ම බියක්‌ ඇතුළු විණි. නුවරගලතැන්න ප්‍රදේශයේ ජනතාවට එල්ල වූ ප්‍රහාරයෙන් 25 දෙනකු පමණ මියගොස්‌ තිබීමද මෙයට තවත් හේතුවක්‌ වූවේය.

දකුණු ලක හෑගොඩ ගම් පියසේ ඉපද හදගොඩ නිග්‍රොධාරාමයේ පැවිදිභාවය ලබාගත් හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන්ද ඩි. එස්‌. සේනානායක අගමැතිදුන් විසින් ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කළ කල්හි 1956 දී අම්පාරට වඩින්නේ රජමහා විහාරස්‌ථාන කිහිපයක භික්‍ෂුන් වහන්සේලා 04 දෙනෙක්‌ සිටින කලකදීය. ගල්ගුහාවක වාසස්‌ථානය කොටගෙන දිගාමඩුළු මිටියාවතේ විහාරස්‌ථාන 40 ක්‌ ඇති කරමින් ඇතැම් ඉපැරැණි විහාරස්‌ථාන සොයා ගනිමින් පිරිවෙන් අධ්‍යාපනය ඇතිකොට කුල දරුවන් පැවිදිබිමට ඇතුළු කොට පිණ්‌ඩපාතයෙහි වඩිමින් ගම් නියම්ගම් කරා ධර්මය ප්‍රචාරය කරමින් සහ ජාතික මට්‌ටමෙන් ධර්ම චාරිකා ඇති කිරීමෙන්ද සංස්‌කෘතික උන්නතියක්‌ උදෙසාද විවිධ වූ බාධක හැල හැප්පීම් මැද වුවද හෑගොඩ ඉන්ද්‍රසාර හිමියෝ අභීතව කටයුතු කරන්නට වූහ.

එකල කතරගම ගම් උදාව පැවති සමයෙකි. ධර්ම ප්‍රචාරය කිරීම සඳහා මහා භික්‌ෂුන් වහන්සේලා පිරිවරා නුවර දළදාව වැද පුදාගෙන පසුව පා ගමනින් පිණ්‌ඩපාතයෙහි යෙදෙමින් ධර්මය ප්‍රචාරය කොට කතරගම් ගම් උදා භූමියට වැඩම කිරීමට උන්වහන්සේ අවශ්‍ය කටයුතු සුදානම් කළේය. උන් වහන්සේගේ එකලද ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකුවු කැලණිය විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය හදාරමින් සිටි කිරිදිවැල සෝමරතන හිමියෝ කැලණියේදී මේ නායක හිමි ඇතුළු පිරිසට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබිණි.

1987 ජුනි 02 වනදා මෙම ගමනට දින යොදා ගත් හෙයින් අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ වැඩ සිටි භික්‍ෂූන් වහන්සේලාද 01 වනදා රාත්‍රියේම අම්පාර මහාවාපි විහාරස්‌ථානයට වැඩම කරන ලදි. හෑගොඩ ඉන්ද්‍රසාර හිමියෝ පසුදා අරඹන්නට සිතා සිටි ධර්මචාරිකාව පිළිබඳ කුඩා හිමිවරු ඇතුළු භික්‍ෂූන් වහන්සේලා දැනුවත් කර ඒ සඳහා අවශ්‍ය උපදෙස්‌ ලබාදුනි. 02 වනදා හිරු උදාවෙනතුරු පුංචි සාමනේර හිමිවරුන්ට නම් නින්දක්‌ නොවුනාසේය. 02 වනදා ආරම්භ වන ගමන පිළිබඳව ඔවුනගේ සිත තුළ පුදුමාකාර සතුටක්‌ තිබිණි.

02 වනදා පාන්දර 03 ට පමණ සියල්ලෝම පිබිදී මුව දොවා ගමනට පෙර ලහි ලහියේ ලක ලැහැස්‌ති වූයේ ආගමික වතාවන්ද සිදු කරලමිනි. උදෙන්ම ගමන ආරම්භ කරන බැවින් මහියංගණයේදි හීල් දානය වැළදීමට අවශ්‍ය ආහාරපානද සකසා ගනිද්දි අම්පාර ලංගම ඩිපෝවේ අංක 60 ශ්‍රී 3599 කුඩා බස්‌ රථය එහි රියදුරු වන පී. ජී. සමරපාල සහ කොන්දොස්‌තර තැන වූ එන්. ජී. ජිනදාස යන මහත්වරුන් විසින් ඒ වනවිටත් අම්පාර මහවාපි විහාරස්‌ථානය අසලට ගෙනවිත් තිබිණි.

භික්‌ෂූන් වහන්සේලා 40 කට අධික පිරිසක්‌ සහ රියදුරු හා කොන්දොස්‌තර යුගලයට අමතර වසන්ත ජයවර්ධන නම් තරුණ මහතෙකු සහ භික්‌ෂුවකුගේ පියෙක්‌ වූ දේවාල හිද රත්නායක මහතාද ඇතුළු ගිහියන් 04 දෙනෙක්‌ද බස්‌ රථයේ විය. රියෑදුරු සමරපාල මහතා පිරිත් හඬ මැද බස්‌ රිය පණ ගන්වා මහඔය අරන්තලා මාර්ගයෙන් නුවර දළදා මාළිගයට යැමට බස්‌ රථය වේගයෙන් ධාවනය කරද්දි වේලාව උදැසන 06 ට පමණ ඇත. තනි දොර කුඩා බස්‌ රථයක්‌ නිසා මෙහි ඉඩකඩ මදිවූවෙන් කුඩා හිමිවරු තිදෙනා බැගින් සමහර ආසනවල සිටිද්දි ඇතැම් හිමිවරු සිටගෙන සිටියහ. ඇතැමුන් ඔබමොබ බස්‌ රථයේ සැරිසරන්නටද වන්හ.

බස්‌ රථයත් වේගයෙන් ඉදිරියට යයි. උහන නගරය පසු කොට ඉදිරියට ඇදෙත්ම බස්‌ රථයේ තුළ සිටිය අයගේ සිත්තුලට යම්කිසි බියක්‌ ඇතිවූහ. ඒ වියරු වූ ත්‍රත්තයන්ගෙන් ප්‍රහාරයක්‌ එල්ල වෙතැයි සිතුන නිසාවෙනි. නමුත් මේ උදැසන එහෙම දෙයක්‌ වෙන්නේ නැතිවෙයි සිතු හිමිවරු සිත සැහැල්ලු කරගත්තේය. දැන් බස්‌ රථය මංගලගම යුද හමුදා මාර්ගයද පසුකරලමින් පිම්මේ ඉදිරියටම යෑයි.

අරන්තලාව 28 කණුව ආසන්නයේදී එක්‌වරම බස්‌ රථය නතර කෙරිණි. යුද හමුදාවට සමාන ඇඳුමක්‌ ඇඳගත් අයෙකු බස්‌ රථය නතර කිරීම එයට හේතුවයි. හමුදාවෙන් වෙන්නැති බස්‌ රථයේ සිටි අය සිතුවෝය. ගතවූයේ තප්පර කිහිපයකි. බස්‌ රථයට ගොඩවූ ඔහු බස්‌ රථය රියදුරු වෙත අවිය අමෝරා බස්‌රිය කැලය දෙසට ගන්නා ලෙසට අණ කරණ ලදී. මේ හාමුදුරුවරු වන්දනා ගමනක්‌ වඩින්නේ කරදරයක්‌ කරන්න එපායෑයි රියදුරු සමරපාල පවසන ලදි. නායක හිමියෝ ඉදිරිපස අසුනේ දැන් කුමක්‌ වේදැයි සිතමින් පසුවිය. සියල්ලෝම තුෂ්ණිම්භූතවී බියට පත්වී සිටියහ. මේ නම් කොටි තමයි කියමින් ඇතැම් හිමිවරුන්ගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටෙන්න ගත්හ.

දැන් බස්‌ රිය මහමගෙන් හැරී ටිකෙන් ටික තේක්‌ක කැලය මැදින් වැලි පාරේ දිගේ සෙමින් සෙමින් යයි. ඒ සමගම කඩු හා තුවක්‌කු අමෝරාගත් ත්‍රස්‌තයෝ බස්‌ රිය වටකරගත්තේ ගොදුරකට ළංවෙන වනසතුන් රැලක්‌ මෙනි. දැන් බස්‌ රථයෙන් නික්‌මෙන මර ලතෝනියයි. බියට පත්වූ කුඩා හිමිවරුන්ගේ හඬට තේක්‌ක වනයම කම්පාවට පත්වීමෙන් මෙන් අතුපතර සෙලවන්නට විය. අතුඅග උන් කුරුළු සේනාද විලාප නගමින් මොරදෙන්නට වන්හ. නායක හිමියන් මෙම මර උගුලෙන් අහිංසක නිරායුධ හිමිවරුන් බේරාගන්නට මගක්‌ ඇත්දැයි බලන්නට මෙන් වටපිට බලන්නට වූහ. සැතපුම් කාලක්‌ පමණ ගිය බස්‌ රථය නවතාලන්නට අණ ලැබුණි. බස්‌ රථයේ සිටි ත්‍රස්‌තයා ඉන් බැස ගියේය.

තවමත් මුළු බස්‌ රථයෙන්ම හැගෙන්නේ එකම මර ලතෝනියකි. බස්‌ රිය වට කොට අවි අමෝරාගෙන සිටිද්දි කෙසේනම් බස්‌රියේ සැනසීමෙන් සිටින්නද? බස්‌ රියට ගොඩවූ ත්‍රස්‌තයෙක්‌ මනි, මනි, වොච්, වොච්, කියමින් බස්‌ රථයේ සිsටි ගිහි පැවිදි සියලු දෙනාගේම මුදල් හා ඔරලෝසු එකතු කර බස්‌ රථයෙන් බසින ලදී. අතර මගදී බස්‌ රථයට ගොඩ වූ ත්‍රස්‌තවාදියා නැවතත් අවියක්‌ අමෝරා බස්‌ රථයට ගොඩවන ලදී. ඔහුගේ අවිය රියදුරු දෙසට යොමුවෙද්දි අනේ මාව මරන්න එපා මම ළමයි 06 දෙනෙක්‌ගේ තාත්තා කෙනෙක්‌ යෑයි රියදුරු සමරපාලට කියා නිමකරන්නට නොහැකි විය. තේක්‌ක වනපෙතම දෙවනත් කරමින් එක පිට එක නිකුත් වූ වෙඩි පහරින් රියදුරු සමරපාලගේ සිරුර පසාරුවී රතුවන් රුධිරයෙන් තෙත්වෙද්දී ඔහු ගේ ප්‍රාණය නිරුද්ධවී සිරුර සුක්‌කානම මතට ඇද වැටෙන්නට විය.

ඒ සමගම බස්‌ රථයට ගොඩවූයේ දරුණු පෙනුමක්‌ ඇති මිටි මහත යකෙකුගේ පෙනුමැති ත්‍රස්‌තයෙකි. ඔහු අතේ තිබූ දිගු කඩුව දුටුවිට බස්‌ රියේ සිටි අයගේ සිත් තුළ තිබූ බිය වැඩි වන්නට වූහ. “ඕනනම් මාව ඝාතනය කරපල්ලා. මගේ දරුවෝ මරන්න එපා” යනුවෙන් හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් පවසත්ම ත්‍රස්‌තයා නායක හිමිගේ හිසට මාරක කඩු පහරක්‌ එල්ල කරන්නට විය. තවත් ජීවත් වෙන්නට වරම් තිබෙන නිසාදොa එම කඩුපහර බස්‌ රියෙහි වහළෙහි වැදුනේ මහත් හඬක්‌ නඟමිනි. ඉන්පසු ත්‍රස්‌තයා නැවතත් එල්ල කර කඩු පහරින් නායක හිමියන්ගේ සිරුරෙන් චිරිස්‌ ගා ලේ විසි වූයේ කණ හා ගෙල දෙපස සිරුරෙන් වෙන් වෙද්දීය. ලේ පිපාසිත මුර්ගයාගේ මුවහත් කඩු පහරට නායක හිමියන්ගේ සිරුරේ පෙත්තෙන් පෙත්ත කැපී යද්දී අනෙකා දිගින් දිගටම නායක හිමියන්හට වෙඩි තබන ලදී. තම නායක හිමිට සිදු වූ ඉරණම දුටු අනෙක්‌ හිමිවරුනට කළ හැකි අන් දෙයක්‌ නොවුන කල්හි මහ හඬින් විලාප තබන්නට වන්හ.

“මම පිටිපස්‌සේ අසුනකයි සිටියේ. මගේ වම් පැත්තෙන් වාවින්නේ ගුණවංශ හිමිද දකුණු පසින් මාපාකඩ විපුලසාර හිමියෝ ද සිටිහ. මට කරන්න දෙයක්‌ නැහැ, බස්‌ රථයෙන් ඇහෙන්නේ එකම මර ළතෝණියයි. මට ඒ මොහොතේ මගේ අම්මයි තාත්තයි මතක්‌ වුණා. මම මගේ ඔළුව ඔඩොක්‌කුවේ ගසා ගත්තා. කෙසෙල් කඳන් කපනවා වගේ හිමිවරුන්ට කොටන ශබ්දෙත් චිරිස්‌ ගාලා හාත්පස ලේ විසික්‌වන ශබ්දෙත් ඇහුනා. වේදනාව දරාගත නොහැකිව හිමිවරු කෙදිරිගාන ශබ්දෙන් මාව දැඩි සේ කම්පනයට පත් වුණා යෑයි හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියෝ සිය අත්දැකීම විස්‌තර කරමින් පැවැසීය.

භික්‍ෂුන් වහන්සේ වේදනාවෙන් කෙඳිරිගාන හඬත් වනයෙන් එන රැහැයියන්ගෙන් හඬත් හොඳින් ඇසේ. එක්‌වරම බස්‌ රියෙහි වෙඩි පහරට ලක්‌ වූ වීදුරු විටින් විට කඩා වැටෙන්නට වූහ. ශබ්දයක්‌, කලබලයක්‌ නොවන නිසා හිමිහිට හිස ඔසවා බැලූ පුඤ්ඤසාර හිමියෝ දුටුවේ නායක හිමි ඇතුළු හිමිවරු ලේ විලක්‌ මැද බස්‌ රථයේ වැටී ඇති අයුරුය. දකුණු පස සිටි මාපකඩ විපුලසාර හිමියන් දෙස බලද්දී දුටුවේ භයංකර දසුනකි. කඩු පහරට ලක්‌ව උන්වහන්සේගේ හිස දෙපලු වී හිස්‌ කබලෙහි හා මොලයේ කැබලි හාත්පස විසිරී ගොස්‌ ඇත. අනෙක්‌ පස සිටි වාවින්නේ ගුණවංශ හිමි ද අවසන් සුසුම් හෙළා ඇත. මුළු බස්‌ රථයම එකම ලේ විලකි. කසාවන් සිරුරු වෙනුවට බස්‌ රථය පුරාවටම ඇත්තේ රතු පාට රුධිරය තැවරුණු සිවුරු හා වැටී සිටින හිමිවරුය.

හිස ඔඩොක්‌කුවෙහි ගසාගෙන විනාඩි 20 ත් 30 ත් තවත් ඉන්නට ඇත. බසයෙන් බැස යන්නටත් බැරිය. වෙන දෙයක්‌ වෙච්චදෙන් කියා බස්‌ රථයේම ඉන්නවා යෑයි පුඤ්ඤසාර හිමියෝ සිතන්නට වූවේය. තුවාල වෙච්ච හාමුදුරුවරු ඉන්නවා නම් එළියට එන්න. අපි හමුදාවෙන්. බස්‌ රථයෙන් කිසිම ශබ්දයක්‌ නැත. අපි හමුදාවෙන්…….. බේරිච්ච හාමුදුරුවරු ඉන්නවා නම් එළියට එන්න. කියා හමුදාවේ අය බස්‌ රියට ගොඩ වෙත්ම බේරුණු හිමිවරු සැඟවී සිටි තැන් වලින් හඬමින් එළියට එන ලදී. ඒ සමගම තුවාල ලත් හිමිවරු කඩිනමින් අම්පාර රෝහලටත්, එතැනින් නුවරට යවා කොළඹ යෑවුනි. ඒ වන විටත් ලේ පිපාසිතයන්ගේ උණ්‌ඩයේ කඩු පහරට ළක්‌වෙමින් මුළු ලොවම කම්පාවට පත් කරමින් හෑගොඩ ඉන්ද්‍රසාර හිමියන් ඇතුළු භික්‍ෂුන් වහන්සේ 31 නමක්‌ ද රියෑදුරු සමරපාල හා කොන්දොස්‌තර ජිනදාසත්, වසන්ත ජයවර්ධනත් ඇතුළුව 34 දෙනෙක්‌ ඝාතනය වී තිබුණි. දිවි ගලවා ගන්නට වාසනාව තිබූ හිමිවරු 12 ක්‌ සහ දේවාලහිඳ රත්නායක මහතා ද බේරී තිබිණි.

මෙම ප්‍රහාරය එල්ල වෙද්දී දම්බරාවේ සෝනුත්තර හිමියෝ කළ හැකි අන් දෙයක්‌ නොවුන විට පාත්තරයෙහි හිස ඔබා ගන්නා ලදී. ත්‍රස්‌තයෝ පාත්තරයට වෙඩි තැබූ විට එය සිදුරු වී එක්‌ උණ්‌ඩයක්‌ හිසකෙස්‌ පුච්චාගෙන ගිය ද හිසට කිසිදු හානියක්‌ වී නොතිබිණි. දිවි ගලවාගත් හිමිවරු අතරින් වලල්ලාවිට විමලඥාණ හිමි, ආඳාඋල්පත බුද්ධසාර හිමි සහ හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියෝ දැඩි සේ තුවාල ලබා වසර ගණනාවක්‌ ප්‍රතිකාර ලබා ගන්නා ලදී. ඉන් ආඳාඋල්පත බුද්ධසාර හිමි සදාකාලිකව ආබාධිත වී බිබිල රිදීමාලියද්ද ප්‍රදේශයේ විහාරස්‌ථානයක ද, වලල්ලාවිට විමලඥාණ හිමියෝ පුත්තලම විහාරස්‌ථානයකද, හඟුරන්කෙත පුඤ්ඤඳසාර හිමි අම්පාර උදයපුර සාම විහාරයේ විහාරාධිපති ලෙස ද කටයුතු කරයි.

මුළු ලොවක්‌ කම්පා කරමින් කළ ඒ මහා ඛේදවාචකය සිදු වී මෙම ජුනි 02 වැනි දාට වසර 25 කි. එවන් අහස පොළොව නුහුලන මහා අපරාධයක්‌ කළ මිනීමරු ත්‍රස්‌තවාදීන්ට ඒවාට හොඳ හැටි විපාක ලබන්නට සිදු විය. මේ වන විට එම නාහිමි සහ අපවත් වූ අනෙකුත් භික්‍ෂුන් වහන්සේ හා ගිහි පිරිස සිහිකරමින් උතුර – නැඟෙනහිර භාර පිරිවෙන් අධ්‍යක්‍ෂක අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂ කිරිඳිවැල සෝමරතන නාහිමියන් විසින් මෙම කාල සීමාව තුළම පුන්‍යානුමෝදනා වැඩ සටහන් හා සැමරුම් වැඩසටහන් රැසක්‌ පවත්වමින් තම නායක හිමියන්ගේ ගුණ සුවඳ තවමත් ලෝකයා හමුවට ගෙන ඒමට මහඟු උත්සාහයක්‌ දරමින් සිටිති.

එදා මුළු ලොවම කම්පා කරමින් භික්‍ෂුන් වහන්සේ 31 නම දුටු දුටුවන්ගේ නෙත් කෙවෙනි තෙත් කරමින් ආදහනය කළ සෑදූ සමරු ස්‌මාරක අදටත් අම්පාර මහාවාපි විහාරස්‌ථානය දෙසින් අහසට නැගී කියන්නේ කුරිරු ත්‍රස්‌තවාදීන්ගේ ම්ලේච්ඡ භාවයයි.

සුසන්ත අමරබන්දු

Protected by Security by CleanTalk