Spread the News

අලුත්ගම බේරුවල සිද්ධිය ගැන සී.අයි.ඩී. පරීක්‍ෂණ
– පොලිස්‌පති කියයි

රනිල් ධර්මසේන

අලුත්ගම හා බේරුවලදී පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී) පූර්ණ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බවත් සියලු වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බවත් පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා පැවැසීය.

දැනටමත් පුද්ගලයන් 55 දෙනකු අත්අඩංගුවට ගෙන 35 දෙනකු අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද ඒ මහතා පැවැසීය. අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 7 දෙනකු පමණක්‌ මුස්‌ලිම් ජාතිකයන් බවත් අනෙක්‌ සියලු දෙනා සිංහල ජාතිකයන් බවත් පොලිස්‌පතිවරයා කීවේය. ඉලංගකෝන් මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19 වැනිදා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

සිද්ධිය ආරම්භ වූ අවස්‌ථාවේ සිට මේ දක්‌වා වූ ක්‍රියාවන් පිළිබඳව පොලිසිය දැඩි ලෙස විමසිලිමත්ව පරීක්‍ෂණ සිදුකරන බවද ඉලංගකෝන් මහතා කීය.

පොලිසිය හා විශේෂ කාර්ය බළකාය අලුත්ගම, බේරුවල හා දර්ගා නගරයේ ආරක්‍ෂාව තර කර ඇතැයිද දැනට ඉතා සාමකාමීව දෛනික කටයුතු එම ප්‍රදේශවල සිදුවන බවද හෙතෙම කීය.

ගැටුමෙන් අලුත්ගම ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු කැපුම් තුවාල ලබා මියගොස්‌ ඇතැයිද වැලිපැන්න ප්‍රදේශයේ ද්‍රවිඩ පුද්ගලයෙකුද පහරදීමකින් මියගොස්‌ ඇතැයිද ඒ මහතා කීවේය.