අලුත් ආණ්‌ඩුව හමුවේ ඇති පාර්ලිමේන්තු අභියෝගය
අපේ රටේ දේශපාලන ස්‌ථාවරත්වය පිළිබඳ අනාවැකි පැවසීම අතිශයින්ම දුෂ්කර වකවානුවකි මේ. දේශපාලනයේ ගමන්මග කුමන ආකාරයට, කොයි මොහොතේ වෙනස් වේදැයි නිශ්චිත වශයෙන් කිව නොහැකිය. පසුගිය ජනාධිපතිවරණය එය මැනවින් ප්‍රදර්ශනය කළ අවස්‌ථාවකි. කිසිවකුත් අපේක්‍ෂා නොකරන තත්ත්වයක් එලෙස නිර්මාණය වී බහුතර ආණ්‌ඩු බලයක් තිබූ මෙන්ම පරාජය කළ නොහැකි යෑයි සිතූ මහින්ද රාජපක්‍ෂ මහතාට ද ගෙදර යන්නට සිදුවිණි.
ඒ අනුව මෙරට ජනාධිපතිවරයා වශයෙන් හංසයා ලකුණින් තරග කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කොට අගමැති වශයෙන් එවකට විපක්‍ෂ නායක ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා පත්කොට කැබිනට් මණ්‌ඩලයක් ද ප්‍රකාශ කර අවසන්ය.
එය සරලම සරල කතාවය. එම නව රජය යටතේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්‌වීමද පැවැත්විණි. මීට පෙර පාර්ලිමේන්තු බහුතර බලය තිබුණේ එක්‌සත් ජනතා නිදහස් සංධානයටය. එහි සුළුතරය වූයේ එජාපය ප්‍රමුඛ විපක්‍ෂයයි.
කෙසේ වෙතත් ඉතිහාසයේ ප්‍රථම වතාවට එලෙස බහුතර බලය තිබූ ආණ්‌ඩුවේ ප්‍රධානතම පක්‍ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා සුළුතරයේ නියෝජිතයා වශයෙන් ඉදිරිපත්ව 51% ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජනාධිපතිවරයා ලෙස පත්විණ.
දැන් සුළුතරය ආණ්‌ඩු පක්‍ෂය වී හමාරය. සුළුතරයේ නායකයා පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය මත අගමැතිවරයා වශයෙන්ද ඔහුගේ මන්ත්‍රී කණ්‌ඩායම ආණ්‌ඩු පක්‍ෂයේ අසුන් ගනිමින් ඇමැතිවරුන් වශයෙන් ද පත්ව සිටී. එය මෙරට දේශපාලන ඉතිහාසයේ අන් කවරදාවත් සිදු නොවූවක්‌ය. එවැන්නක් මීට පෙර එංගලන්තයේ සිදුවී ඇති බව නව රජයේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්‌වීමේදී අගමැතිවරයා කියා සිටියේය.
පාර්ලිමේන්තු මැතිවරණයක් තුළින් ඉහත ක්‍රියාදාමය සාමාන්‍යයෙන් සිදු විය යුතුය. එහෙත් මෙය අසාමාන්‍යය. ප්‍රථම වරට දැක ගත හැකි වූ තත්ත්වයකි. නව ආණ්‌ඩුවට අනුව නම් එය නව ගමනක ඇරඹුමකි. විපක්‍ෂයේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට අනුව නම් එය විලම්භීතයකි.
ප්‍රථම පාර්ලිමේන්තු රැස්‌වීම වාර්තා කිරීමට මෙන්ම එය දැක බලාගැනිමට පසුගිය අඟහරුවාදා ගැලරියට ගොස් සිටි පිරිසටද එය ප්‍රහේළිකාවක් වන්නට ඇත. ඒ එදින ආණ්‌ඩු පක්‍ෂයේ අසුන්ගත යුතු වූයේ එජාපය ප්‍රමුඛ ආණ්‌ඩුවේ නියෝජිතයන්ය.
එහෙත් පාර්ලිමේන්තු රැස්‌වීම ආරම්භ කරන විට එය එසේ නොවන බව පෙනෙන්නට තිබිණ. ඒ පසුගිය ආණ්‌ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කළ කිහිපදෙනෙකුම ආණ්‌ඩු පක්‍ෂයේ අසුන්ගෙන සිටීමය. දුමින්ද සිල්වා, සජින්a වාස් ඒ අතර වූහ.
එසේ නම් ඒ ආණ්‌ඩුවට සහාය දීමට ද නැත. පසුගිය පාර්ලිමේන්තුවේ බහුතර බලය සංධානයට වූ බැවින් ආණ්‌ඩු පක්‍ෂයේ ආසන ප්‍රමාණවත් නොවීය. එබැවින් ඔවුන්ට විපක්‍ෂයේ පසු පෙළ වාඩිවන්නට සිදුවිය. එවිට විපක්‍ෂය ඉදිරියෙන්ද පසුපසින්ද ආණ්‌ඩුවෙන් බැට කෑවේය.
දැන් සිදුව ඇත්තේ ද එවැන්නකි. එවකට බහුතර බලය හිමිවූ සන්ධානය විපක්‍ෂයට ගොස් ආණ්‌ඩු පක්‍ෂය ඉදිරියෙනුත් වට කරගෙනය. කොහොම වෙතත් මේ බිහිව ඇත්තේ ජාතික ආණ්‌ඩුවක්‌ය. එහෙත් එහි බහුතරය විපක්‍ෂයයි. මෙම ජාතික ආණ්‌ඩුවේ කාලය දින සියයකි. පාර්ලිමේන්තුව පවතින ආකාරයට දින සියයකට වැඩිය යා නොහැකි යෑයි බැලූ බැල්මට පෙනේ.
එසේ පවසනුයේ කුහක සිතකින් නොව පාර්ලිමේන්තු ඔලු ගෙඩි ගණනින් බැලූ කල්හි විපක්‍ෂයට එහි බහුතර බලය හිමිවන බැවින් මෙම දින සියය තුළ ආණ්‌ඩුවට සිදුවනුයේ රටට යහපතක් වන බවට බැලූ බැල්මට පෙනෙන යෝජනා, අණපනත් ක්‍රියාත්මක කිරීමය. ජනතාවට සහන සැලසීමය. යම් හිත රිදවීමක් හෝ විපක්‍ෂය සමග ඇති කරගෙන තිබෙන සමගි සම්මුතිය බිඳ වැටුණොත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැටෙන්නේ අලි අමාරුවකය.
දින සියය තුළ ආණ්‌ඩුවට කරන්නට වනුයේ මෙම හිතකර දේවල්ම පමණි. එය ජනතාවට නම් ඉතාම සුබදායකය. පාර්ලිමේන්තු බලය මෙම කාලය තුළ අතිශය තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරනු ඇත. එහෙත් පසුගිය පාලනයේ සිදු වූයේ එවැන්නක් නොව පාර්ලිමේන්තු බලය විධායකයට යට වීමය. දැන් තත්ත්වය වෙනස් ය. පාර්ලිමේන්තු සංයුතිය දෙස බැලූ කල්හි ප්‍රධාන කඳවුරු තුනක් දැකිය හැක.
ඉන් පළමු වැන්න අගමැති රනිල් ප්‍රමුඛ ඔහුගේ එජාප මැති ඇමැතිවරුන්ය. අනෙක ජනාධිපති ප්‍රමුඛ ඔහුට සහාය දක්‌වන ශ්‍රී ලනිප කණ්‌ඩායම ය. අනෙක අප විපක්‍ෂය යෑයි දැඩිව පවසන විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශ්වය.
ඊට අමතරව දෙමළ ජාතික සන්ධානය සහ ජවිපෙ සිටී. ඔවුන් ද අගමැතිවරයාගේ කඳවුර ආසන්නයේ සිටින මිත්‍ර හමුදා කඳවුරු බව කිව හැක.
ඉහත කී කඳවුරු අතරින් විපක්‍ෂ නායකවරයා ප්‍රමුඛ එජනිසයට බලවත් විරෝධයක් සහ හඬක් පාර්ලිමේන්තුව තුළ නැඟිය හැක. සන්ධානය පක්‍ෂ කිහිපයකින්ම සමන්විතය. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්‌කාර, ඩග්ලස් දේවානන්ද, තිස්‌ස විතාරණ, අතාවුල්ලා මෙන්ම නිමල් සිරිපාල ප්‍රමුඛ ශ්‍රී ලනිපය විටෙක වෙන් වෙන්වත් විටෙක සන්ධානයක් ලෙස ද හැසිරෙනු ඇත.
වෙනත් විදිහකින් කිවහොත් දේශපාලන පරිණතභාවය, කථිකත්වය ඇතුළු කාරණාවලින් වත්මන් විපක්‍ෂය තවමත් පොහොසත්ය. පසුගිය කාලයේ මෙන් දැන් විපක්‍ෂය පණ නැතැයි කිසිවකුටත් කිව නොහැක. එනම් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ හඬ ප්‍රබලය. එහෙත් ඔවුනට තිබෙන හිසේ රුදාව වනුයේ විපක්‍ෂයේම තවමත් අසුන් ගෙන සිටින ජවිපෙ සහ දෙමළ සන්ධානයේ හඬය.
කෙසේ වෙතත් පවතින වාතාවරණය තුළ ආණ්‌ඩුවේ සංයුතිය හෝ විපක්‍ෂයේ සංයුතිය කුමක්‌දැයි හරියටම බලා ගැනීමට නම් ඡන්ද විමසුමක් වන තුරු බලා සිටින්නට සිදුවනු ඇත. නැතිනම් මේ දින සියය තුළ එය දැක ගැනීමටද නොහැකි වනු ඇත. කෙසේ වෙතත් තමනට බහුතරය ඇතැයි කියන අගමැතිවරයා යම් මොහොතක ප්‍රදර්ශනය කළහොත් එය ඔහුගේ කාර්යයට ශක්‌තියක් වේ. ජනාධිපති මෛත්‍රී සමග එක්‌වූ ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් 27 දෙනකුගේ කණ්‌ඩායම රනිල්ට ශක්‌තියක් වුවද එය තුළින් වුවද බහුතර බලය ප්‍රදර්ශනය නොවේ.
නව ආණ්‌ඩුව කළ යුත්තේ රටට, ජනතාවට සෙතක් වන කරුණු මෙන්ම පසුගිය පාලකයන් කරන ලද බව කියන වංචා, දූෂණ හෙළිදරව් කිරීමය. එයද සාක්‍ෂි සහිතවය. මෙම කාලය තුළ ප්‍රමාණාත්මක සාධක පෙන්වා පසුගිය පාලනය දූෂිත බව ඔප්පු කරන තුරු ජනතාව බලා සිටී. එය ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේ ප්‍රතිඵලයට සෘජුවම වග කියනු ඇත.
ඒ තුළින් එජාපයට පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ලැබූ ජනවරම සින්නක්‌කරයටම ලියා ගැනීමට හැකිවනු නියතය. එය එසේ නොවුණහොත් නැවතත් දින සියයකින් පසුව එළැඹෙන මහ මැතිවරණයේදී සන්ධානය නැවතත් ආණ්‌ඩු පක්‍ෂයට ඒමට ද බැරි නැත. එහෙත් එහිදී ඔවුනට තිබෙන ප්‍රධානතම අවාසිය වනුයේ උතුරු, නැගෙනහිරින් ඔවුන් ලබන පරාජයය.
එලෙස වුවහොත් එජාපයට වාසිදායක තත්ත්වයක් ඇතිවී විධායක ජනාධිපති ධුරයේ පවතින බලතල කප්පාදු කරමින් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාම නැවත පත්වී නිදහසේ ආණ්‌ඩු පාලනයක් ගෙන යැමේ මග එළි පෙහෙළි වනු ඇත. කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයට පෙර ගතවන මෙම කාලය උණුසුම් පුවත් මවන විශ්මිත දේශපාලන පරිච්ඡේදයක් වනු නියතය.
අකිත පෙරේරා