Spread the News

අවසර හාමුදුරුවනේ…

source:

ජාතික ව්‍යසනයක් ඇතිවන සෑම අවස්ථාවකම දේශය වෙනුවෙන් ඉදිරියට පැමිණ එකී ව්‍යසනයන්ට එරෙහි විමුක්ති අරගලයන්හි පෙරමුණ ගැනීමට භික්ෂූන්වහන්සේ ඉදිරිපත් වීම පිළිබඳව ශ්‍රී ලාංකේය ඉතිහාසයෙහි සටහන්ව ඇත්තේ වරක් දෙවරක් නොවේ.

ථෙරපුත්තාභය හාමුදුරුවෝ චීවරයෙන් කලකට නිදහස් වී ගැමුණු රජු සමඟ සංග්‍රාම භූමියට ගියේ ඒ හැඟීමෙනි. එවැනිම දේශප්‍රේමී හැඟීමකින් පන්නරය ලද වාරියපොළ හාමුදුරුවෝ සුදු අධිරාජ්‍යවාදී කොඩිය බිම දමා සිංහ කොඩිය යළි එසැවූහ. අහිංසක ගැමියන්ට එරෙහිව පැනවූ අසාධාරණ බදුවලට එරෙහිව පුරන්අප්පු ඇතුළු විමුක්තිකාමීන්ට උදවු කිරීම නිසා කඩහපොළ හාමුදුරුවෝ වෙඩි උණ්ඩයට මුහුණ දුන්හ.

මේ හැරෙන්නට දේශය වෙනුවෙන් පෙරට ගිය භික්ෂූන්වහන්සේ පිළිබඳව උත්කෘෂ්ට සටහන් අපේ ඉතිහාසයේ එමට තිබේ.

එහෙත් මේ භික්ෂූන් වහන්සේ තම භික්ෂූත්වයෙන් ඔබ්බට පවා යමින් එසේ පෙරමුණ ගත්තේ කාගේවත් මුසා බස්වලින් සිත් දූෂ්‍ය කරගෙන නම් නොවේ. සියල්ල මැනැවින් වටහාගෙන එසේ ඉදිරිපත්වීම තමන් වහන්සේ විසින් කළ යුතු අත්‍යවශ්‍ය මෙහෙවරක් ලෙසින් හෘදයසාක්ෂියට එකඟව තීන්දු කරගත් බැවිනි.

දේශයට අවශ්‍ය සීනි නිෂ්පාදනය වැඩිකරන්නෙමුයි ගිවිස ලබාගත් කම්හලක සීනි නිපැදවීම වැඩි කිරීම වෙනුවට අරක්කු ස්ප්‍රීතු නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගෙන ඇත්නම් ජාතික ව්‍යසනය ලෙසින් තීන්දු කළ යුත්තේ එසේ ගිවිසුම් කඩා බිඳ අපේ සමාජයම ඔද්දල් කරන අරක්කු ස්ප්‍රීතු නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගැනීමේ අගතිගාමී ක්‍රියාවලියයි.

අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මත්පැනෙහි ආදීනව උදේ සවස අපට කියා දෙන්නාහ. ඒ අපායෙන් අප මුදවා ගැනීමට අපමණ වෙහෙස දරන්නාහ.

බුදුන් වහන්සේ ද තම උතුම් ව්‍යායාමයෙන් විශාල කොටසක් මත්පැනෙහි ආදීනව කියාදීමට වැය කළ සේක. අවසන් පන්සිල් පදයත් මත්පැනින් මිනිසුන් ගලවාගැනීම සඳහා වෙන්කළේ එබැවිනි.

එබැවින් භික්ෂූන් වහන්සේ පෙරමුණ ගත යුත්තේ මත්පැන් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමට එරෙහිවය.

සරල උදාහරණයක් ගනිමු. සෙවනගල සීනි නිෂ්පාදනය පසුගිය කාලවකවානුව තුළ සියයට 12 සිට සියයට 4 දක්වා අඩුවී ඇතැයි පැවසේ. එසේම එම කම්හලේ මත්පැන් ස්ප්‍රීතු නිෂ්පාදනය ලීටර් විසිලක්ෂයේ සිට හතළිස් තුන් ලක්ෂය දක්වා වැඩිවී තිබේ.

එක් පැත්තකින් අවසන් පන්සිල් පදය බුද්ධ වචනයෙන්ම ප්‍රකාශිත වී ඇත. මත්පැන් නිසා සිදුවන පොදු ව්‍යසන සහ වෙන් වෙන්ව සිදුවන ව්‍යසන ගැන තොරතුරු ලැබේ. මත්පැනින් සිහි විකල් කරගත් රජකෙනකු තම සිඟිති පුතු මස්කොට “බයිට්” සාදා ඒ කටගැස්මත් සමඟ මත්පැන් පානය කළ අයුරු කියැවෙන කතාන්දර අපට කියාදී ඇත්තේ ද අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේම විසිනි. අදත් එවැනි බිහිසුණු කතා අසන්නට ලැබේ.

එබැවින් අපේ හාමුදුරුවන් වහන්සේ එරෙහි විය යුත්තේ උද්ඝෝෂණ කළ යුත්තේ අධිකරණයට යා යුත්තේ, මත්පැන් නිෂ්පාදනය වැඩි කිරීමට එරෙහිවයි. උන්වහන්සේ උදවු කළ යුත්තේ “මතට තිත” ප්‍රතිපත්ති සම්පාදකයන්ට මිස අරක්කු ස්ප්‍රීතු නිෂ්පාදකයන්ට නම් නොවේ.

අපේ භික්ෂූන්වහන්සේ සාමාන්‍ය ගිහියන්ටත් වඩා සම්මා සතිය ප්‍රගුණ කර ඇත්තාහ. එබැවින් සාමාන්‍ය ගිහියන්ට නොවැටහෙන දේ, නොපෙනෙන දේ උන්වහන්සේට හොඳින්ම පෙනේ. වැටහේ.

එබැවින් උන්වහන්සේ මුලා කිරීම පහසු නැත. මත්පැනින් ලද ආදායම ලාභයක් සේ හුවා දක්වමින් උන්වහන්සේ මුලාකිරිම ද පාපකර්මයකි. එහෙත් එසේ සම්මා සතිය නිසි පරිදි ප්‍රගුණ නොකළ භික්ෂූන්වහන්සේ කිහිප නමක් හෝ සිටීම කනගාටුවට කරුණක් බව කිව මනාය. එය උතුම් වූ බුදුදහමට නිගාවකි.

උන්වහන්සේ කිහිප නමට ද සම්මා සතිය පහළවේවායි මත්පැන් නිසා දුක්විඳින අහිංසක බිරින්දන්ගේ දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. එබැවින් අවසන් සිල්පදය ඔවුන්ගේ යහපත වෙනුවෙන් සමාජගත කිරීමට ඔබවහන්සේගේ කරුණාව ලැබේවා!