අසිරිමත් සිදුවීම්වලින් සපිරුණු වෙසක් පුන් පොහොය
“බුද්ධ” යන හඬ තරම් දුර්ලභ වූත් මිහිරි වූත් සැප දායක වූත් වෙනත් හඬක් තුන් ලොවෙහිම නැත. ඒ බුද්ධ හෙවත් බුදුන් යනුවෙන් හඳුන්වන අති උතුම් මනුෂ්‍යරත්නය ලෝකයේ පහළ වූයේ වෙසක් පුන් පොහෝ දිනක වීම නිසා අද ලෝකවාසී හැට කෝටියකට අධික බෞද්ධ ජනතාව මහත් සේ පී‍්‍රතියට පත්ව තමන් ලබා ගත් මනුෂ්‍ය ජීවිතයෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ක්‍රියා කරන බව පැහැදිලිය.
අතීතයෙහි ලොව පහළවී වැඩ සිටි දීපංකර සම්බුදුරදුන් ප්‍රධාන සංඝරත්නය රඹගම් නම් පුරයට වැඩමවද්දී පඤ්චාභිඥා සහ අෂ්ට සමාපත්ති උපදවා සිටි සුමේධ නම් තාපසයා මහ මඩෙහි බිම දිගා වී බුදුරදුන් ප්‍රධාන සංඝ රත්නය මගේ පිට මතින් වඩිත්වා යි අදිටන් කොට විසීය. මේ තවුසන් වෙත දිවැස් යොමු කළ දීපංකර බුදුහු මෙයින් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් ගෙවෙත්ම ගෞතම නමින් තවුසා සම්බුදු පදවියට පත්වන බව දැන නියත විවරණ දුන්හ. අප ගෞතම බුදුරදුන්ට මේ උතුම් ප්‍රථම නියත විවරණය දෙන ලද්දේ වෙසක් පුනු පොහෝ දිනකය.
සුමේධ තවුසා විවිධ ආත්මභාවයන්හි පාරමී ධර්මයන් සම්පූර්ණය කරමින් අවුත් වෙස්සන්තර ආත්ම භාවය ගත කිරීමෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණි. එහිදී දෙව්, බඹුන්ගේ ආරාධනයෙන් දඹදිව කිඹුල්වත් නුවර අගනුවර කොට පාලනය ගෙන ගිය සුද්ධෝදන රජතුමාගේ අග බිසව වූ මහාමායා දේවියගේ කුස ඇසළ පුන් පොහෝ දිනක දී පිළිසිඳ ගත්තේ ය. දසමස් ඇවෑමෙන් ලුම්බිනි නම් සල් උයනේ දී වෙසක් පුන් පෝ දිනක මෙලොව එළිය දුටු ඒ කුමරා පසුව සියලු ලෝකාර්ථ සිද්ධිය සලසන හෙයින් සිද්ධාර්ථ නම් විය. එදා ධර්මාසනයකින් බසින ධර්ම කථිකයාන කෙනෙකු සේ මව්කුසින් බීමට බට බෝසතාණෝ පොළොවෙන් පැන නැගී සත්පියුම් මත ඉදිරියට වැඩමවා අවසානයේ ‘අග්ගෝහමස්මි ලෝකස්ස’ යන ගාථාවෙන් ‘මම ලෝකයට අග්‍ර වෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත මගේ උපතක් නැත.’ යනුවෙන් එදා වෙසක් පුන් පෝදා මධුර ස්වරයෙන් සිංහ නාද කළහ.
අප මහ බෝසතුන් උපතත් සමඟ උසස් ප්‍රකාශ කරන ලද්දේ මේ අවස්ථාවේදී පමණක් නොවේ. මහෞෂධ නමින් ප්‍රකටව සිටි බෝසතුන් සුමනා නම් මව් කුසින් බිහිවන විට අතේ යමක් මිට මොලවාගෙන සිටින බව දුටු මව ‘තාත කිං ගහෙත්වා ආගතොසි ති පුච්ඡි’ යනුවෙන් ‘දරුව අතෙහි කුමක් ගෙන ආවේදැයි’ ප්‍රශ්න කළ කල්හි ‘ඔසධං අම්ම’ මෑණියනි, බෙහෙතක් ගෙන ආවෙමියි’ කළ ප්‍රකාශය උපතත් සමඟ කතා කළ ප්‍රථම අවස්ථාව වශයෙන් දැක්වේ. නැවත වෙස්සන්තර ආත්මභාවයෙහි මව්කුසින් බිහිවෙමින් ‘අත්ථනුඛො අම්ම කිඤ්චි ගෙහෙ දානං දස්සාමි’ යනුවෙන් මෑණියනි, දන් දෙන්නට ගෙදර කිසිවක් ඇද්දැයි’ ප්‍රකාශ කළ බව බෝධිසත්ව චරිතයෙහි දැක්වෙයි. මේ අන්දමට උපන් හැටියේ ඇවිදීම කතා කිරීම පිළිබඳව ඇති වාර්තා ගැන සමහරු සැක පහළ කරති. එහෙත් වසු පැටවු වැනි සමහර තිරිසන් සතුන් උපතත් සමඟ ඇවිදිනු දක්නට ලැබේ. දීර්ඝ කාලයක් බෝසතුන් මෙන් පෙරුම් දම් පුරන ලද අය නොව සාමාන්‍ය අය ද උපතින් වැඩිකල් නො ගොස් පුදුම හපන්කම් පෙන්වා ඇති බව බොහෝ අය දනිති. වසර ගණනකට පෙර බල්ගේරියාවේ ප්ලෙවෙන් ප්‍රදේශයේ උපත ලැබූ සොපියා පෙට්කොව් නමැති දෙමස් දැරිය ලතින්, ඉංගී‍්‍රසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, බල්ගේරියානු, ලිතුවේනියානු, රුසියානු සහ පැරැණි අරාබි භාෂා ඉතා දක්ෂ අන්දමින් කතා කළ බවට වාර්තා මුළු ලෝකයේම පැතිරී තිබුණි. බොහෝ විද්‍යාඥයන් පවා පුදුමයට පත් කළ මෙවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳව අපි දනිමු. එසේ නම් තවත් කෙනෙකුට සමාන නොවූ අසම ගුණයෙන් පිරිපුන් බෝසතුන් සත්පියුම් මත ගමන් කිරීමත්, අභීත ප්‍රකාශයක් කිරීමත් පිළිබඳ සැක පහළ කිරීමට කිසිදු හේතුවක් නැත.
සිදුහත් බෝසතුන්ට අවශ්‍ය සියලු සැප සම්පත් සුද්ධෝදන පියාණන් විසින් ලබා දීමට වග බලාගත් අතර සොළොසැවිරිදි වියේදී යසෝදරා නම් රජ කුමරිය සරණකර දීමට ද පියවර ගන්නා ලදී. එකුන්තිස් වන වියට ලංවත්ම ගත කළ කාමසුඛල්ලිකානු ජීවන පැවැත්මේ නිසරු බව දැන තරමක් දුරට කල්පනා කරන්නට විය. මේ අතර පිය රජතුමාගේ අවසරයෙන් උයන් කෙළියට යද්දී දුටු සතර පෙර නිමිති වලින් තව දුරටත් මහත් මානසික විප්ලවයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇසළ පුන් පෝදාක කන්ථක අසු පිට නැගී ඡන්න ඇමැතිවරයා සමඟ මහභිනික්මනෙහි යෙදුණි. විසි නම වන වියේ සිට තිස් පස් වන විය දක්වා කලින් ගත කළ අධික කම්සැප විඳීමේ ජීවන ක්‍රමයට පටහැනි අත්තකිලමතානුයෝගී ක්‍රමය ක්‍රියාත්මක කරන්නට විය. එහි නිෂ්ඵලතාව ද දැන මැදුම්පිළිවෙත් මග අනුගමනය කර ගයාවේ ඇසතු බෝ මුල වැඩ සිට භාවනාවේ යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් වෙසක් පුන් පෝදාක බෝසතාණෝ සව් කෙලෙසුන් නසා උතුම් වූ බුද්ධරාජ්‍යයට පත්වූහ.
එදා රාත්‍රී පෙර යම් පුබ්බේනිවාසානුස්මෘතිඥානයත්, මධ්‍යම යාමයෙහි චුතුපපාතඥානයත් ලබා පශ්චිම යාමයේදී අසිත ආදී අන් කිසිදු තවුසෙකුට හෝ වෙනත් කෙනෙකුට ලබාගත නොහැකි වූ ආශ්‍රවක්ෂයකර ඥානයත් ලබා ගැනීම මෙදින සිදු වූ සුවිශේෂ සිදුවීමකි. දීර්ඝ කාලයක් සසර මහත් උත්සාහයෙන් පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් මෙසේ බුදු බවට පත්වීම තුළින් ලබා ගත් පී‍්‍රතිය ‘අනෙක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං’ ආදී ගාථාවෙන් ප්‍රකාශ කරන ලද්දේ ද වෙසක් පුන් පෝදාකය.
තම අරමුණ ඉටුකර ගත් බුදුරජාණෝ ලෝකාර්ථ චර්යා, ඥාතාර්ථ චර්යා සහ බුද්ධි චර්යා වශයෙන් ක්‍රම තුනකින් ලෝ සතුන්ගේ සුබ සිද්ධිය සඳහා ක්‍රියා කළහ. ඒ අතුරෙන් ඥාත්‍යර්ථ චර්යාව සඳහා සුද්දෝධන පියාණන්ගේ ආරාධනයෙන් විසි දහසක් භික්ෂූන් පිරිවරාගෙන රජගහ නුවර සිට කිඹුල්වත් පුරය දක්වා පිටත් වූ ගමන නිමාවට පත් කරන ලද්දේ බුද්ධත්වයට පත් වීමෙන් එක් වසරක් සපිරුණු වෙසක් පුන් පෝ දිනයේ ය. එසේම අහංකාරයෙන් යුත් සිය ඥාතීන්ගේ මාන මදය බිඳලීම පිණිස යමා මහ පෙළහර දැක්වූයේ ද මේ වෙසක් පුන් පොහෝ දිනක වීම වැදගත්ය.
පන්සාළිස් වසරක් මුළුල්ලේ අසීමිත දෙව් මිනිසුන්ට නිර්වාණාවබෝධය කර දී බුද්ධ කෘත්‍යය නිම කළ ගෞතම බුදුහු පාවා නුවර සිට කුසිනාරා නුවරට වැඩමවා මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනෙහි යමක සාල වෘක්ෂයන් අතුරෙහි පනවන ලද ආසනයේ සැතපී වැඩවුන්හ.
එහිදී භික්ෂූන් අමතා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව පැහැදිලි කොට අප්‍රමාදීව ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ක්‍රියා කරන්න යැයි අවවාද දී වෙසක් පුන් පෝදාක පිරිනිවන් පා වදාළහ.
පරි නිර්වාණ මඤ්චකයෙහි වැඩ සිටිය බුදුරදුන් ලොව බලද්දී හත්සීයක් පිරිස සමඟ දඹදිව සිට ලංකාවට පැමිණෙන ආර්ය වංශික විජය කුමාරයා දුටු බවත්, ලංකාවේ සම්බුද්ධ සාසනය බැබළවීම සඳහා මේ පිරිසගේ පැමිණීම හේතුවන බවත් සලකා ඔවුනට ආරක්ෂාව ලබාදෙන මෙන් සක් දෙවිදුන්ට නියම කළ බවත් ඓතිහාසික වාර්තාවල දැක්වේ. බුද්ධ පරිනිර්වාණය සමඟ බුද්ධ වර්ෂය ආරම්භ වන අතර වංශ කතාවට අනුව විජය රජතුමාගෙන් ලංකාවේ අඛණ්ඩ රාජ පරම්පරාව ද ආරම්භ වන නිසා ඒ තුළින් ම ආර්ය ජාතියේ ආරම්භක වර්ෂය ද පෙන්නුම් කරයි.
මණිඅක්ඛිත නා රජුන්ගේ ඇරයුමෙන් බුදුරදුන් කැලණියට වැඩම වීමත් අනතුරුව සමනල කන්ද, දිවා ගුහාව, දීඝ වාපිය, මුතියංගනය, අනුරාධපුරය ආදී ස්ථාන දහ හතරකට පමණ වැඩම වීම වෙසක් පොහෝ දිනක සිදුවූ බව පැහැදිලිය.