Photo by cottonbro studio: https://www.pexels.com/photo/a-man-and-a-woman-s-face-painted-in-halfportrait-8431783/
Spread the News
චන්ද්‍රසේන පණ්ඩිතගේ 

කළු හා සුදු ප්‍රතිපත්තිධාරි කණ්ඩායම් දෙකක් එකතුව රාජ්‍ය බලය ලබාගැනීමේ පළමු පියවර ජයගෙන ඇත. ඒ අනුව රාජ්‍යයේ එක කණුවක් වන “විධායකය” නම්වූ කුලුන එම කණ්ඩායම ජයගෙන ඇත.ඒ මත නැගී ඒ කණ්ඩායම තමන්ට රාජ්‍ය බලය ලබුනායයි යන සිතුවිල්ල මත එල්බ ගෙන උද්දාමයට පත්ව, කටයුතු සිදුකරගෙන යන ආකාරය අපි දකිමින් එහි පල අත්විදිමින් සිටින්නෙමු.

කළු, කළු ගේ මතවාදයන්ද, සුදු සුදුගේ මතවාදයන්ද බලගැන්වීම අරඹා තිබුණද, දැන් ඔවුන් සතුව ඇත්තේ විධායකය පමණක් බැවින්, ඊළඟ කුළුණ වූ ව්‍යාවස්ථාදායකය ජය ගැනීමේ තරඟයට අවතීර්ණව ඒ මාර්ගය විවර කරගෙන ඇත.

මහා මැතිවරණය නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිතය. රාජ්‍ය බංකොලොත්යයි ප්‍රකාශිතය.
දේශපාලකයෝ කුමක් සිදුකලද, මහජනතාව දේශපාලන කොලොප්පන් නොකර මේ විධායකය ප්‍රමුඛ කණ්ඩායමට ව්‍යාවස්ථාදායකයද පවරාදී රට පාලනය කරගෙන යාමේ වරම්දී, ඔවුන් ජනතාවට ලබාදෙනවායයි දුන් පොරොන්දු ඉටුකිරීමට අවස්තාව ලබාදිය යුතුය.

නමුත්, ඉතිහාසය පාඩම් කන්දරාවක් උගන්වා ඇති පසුබිමක, ඔවුන් පොරොන්දුවූ ආකාරයට ජනතා හිතවාදී පාලනයක් මේ භුමිය තුල ස්ථාපිත කිරීමට ඔවුන්ටද වරම් උරුම වන්නේ නැත. ඒ ඔවුන් තුලද කළු විසින් සිය ආධිපත්‍ය බලවත්ව පිහිටුවා ගෙන ඇති බැවිණි.කළු මේ විධායකය තුල බලවත් වුවද, කළුගේ බලය ජාත්‍යන්තරව අර්බුද ගණනාවකට මැදිව පිරිහී ඇත.අද  පීඩනයකට පාත්‍රව සිටියද, ඔවුන් වසර 76ක් පුරා මේ රටට සිදුකල විනාශය ඒ ආකාරයටම සිදුකිරීමට හැකිද, නොහැකිද යන්න තීරණය වන්නේ මෙරට ජනතාවගේ බුද්ධි මට්ටමට අනුවය. ජනතාව බුද්ධිමත් නොවුනහොත්, අගමැති ඩී.එස්. අගමැති, බණ්ඩාරනායක හා ජනාධිපති ප්‍රේමදාසට උරුම කල ඉරණම කළු ජාත්‍යන්තරය විසින් වත්මන් ජනාධිපතිවරයාටද උරුම කරනු ඇත. එසේ නැත්නම්, ඔවුන් විසින්, 1953දී, ඩඩ්ලි සේනානායකට, 1962,, 1964, 1971 හා 1977 පසුව සිරිමා බණ්ඩාරනායකට, සිදුකල කාර්ය හා ගෝඨාභයට 2022දී සිදුකල කාර්ය මේ ජනාධිපතිවරයාටද සිදුකරනු ඇත.ඒ කළු ගේ ස්වභාවයයි..

මේ තත්වයන් තේරුම් නොගෙන යන ගමනේ අවදානම ඉතිහාසය සනිටුහන් කර ඇති පසුබිමක අපි මේ විධායකයෙන් අපේක්ෂා කරන්නේ, ඔවුන් දුන් පොරොන්දු ඉටුකිරීමක් නම් නොවේ. පළමුව කළු ගෙන් මිදී සුදුව රාජ්‍ය බලය ලබාගන්නා ලෙසය. එසේ නොකොළහොත්, මේ විධායකයද මෙහි සනිටුහන් කර ඇති පෙර පාලකයින් සේම අළු වී යනු ඇත.