Spread the News

 

ආගමික ආක්‍රමණය හා
කාදිනල්තුමාගේ ප්‍රකාශය

source:

ලොව විශාලතම කතෝලික රාජ්‍යය වන්නේ බ්‍රසීලයයි. 1970 දී එරට ජනගහනයෙන් 90% ක්‌ම ප්‍රකාශ කළේ තමන් කතෝලික ආගමිකයින් බවයි. එහෙත් 2000 දී එරට කතෝලිකයන්ගේ ප්‍රමාණය. 73 9% දක්‌වා අඩුවූ අතර 2009 දී එම ප්‍රමාණය 68.4 දක්‌වා තවත් පහළ බැස ඇත. 16 වැනි බෙනඩික්‌ පාප් වහන්සේ 2013 දී ලෝක කතෝලික තරුණ සැමරුම සඳහා බ්‍රසීලය අගනුවර එනම් රියෝද ජැනොයිරෝ නුවරට පැමිණීමට නියමිත අතර එම වසර වන විට කොපමණ ප්‍රමාණයකින් කතෝලික ජනගහනය අඩුවේදැයි අපට කිව නොහැකිය. එහෙත් ලොව විශාලතම කතෝලික රාජ්‍යය මූලධර්මවාදී ඉවැන්ජලිකල් ආගම් නිසා බරපතළ අර්බුදයකට පැමිණ ඇති බව නම් පැහැදිලිය. බ්‍රසීලයේ අගරදගුරු කාදිනල් පෙඩ්රෝ ෂෙරර් නම් හතු පිපෙන්නාසේ ඉවැන්ජලිකල් පල්ලි පෙන්තකොස්‌ත පල්ලි රට පුරා ඉදිවනු දැකීම ගැන කනස්‌සල්ල පළ කරයි. 62 හැවිරිදි කාදිනල්වරයා පවසන්නේ මේ ඉවැන්ජලිකල් පල්ලි නිසා බ්‍රසිලයේ ග්‍රාමීය කතෝලිකයින්ට බරපතළ තර්ජනයකට මුහුණ දීමට සිදුව ඇති බවයි. බ්‍රසීලය ලොව ප්‍රධානතම කතෝලික රාජ්‍යය ලෙස ඉදිරියටත් පැවැතිය යුතු බව බ්‍රසීලයේ ඉයුනොපොලිස්‌හී එඩ්සන් බිෂොප්වරයා මාධ්‍යයට පවසා තිබිණි. කෙසේ නමුත් බ්‍රසීලයේ කතෝලික ආගම අර්බුදයකට ලක්‌වී ඇති බව නම් පැහැදිලිය.

බ්‍රසීලයේ කාදිනල්වරයා සේම මෙරට කාදිනල් මැල්කම් රංජිත් බිෂොප්වරයා ඉකුත් ඉරිදා දිවයින පුවත්පතට කළ ප්‍රකාශයක්‌ පිළිබඳව අපේ දැඩි අවධානය යොමු විය. එතුමා ප්‍රකාශ කර තිබුණේ ඇමරිකානු ක්‍රිස්‌තියානි සංවිධාන මෙරට ලියාපදිංචිය වහා තහනම් කරන ලෙසය. මේ ඇමරිකානු කණ්‌ඩායම් වන්නේ අන් කිසිවක්‌ නොව බ්‍රසීලයේ කතෝලිකයන්ද බිලිගන්නා ඊනියා ඉවැන්ජලිකල් කල්ලිමය. කලක්‌ ගත වී හෝ කාදිනල් තුමාටත් මේ ආගමික ආක්‍රමණය ගැන අවබෝධ වීම ගැන අපි සතුටු වෙමු. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මේ මූලධර්මවාදී කල්ලි බෞද්ධයන්ටත් වඩා කතෝලිකයින් තමන් වෙත නම්මවාගෙන ඇති බව රහසක්‌ නොවේ. මෙය ඉදිරියටත් පැවතුනහොත් බ්‍රසීලයේ මෙන් කතෝලික පල්ලියටත් ප්‍රොතෙස්‌තන්ත්‍ර පල්ලියටත් සිය අනුගාමිකයින් බෙදාගැනීම සඳහා ආරවුල් ඇති කරගැනීමට සිදුවනු ඇත.

ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන අපවත් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ගමින් ගමට ගොස්‌ මහජනයා දැනුවත් කරද්දී කතෝලික පල්ලිය ඒ දෙස බැලුවේ වපරැසිනි. එදා සෝම හිමියන් මේ ආගමික ආක්‍රමණ ගැන කියූ දේ අද නම් කතෝලික සභාවට ඇත්තවී තිබෙන බව කාදිනල්තුමාගේ ප්‍රකාශය අනුව පැහැදිලි වේ. මෙම එවැන්ජලිකල් කණ්‌ඩායම් රට පුරා ඉදිකිරීමට යන දේවස්‌ථාන ලැයිස්‌තුවද අවලංගු කරන ලෙස කාදිනල්තුමා රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රකාශය නිකුත් කර දින කිහිපයක්‌ ගතවෙද්දීම මේ ප්‍රකාශයට විරෝධය දක්‌වමින් ජාතික ක්‍රිස්‌තියානි සහෝදරත්වය නම් සංවිධානයේ දේවගැති ආචාර්ය ජෙබහිරන්නම් විසින් දිවයින පුවත්පතට ලිපියක්‌ එවා තිබිණි. එම දේවගැතිවරයා පවසන්නේ යේසුස්‌ වහන්සේගේ ධර්මය සහ එය අනුගමනය කිරීමට තහංචි පැනවීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. එමෙන්ම කාදිනල්තුමා සිදුකළ ප්‍රකාශය පිළිබඳව නැවත සිතා බලා නිවැරදි දේ ඉටුකරන ලෙසත් තමා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව දේවගැති ජෙබහිරන්නම් සඳහන් කර තිබිණි. ජෙබහිරන්නම් නියෝජනය කරන්නේ ඉවැන්ජලිකල් කල්ලි කණ්‌ඩායම්වල මතය බව පැහැදිලිය.

කතෝලික පල්ලිය 2004 මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක්‌ ලෙස ඉදිරිපත්වූ බලහත්කාරයෙන් හෝ පෙළඹවීමෙන් හෝ වංචනික ලෙස යම් කෙනකු තවත් ආගමකින් තවත් ආගමකට හැරවීම තහනම් කිරීම හා ඊට අනුශාංගිකවූ පනතට එරෙහි විය. එයට එරෙහිව කතෝලික පියවරුන් රැසක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ බව අපට අමතක නැත. අභාවප්‍රාප්ත හිටපු හින්දු කටයුතු ඇමැති ත්‍යාගරාජා මහේෂ්වරන්ද හින්දුන් ඉවැන්ජලිකල් ආක්‍රමණයෙන් බේරා ගැනීම සඳහා පනතක්‌ සම්මත කළ යුතු බව දැඩිව ප්‍රකාශ කළ අයෙකි. 2004 දී මෙම පනත ඉදිරිපත්වුවද විවිධ කුමන්ත්‍රණ හා බලපෑම් නිසා මේ පනත ගර්භිත විය. එදා සෝම හිමියන්ගේ අපවත්වීම හරහා ඇතිවූ බෞද්ධ නැඟිටීම හරහා මන්ත්‍රී ආසන නමයක්‌ ලබාගත් හෙළ උරුමයද දැන් මේ පනත සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇත. දැන් ඔවුන් මැර දේශපාලනයට එරෙහිව දේශපාලන ව්‍යාපෘති ගැන කථා කරති. බෞද්ධයින් වංචාවකට ලක්‌ළේ කවුරුන්දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.

පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආගම් පනතට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව බලවත් සේ උරණ විය. දැන් කාදිනල්තුමාගේ ප්‍රකාශය පිළිබදව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය කවර මතයක්‌ දරන්නේ දැයි අප දන්නේ නැත.

බෞද්ධයින් හා කතෝලිකයින් මුදල් ලබාදී වංචා සහගත ලෙස ආගමකින් තවත් ආගමකට මාරු කිරීමේ දුෂ්ට වැඩ පිළිවෙළක්‌ ඇති බව කල්ගත වී හෝ කතෝලික සභාවට අවබෝධ වීම යහපත්ය. නැත්නම් කතෝලික ජනගහනය අඩුවෙද්දී බ්‍රසිලයේ කාදිනල්වරයා මෙන් කනස්‌සල්ලට පත්වීමට සිදුවනු ඇත.

රුසියාව කිසිම විටක මේ ඊනියා ඉවැන්ජලිකල් කල්ලිවලට ඉඩදෙන්නේ නැත. රුසියානුවන්ගෙන් 80% ක්‌ම ඩර්තඩොක්‌ස්‌ ක්‍රිස්‌තියානිහු වෙති. 2004 දීම යොහොව( ක්‍රිස්‌තියානි කන්ඩායම් මොස්‌කව් නුවරින් එළවා දැමු අතර 2001 වසරේදී ගැලවීමේ හමුදාව නැමැති ආගමික කණ්‌ඩායමේ ක්‍රියාකාරිත්වය නතර කරනු ලැබුවේ මොවුන් රුසියානු රාජ්‍යය විනාශ කිරීමට පැමිණි පිරිසක්‌ ලෙස හඳුන්වාදෙමිනි. ඇත්තෙන්ම මෙරට පැමිණ ඇති ඉවැන්ජලිකල් කල්ලි කණ්‌ඩායම්ද මෙරට සංස්‌කෘතියත්, රාජ්‍යයත් විනාශ කිරීමට පැමිණි පිරිසක්‌ බව අප පැවසුවේ මීට බොහෝ කලකට පෙරය. 2005 වසරේ අප්‍රේල් 17 වැනිදා “දිවයින” පුවත්පතට “ආගම් පනත කුමක්‌ සඳහාද?” මැයෙන් ලිපියක්‌ ලියමින් මේ ආගමික ආක්‍රමණය ගැන සටහන් කළෙමු. අද ඒ ගැන යළි සිහිපත් කරන්නේ මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රකාශය නිසාය.

චතුර පමුණුව