Spread the News

ආණ්‌ඩුවට පසුව එකතු වූ අය බෙදුම්වාදය ඉස්‌මතු කරනවා
– ඇල්ලේ ගුණවංශ හිමි
source link:
අකිත පෙරේරා

වත්මන් ආණ්‌ඩුව බිහිකිරීමට මුල් වූ දේශප්‍රේමීන්ගේ මතවාදය යටපත් කොට බෙදුම්වාදී මතවාදය ඉස්‌මතු කරවීමට ආණ්‌ඩුවට පසුව එකතු වූ පිරිස්‌ කටයුතු කරන බව දේශාභිමානී ව්‍යාපාරයේ කැඳවුම්කරු ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ජාතික සංවිධාන එකමුතුව විසින් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව ඊයේ (12 දා) සව්සිරිපායේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එ.ජ.නි.ස. ආණ්‌ඩුවට පසුව එකතු වී ඇමැති ධුර ලබාගත් පිරිසක්‌ අතීතයේදී නෝර්වේ ඇතුළු බටහිර රටවල්වලින් ගත් මුදල් හේතුවෙන් බෙදුම්වාදී මතවාදය පැතිරවීමට කටයුතු කරන බව උන්වහන්සේ සඳහන් කළහ.

වත්මන් ආණ්‌ඩුව පිහිටුවීමට ක්‍රියා කළේ දේශප්‍රේමීන් වන තමන් වහන්සේලා ඇතුළු පිරිසක්‌ බව එම ඇමැතිවරුන්ට අද අමතක වී ඇති බව ද කී ගුණවංශ හිමියෝ ඔවුන් අද 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහායින් සිය බලය බෙදාහැරීමක්‌ සිදුකළ යුතු බවට සිදුකරන ප්‍රකාශ පිළිකුලෙන් යුතුව බැහැර කරන බව ද කීහ.

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පරාජය කිරීමට දේශමාමක බලවේග නොනවත්වා පෙරට පැමිණිය යුතු බවත් 13 හරහා පළාත් සභාවලට බලය බෙදීම කිසිවිටෙකත් සිදු නොකළ යුතු බවත් උන්වහන්සේ පැවැසූහ.

පළාත් සභා ක්‍රමය හේතුවෙන් සිදුවූයේ ගමේ සිටි රස්‌තියාදු පිරිස්‌වලට ප්‍රාඩෝ හිමිවීම පමණක්‌ බවත් එම ක්‍රමයෙන් රටට වූ වෙනයම් සෙතක්‌ සිදු නොවූ බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර, ඕමාරේ කස්‌සප හිමි, වෛද්‍ය වසන්ත බණ්‌ඩාර, නීතිඥ චූලා බෝවත්තේ යන අය ද අදහස්‌ දැක්‌වූහ.