ඇඟ කැසීම, ක්‌ලාන්තවීම සහ හුස්‌ම ගැනීමේ අපහසුතාවෙන් ගම්පොල ජිනරාජ බාලිකාවෝ දහසක්‌ ලෙඩ වී රෝහලේ

Spread the News

ඇඟ කැසීම, ක්‌ලාන්තවීම සහ හුස්‌ම ගැනීමේ අපහසුතාවෙන්
ගම්පොල ජිනරාජ බාලිකාවෝ දහසක්‌ ලෙඩ වී රෝහලේ

source:
සුරංග දිල්හාන් – ගම්පොල

ගම්පොල ජිනරාජ බාලිකා මහ විද්‍යාලයේ ශිෂ්‍යාවන් දහසකට අධික පිරිසක්‌ ඊයේ (14 වැනිදා) උදැසන පාසල ආරම්භවීමත් සමඟ රෝගී වීම නිසා ප්‍රතිකාර කිරීම සඳහා ගම්පොල ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්‌ඩාර මහතා පැවැසීය.

මෙම පාසලේ ශිෂ්‍යාවන් 2,425 ක්‌ අධ්‍යාපනය ලබන අතර ඔවුන් උදැසන පාසල ආරම්භ වී පන්තිවලට යමින් සිටියදී මෙසේ රෝගී වීමට පටන්ගෙන ඇත.

පාසල් ශිෂ්‍යාවන්ගේ ඇඟ කැසීම, පලු දැමීම හා ක්‌ලාන්තවීම රෝගී ලක්‍ෂණ වූ අතර ඇතැම් දැරියන්ට හුස්‌ම ගැනීමේ අපහසුතාද ඇතිවී තිබේ.

රෝගී තත්ත්වයන් වැඩිවීමත් සමඟ සියලුම දැරියන් පාසලෙන් බැහැරට රැගෙන ගොස්‌ වීගුලවත්ත ක්‍රීඩාංගනයේ රඳවා ඉන් රෝගී වන ළමුන් රෝහල්ගත කිරීමට කටයුතු යොදා තිබිණි.

සිසුවියන් රෝගී වූ ආරංචිය දැනගත් දෙමාපියන් හා ඥතීන් විශාල පිරිසක්‌ රෝහලට හා පාසලට පැමිණීම නිසා විශාල තදබදයක්‌ද ඇතිවිය. ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චූලනී වීරරත්න, ස.පො.ආ. නිමල් ධර්මප්‍රිය හා පොලිස්‌ ස්‌ථානාධිපති චන්ද්‍ර ජයවීර යන මහත්වරු මැදිහත්වී පොලිස්‌ නිලධාරීන් යොදවා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළහ.

ඊයේ දහවල් වන තුරුත් රෝගී වන සිසුවියන් රෝහල වෙත ඇතුළත් කළ අතර නේවාසිකව ශිෂ්‍යාවන් 200 කට පමණද බාහිර අංශයෙන් ශිෂ්‍යාවන් 900 කට පමණද ප්‍රතිකාර ලබාදීමට රෝහල් අධ්‍යක්‍ෂවරයා ඇතුළු වෛද්‍ය මණ්‌ඩලය හා කාර්ය මණ්‌ඩලය විසින් කටයුතු යොදා තිබිණි.

හදිසි ප්‍රතිකාර සඳහා පේරාදෙණිය වෛද්‍ය පීඨ සිසුන්ද යොදාගත් අතර ඖෂධ ලබාදීමට රෝහල් අධ්‍යක්‍ෂවරයා පියවර ගෙන තිබිණි.

මෙම දැරියන් රෝගීවීම පසුගිය සිකුරාදා (9දා) සිට ආරම්භ වී ඇති බවත් එහිදී සිසුවියන් දෙනකු රෝගී වී ගම්පොල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බවත් දෙමාපියන් කියයි.

මෙම ශිෂ්‍යාවන් රෝගී වීමට හේතුව පරිසරයේ ඇති රසායන ද්‍රව්‍යයන් විෂවීම හෝ මැක්‌කන් වැනි සත්ව ආසාදනයක්‌ විය හැකි බව සෞඛ්‍ය අංශ හා වෛද්‍ය නිලධාරීහු සැක කරති.

පාසල ඊයේ (14දා) සිට දින 3 ක්‌ වසා දමා නැවත සඳුදා දින (19 දා) විවෘත කිරීමට තීරණය කර ඇත.