Spread the News

ඇමැති මහින්ද සමරසිංහ
අද ජිනීවා සමුළුව අමතයි

කීර්ති වර්ණකුලසූරිය source:

ජිනීවා මානව හිමිකම් සමුළුවේ 22 වැනි සැසිවාරයට සහභාගි වන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (27 දා) ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් එම සමුළුව අමතනු ඇත.

සමරසිංහ මහතාගේ දේශනය යෙදී ඇත්තේ සවස 4.30 ටය. මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එල්ල කර ඇති චෝදනාව වූ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැන ඒ මහතා එහිදී සිය ප්‍රතිචාරය දක්‌වනු ඇත.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජය රුපියල් මිලියන 1200 ක්‌ වෙන් කිරීමත් අතුරුදන් වූවන් සම්බන්ධව රජය ගෙන ඇති ක්‍රියා මාර්ග ගැනත් හෙතෙම තවදුරටත් කරුණු පැහැදිලි කරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජිනීවාහි නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මනිෂා ගුණසේකර මහත්මිය ඊයේ මානව හිමිකම් කවුන්සිලය වෙත සංදේශයක්‌ යොමුකරමින් එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මත මානව හිමිකම් ආරක්‍ෂා විය යුතු යෑයි කියා සිටියාය.

මෙම සමුළුව සඳහා බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය කැනඩා ද්‍රවිඩ කොංග්‍රසය හා ඇමරිකාවේ ටැමිල් ඇක්‌ෂන් කවුන්සිල් නමැති කොටි හිතවාදී සංවිධානවල ප්‍රධානීන් දස දෙනෙකුද ඊයේ (26 දා) ජිනීවා වෙත පැමිණ තිබේ.

මේ අතර ලන්ඩන් නුවරදී අද පැවැත්වෙන බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ සමුළුවට ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු කණ්‌ඩායමක්‌ සහභාගි වෙති.

මෙම කොටි සමුළුව පැවැත්වෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවේදීය.

එකී සමුළුවෙන් පසු සම්බන්ධන් ඇතුළු පිරිස ජිනීවා වෙත පැමිණ විදේශ රටවල තානාපතිවරු හමුවීමට සැලසුම් කර ඇති බව ආරංචි මාර්ග දන්වයි.