ඇමැති රාජිතට එරෙහිව ජානිපෙන් පැමිණිල්ලක්

Spread the News
විජයානි එදිරිසිංහ

සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා ධීවර ඇමැති ධුරය දරන කාලයේදී Blue Ocean Fishery Private Limited නමින් සමාගමක් පිහිටුවා අල්ලස් හෝ දුෂණ විමර්ශන පනත යටතේ වරදක් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අල්ලස් හෝ  දූෂණ විමර්ශන කොමිසමට ඊයේ (03) පැමිණිල්ලක් කෙළේය.

ඇමැතිවරයා ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය උපයෝගීකර ගනිමින් දොස්තර රාජිත සේනාරත්න යන අයට නීත්‍යානුකූලව යෙදීමට අවසර නැති ව්‍යාපාර කටයුතුවල යෙදී ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

තවද ඇමැතිවරයා මීට පෙරද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එහි බලතල යොදා ගනිමින් නීති විරෝධී ආකාරයට ඖෂධ ගෙන්වීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවත් පාර්ලිමේන්තුව හමුවේ ඊට වැරදිකරුවකු බවට තීරණ කොට ඒ නිසාම මන්ත්‍රී ධුරයද අහිමි වූ බව එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

තවද Blue Ocean Fishery Private limited හරහා ලංකා රජයේ දේපළක් වන ගැඹුරු මුහුදේ මත්ස්‍ය සම්පත ලක්ෂ ගණනක් වූ ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව විසින් කාලයක් මුළුල්ලේ නෙළාගැනීම වළකාලමින් අති නවීන යාත්‍රා සහ උපාංග උපයෝගී කර ගනිමින් කෙටි කාලයකින් තම ව්‍යාපාරයට අත්පත් කර ගැනීම සහ ඒ අනුව එම දොස්තර රාජිත සේනාරත්න විසින් සොයා බලා ඉටුකළ යුතු ධීවර සුබසාධනය ඉටු කිරීම වෙනුවට ධීවර අසහනය ඇති කිරීම සහ ධීවර ජනතාවගේ ගැටලු විසඳා ධීවර කර්මාන්තය නගාසිටුවීම වෙනුවට මත්ස්‍ය සම්පත නෙළා ‍ගෙන ධීවර ප්‍රජාවට හානිකළ බවද එහි සඳහන් වෙයි.

තවද එම සමාගම විසින් ධීවර කටයුතු සඳහා විදේශයෙන් රුපියල් මිලියන 400 වටිනා යාත්‍රා 8ක් මෙරටට ගෙන්වා ඇතත් ඒ සඳහා රේගුවට මුදල් ගෙවූ බවට සාධක නැති බවද සඳහන් වෙයි.

එම මුදල් Blue Ocean සමාගමට ලැබුණේ කෙසේද, එම සමාගමට වසර 9ක කාලයක් ආයෝජන මණ්ඩලය වෙතින් බදු සහන ලබාගත්තේ කෙසේ ද? යන්න ආදී වශයන් කරුණු ගණනාවක් යටතේ එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.