Spread the News

ඇමැති හැරිසන්ට එරෙහිව ජවිපෙ FCID යයි
රජයට රු. කෝටි 400 ක්‌ පාඩු කරලා

අජිත් අලහකෝන්

ගොවීන්ගෙන් පසුගිය කන්නයේදී මිල දී ගත් වී මෙටි්‍රක්‌ ටොන් 234800 ක්‌ සහල් කිරීම සඳහා අඩු මිලකට හිතවත් මෝල් හිමියන් දෙදෙනකුට ලබා දීමෙන් රජයට රුපියල් කෝටි 400 ක පාඩුවක්‌ කර ඇතැයි චෝදනා කරමින් ජනතා විමුක්‌ති පෙරමුණ විසින් විෂයභාර ඇමැති පී. හැරිසන් මහතාට සහ වී අලෙවි මණ්‌ඩලයට එරෙහිව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.

ජනතා විමුක්‌ති පෙරමුණ යටතේ ඇති සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනය විසින් මෙම පැමිණිල්ල මෙම 09 වැනිදා (අඟහරුවාදා) මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට ඉදිරිපත් කරන අතර ඒ සඳහා එක්‌සත් සහල් නිපදවන්නන්ගේ සංගමයද එක්‌වේ.

ආණ්‌ඩුව පසුගිය කන්නයේදී වී මෙටි්‍රක්‌ ටොන් 234800 ක්‌ ගොවීන්ගෙන් මිලට ගෙන ඇති අතර, ඒ වී කිලෝවක්‌ රුපියල් 45 ක මිලකට බව සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ කීවේය. ඊට අමතරව ඒ සඳහා මෙහෙයුම් ගාස්‌තු ලෙස ආණ්‌ඩුව වී කිලෝවකට රුපියල් 3 ක අමතර මුදලක්‌ ද වැය කර තිබේ. ඒ අනුව ආණ්‌ඩුව ඉහත වී තොගය සඳහා කිලෝවකට රුපියල් 48 ක්‌ වැය කර ඇතැයි කරුණාරත්න මහතා කීවේය.

මෙම වී සහල් කිරීම සඳහා සාධාරණ මිලක්‌ යටතේ තමන්ට ලබා දෙන ලෙස කුඩා මෝල් හිමියන් ආණ්‌ඩුවෙන් ඉල්ලා ඇතත් ඊට එකඟ නොවූ ආණ්‌ඩුව පසුව කිලෝවක්‌ රුපියල් 35 ක මිලකට තම හිතවත් මෝල් හිමියන් දෙදෙනකුට ලබා දී ඇතැයි ද කරුණාරත්න මහතා කීවේය.

මේ නිසා ආණ්‌ඩුවට රුපියල් මිලියන 4000 කට (කෝටි හාරසියයකට) අධික මුදලක්‌ අඩු වී ඇතැයි පවසන නාමල් කරුණාරත්න මහතා ඒ සම්බන්ධව මෙම 09 වැනිදා පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පැමිණිලි කරන බව කීය.