
ශ්‍රී ලංකාවේ සිටි රුසියානු සංචාරකයෝ යළි එරටට ගෙන්වා ගනිති

“අපි ශ්‍රී ලංකාවට ආවෙ දින 14 ක සංචාරයක් සඳහා. අපි මේ වෙනකොට හිටියේ හික්කඩුවේ. හදිසියේම ඇති වූ මේ තත්ත්වය නිසා අපට රුසියානු රජය දැනුම් දුන්නා සංචාරය අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස. ඒ අනුව දින 14ක සංචාරය දින 07 කින් නිමා කරල ආපසු රුසියාව බලා යෑමට අපට සිදුවුණා. රුසියානු කතක් දිවයිනට කීවාය.

මෙම රුසියානු එරොෆ්ලොට් අවසාන ගුවන් යානය සඳහා අපි කටුනායක ගුවන් තොටුපළට ආවා” යැයි රුසියානු ජාතික එලේනා මෙසෙන්කෝවා මහත්මිය කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේදී ඊයේ (05දා) උදෑසන පැවසුවාය.
“අපිට රුසියානු රජය මීට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය සුදුසු බව ප්‍රකාශ කරමින් ඒ සඳහා යොමු කිරීම් සිදු කළා. එහෙත් හදිසියේම ඇති වූ මේ තත්ත්වය පිළිබඳව අපි කම්පනයට පත් වුණා.
මේ රටේ සංචාරය කරන්න අපිට ඩීසල් තිබුණෙ නැහැ. ඒ මදිවට විදුලි කප්පාදුව. මේ සියලු ගැටලු මැද වුවත් අපි බොහොම කැමැත්තෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. අපේ රුසියානු සංචාරකයන් නිසා ශ්‍රී ලංකාවට ඩොලර් ලැබෙනවා. ඒත් මේ තීන්දුව නිසා ඒ තත්ත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙලා යයි.
රුසියානු ජනාධිපතිවරයා මෙම සිදුවීම පිළිබඳව දැඩි තීරණයක් ගනීවි. ඒ අනුව අපට දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරයන් වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියානු රජය දැනුම් තිබෙනවා” යැයි ද එලේනා මෙසෙන්කෝවා මහත්මිය සිය රුසියානු බසින් පැවසුවාය.
ඇයගේ මෙම අදහස් සිංහල භාෂාවට පරිවර්තනය කර දුන්නේ ඇය ඇතුළු කණ්ඩායමේ සංචාරක මග පෙන්වන්නා වන මුදිත මෙවන් කුමාර මහතා විසිනි.
ශ්‍රී ලංකාව තුළ සිටින සියලුම රුසියානු සංචාරකයන්ට සිය සංචාර අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියානු රජය විසින් දැනුම් දීමත් සමගම එම සංචාරකයන් කඳුළු සලමින් අවසන් රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත ඊයේ උදෑසන 10.00 ට පමණ පැමිණ සිටියහ.
ඔවුන් සමග පැමිණි සංචාරක මග පෙන්වන්නන්, බස් රථ රියැදුරන්, බස් රථ සහායකයන් ඇතුළු පිරිස ඉතා දුක්මුසු ආකාරයෙන් මෙම රුසියානු ගුවන් මගීන්ට සමුදෙන ආකාරය අපට ගුවන්තොටුපළේදී දක්නට ලැබුණි.
කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බොහෝ රුසියානු සංචාරකයන් ද ඉතා ශෝකාකූල මුහුණින් යුතුව සිය අවසන් ගුවන් යානය සඳහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත ඇතුළු වන ආකාරය දැක ගැනීමට තිබුණි.
මේ අතර සංචාරක නියෝජිතයෝ අදහස් පළ කරමින් මෙවැනි තීරණයකට එළැඹීමට පෙර ශ්‍රී ලංකාව අත්සන් කර ඇති විවිධ ගිවිසුම් සහ එකඟතාවන් පිළිබඳවද අවධානය යොමු කිරීමට අවස්ථාවක් තිබූ බව සඳහන් කළහ.
ඉකුත් 02දා දහවල් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යෑමට තිබූ එස්. යූ. – 288 ගුවන් යානයේ මගීන් සහ මේ වනවිට ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් සිටි රුසියානු ජාතික ගුවන් මගීහු පෙරේදා (04දා) සහ ඊයේ (05දා) රුසියාවෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබූ විශේෂ එරොෆ්ලොට් ගුවන් යානා මගින් පිටත්ව ගියහ.
ඒ අනුව පෙරේදා දහවල් 12.50 ට රුසියානු ගුවන් සේවයේ එස්. යූ. – 289 දරන විශේෂ ගුවන් යානයෙන් රුසියානු ගුවන් මගීන් 289 දෙනකු මොස්කව් නුවර බලා පිටත්ව ගොස් තිබූ අතර, ඊයේ දහවල් 12.50 ට රුසියාවේ මොස්කව් නුවර වෙත පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ රුසියානු ගුවන් සේවයේ අවසාන ගුවන් යානය වන එස්. යූ. 289 දරන ගුවන් යානයෙන් පිටත්වීම සඳහා රුසියානු ගුවන් මගීහු 300ක පමණ පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. මෙම ගුවන් මගීන් පිරිස රැගෙන යෑම සඳහා රුසියාවේ එරොෆ්ලොට් අවසාන ගුවන් යානය ඊයේ උදෑසන 10.09 වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල- Divaina