Spread the News

‘ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටයට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාවට නංවනවා

source:

රජය හා හමුදාව අපකීර්තියට පත්වන අයුරින් නිපදවා ඇති ‘ෆ්ලයින් ෆිෂ්’ (ඉගිලෙන මාළුවෝ) චිත්‍රපටයට විරුද්ධව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා පවසයි.

මේ චිත්‍රපටය නිපදවීමට හෝ ප්‍රදර්ශනය කිරීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ලබාගෙන නැති බවට අනාවරණය වී තිබේ. එහි ජවනිකා සඳහා යොදාගෙන ඇති හමුදා නිල ඇඳුම් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයකින් තොරව යොදාගෙන තිබීම ද දඬුවම් ලැබිය හැකි වරදකි.

මේ තත්ත්වයන් පිළිබඳ සොයා බලා නිෂ්පාදක ඇතුළු චිත්‍රපටය පිළිබඳ වගකිවයුත්තන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට පියවර ගනිමින් තිබේ.

‘ෆ්ලයින් ෆිෂ්’ චිත්‍රපටය ප්‍රංශ තානාපති කාර්යාලය සම්බන්ධ කර ගනිමින් නිපදවා ඇති අතර එසේ නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබුණද මෙරටදී එය ප්‍රදර්ශනය කිරීමට අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අවසර ලබාගත යුතු බව හුළුගල්ලේ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලාංකිකයෙකු වන සංජීව පුෂ්පකුමාර නැමැත්තෙකු විසින් චිත්‍රපටය නිපදවා තිබෙන අතර ජාත්‍යන්තරව එවැන්නක් නිපදවීමේ හා ප්‍රදර්ශනයේ හැකියාවක් තිබුණද මෙරටදී ඊට අවසරය ලබාගැනීම අනිවාර්යය වේ.

රටේ යහපැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පරදුවට තබා සටන්වැදි රණවිරුවන්ට අපහාස වන ලෙස නිපදවා ඇති ‘ෆ්ලයින් ෆිෂ්’ ඉකුත් සතියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එක්වරක් ප්‍රදර්ශනය කර ඇත. එය ප්‍රංශ චිත්‍රපට උළෙලකට ඉදිරිපත් කර මෙසේ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇති අතර මෙරටදී එය ප්‍රදර්ශනය කිරීම මේ වන විට තහනම් කර ඇති බව හෙතෙම ප්‍රකාශ කෙළේය.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ දී ඊයේ (15) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී හුළුගල්ලේ මහතා එම කරුණු අනාවරණය‍ කෙළේය.

අනුග්‍රහය : දිනමිණ