Spread the News
Image

මේක පිස්සන්ගේ අරගලයක් කියලා මා විසින් සඳහන් කරනු ලැබුවේ අරගලය ඇරඹුණු අප්‍රේල් මාසයේ පළමුවෙනි සතියේදීමයි.

මාගේ ඥාතීන් මිත්‍රයින් ඇතුළු මා දන්නා හඳුනන සියලු අයටම මා අප්‍රේල් මස පළවෙනි සතියේදීම පැවසූයේ මේක කුමන්ත්‍රණකාරී බෞද්ධ විරෝධී ආගමික සංවිධානයක් විසින් දේශපාලන බලය අල්ලා ගැනීම සඳහා දියත් කර ඇති ඊනියා අරගලයක් නිසා ගාලුමුවදොර පැත්ත පළාතෙවත් නොයන ලෙසයි.

මුළු මහත් ශ්‍රී ලංකාවාසීන් විසින් ඉමහත් ගෞරවයෙන් සළකන ශ්‍රේෂ්ඨ කලාකරුවකු එහි යෑම සුදුසුද නැද්ද කියා මාගෙන් විමසූ විට මා එතුමාට දැන් වූයේ මෙම අරගලය මහා විනාශයකින් කෙළවර වන නිසාත්, අවසානයේදී ජනතාවට පරාජය හිමිවන නිසාත් මේ ක්‍රියාදාමයට මොනම සහයෝගයක්වත් නොදෙන ලෙසයි.

මැයි මාසයේ 09 වැනිදා මේ නාඩගම අවසන් වූ පසු දුරකථනය ඔස්සේ මා ඇමතූ ඒ මහතා මාගෙන් විමසා සිටියේ ඒ තත්ත්වය ඇතිවන බව මා කලින් දැනගත්තේ කෙසේද කියායි.

සම්මා සති යෙන් බිඳක් ඒ සඳහා වැය කළ බව මම එතුමාට පැවසුවෙමි.

එතුමා එහි යාම වැළැක්වීම පිළිබඳව මා හට ස්තුතිය පුද කරනු ලැබුවා.

මේ අරගලය දියත් කළේ ගෝඨාභයව බලෙන් පහකර ලීම සඳහා පමණක් නොවෙයි.
2006 දෙසැම්බර් මස පළමුවැනිදා කොළඹ 7 පිත්තල හන්දියේදී එවකට ආරක්ෂක ලේකම්වරයා වී සිටි ගෝඨාභය රාජපක්ෂව මරා දැමීමට කොටි ත්‍රස්තවාදීන් ගත් උත්සාහය අසාර්ථක වීම නිසා ජනාධිපති හැටියට හෝ ඔහුව මරා දැමීමට අන්තවාදී ආගමික කණ්ඩායමකට අවශ්‍යවී තිබුණා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කිරීමේ මුවාවෙන් මෙය වඩාත් දේශපාලන අරගලයකට වඩා නාට්‍යානුස්සාරයෙන් ඉදිරිපත් කළ රංගනයක් වීම නිසා ජනතාව අතට බලය යෑමට තිබුණු සියලුම ඉඩකඩ අහිමි වී ගියා.

දඹුලුත්ගොස් තලගොයිනුත් මරාගෙන එන ආකාරයෙන් එය සිදුවුණා.
බොරදියේ මාළු බාන ආකාරයෙන් එතනට එවුනු ලැබූ ආතක් පාතක් නැති පුද්ගලයින් හා කුඩා කණ්ඩායම් විවිධ මාතෘකාවන් මත පදනම්වූ එකිනෙකට නොගැලපෙන න්‍යාය පත්‍ර දහස් ගණනක් ඔස්සේ අරගලයක මුහුණුවරකින් සංදර්ශන ගණනාවක් පවත්වනු ලැබුවා.

“සභා තුමෝ සතුටින් විසිර ගියාය” කියා ඉතිහාසයට එකතු වීමට තිබුණු පූර්ණිකාවක් ඔලු පළාගෙන ඇට කඩාගෙන ලේ හළාගෙන ඛේදජනක ලෙස අවසන් වුණා.

“වල් ඌරන් කැකුණ තැලුවාහම හබං කුකුළන්ට මඟුල්” කීවා සේ රටේ රාජ්‍ය නායකයා වීමට ජීවිත කාලයක් පෙරුම් පුරමින් සිටි රනිල් වික්‍රමසිංහ මේ අලකලංචිය හරහා සිහිනය සැබෑ කරගත්තා.

සමස්ත ක්‍රියාදාමයම අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ගෙන අධ්‍යායන කර බැලූ විට, ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තවම පසු වන්නේ තිඹිරිගෙයි බව නම් ඉතා හොඳින් පැහැදිළි වුණා.

හරි හැටි ඇවිදින්නට බැරි ළදරුවන්, අතපය අහිමිවුණු ආබාධිතයින් හා නොමේරූ අදහස් ඇති දේශපාලන බිළින්දන් ගාලු මෝදර පිටියේ තැන් තැන්වල කූඩාරම්ගතවී මහ මොළකරුවන්ගෙන් නියෝග ලැබෙන තුරු රස මුසු ආහාර වලින් සන්තර්පනය වෙමින් කර්ණරසායන සංගීතඛණ්ඩ වල රසවිඳිමින් රෑ දවල් පහන් කළ ආකාරය හෙළ ඉතිහාසයට එකතු වන්නේ අනාගත පරපුරටත් ඇති පදම් හිනාවෙන්නට මාතෘකා සැපයූ ශිෂ්ඨ භවේ සළුපිළි උණා දැමූ නැවත වතාවක් ජනතාවට පරාජය උරුම කළ
තවත් එක් ඛේදවාචකයක් ලෙසයි.

-මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා-
(තෙවැනි ඇස)
29.06.2024