Sat. Jan 18th, 2025
Spread the News

නමුත් කථිකයා එක දෙයක් පිළිබඳව සඳහන් කිරීමෙන් වළකින්නේ කුමන කාරණයක් නිසාද යන්න අපැහැදිලියි.

විශාල ජනතා ප්‍රසාදයකින් ජයග්‍රහණය තහවුරු කළ කණ්ඩායමක දේශපාලන ගමනට බාධාවන හෝ අවහිරවන තර්ක විතර්ක අභියෝග ඉදිරියට ගෙන ඒම සදාචාරාත්මකව නොකළ යුතුයයි සිතන නිසා ඒ ගැන දැන්ම ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ.

ජාතික ජන බලවේගය ජයග්‍රහණය වෙනුවෙන් රහසිගතව නොව ප්‍රසිද්ධියේම උදව් කළ ආගමික කණ්ඩායමක් ඔවුන් විසින් දුන් දායකත්වයට යම් සාධාරණත්වයක් අලුත් ආණ්ඩුවෙන් ඉටුවේවි යයි කියා බලාපොරොත්තු වීම ජයග්‍රහණයේ ප්‍රධාන කොටස් කරුවන් වන අවංක ඡන්ද දායකයින්ට කරන අසාධාරණයක් බව කියන්න අප කොයි මොහොතකවත් පැකිලෙන්නේ නැහැ.

මෙම ජනතා ජයග්‍රහණයේ වංචනික කොටස්කරුවන් ලෙස නොදුරු අනාගතයේදීම තමන්ගේ කුට්ටිය බලාපොරොත්තු වෙන පිරිස විෂ දළ සහිතව ඉදිරියට ඒමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා.

ජනතා ආණ්ඩුවකට හැමෝම සනසන්න බැරිවා පමණක් නොව එවැනි තක්කඩි පිරිස් පිනවන්න උත්සාහ කිරීමත් සදාචාර විරෝධීයි, ජනතා විරෝධීයි.

ආණ්ඩුවට ළංවී සිටින ඇතැම් ඊනියා උපදේශකයින්, දේශපාලනයේදී අත්දැකීම් අවශ්‍යම නැහැයි කියා කීමට තරම් බොළඳ වීම හාස්‍යජනකයි.

එවැනි එක් පණ්ඩිතයකුට අනුව, “විවාහ වෙන්න යන කෙනෙක් ඊට කලින් අත්දැකීම් ලබා තිබිය යුතුය “යි කිසිවෙක් බලාපොරොත්තු වන්නේ නැති බවක් සඳහන් කළා.

මොහු අති පාණ්ඩිත්වයෙන් කතා කළත්,සමහර සරළ සමාජවල දෙමව්පියන් තමන්ගේ තරුණ පුතුන්ට ලිංගික ක්‍රියාවලිය පිළිබඳ සතියක ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම සඳහා වැඩිහිටි කාන්තාවක් ළඟට ගෙන ගොස් බාරදීිම කළ බව මානව විද්‍යාඥයින් වාර්තා කරනවා.

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන මෙවැනි “කයියනායකලා” වාචාල බස් දොඩමින් දැනටමත් වැඩ පටන් අරන් තිබෙනවා.

විවාහ ජීවිතයේ අත්දැකීම් සහ දේශපාලනයේ අත්දැකීම් කියන්නේ
දෙකක් බව වටහාගන්න බැරි මිනිසුන් ස්වෙච්ඡාවෙන් ඉවත් නොවන්නේ නම්, එවැන්නන් බලයෙන් හෝ පන්නා දැමිය යුතුයි.

“පුදන කොටම කාපි යකා” කිව්වාක්මෙන්
අලුත් ආණ්ඩුව පිහිටුවන්නත් කලින් වැඩ පටන් ගත්තා නම් ඉදිරියට මොනවා කියාවිද මොනවා කරාවිද?

මට ආරක්ෂා කිරීමට හෝ ආශිර්වාද කිරීමට කෙනෙක් මේ ආණ්ඩුව තුළ නැත. එසේ යයි කියා මට මේ ආණ්ඩුවට විරුද්ධ වීමේ අවශ්‍යතාවයක් ද නැත. අප විරුද්ධ වන්නේ අසාධාරණයට විරුද්ධව පමණයි.

එහෙත් මේ ජයග්‍රහණයට දැවැන්තම දායකත්වය දුන් රටේ ජනගහනයෙන් 74.1% පමණ වන සිංහල බෞද්ධ ජනතාවට වැටෙන්න ඉඩනොදී රැක ගැනීම අප කාගේත් පරම යුතුකම බව පවසන්නේ අනෙකුත් ජන වර්ගවල හා ආගම්වල දායකත්වය නොසළකා හැරීමට නොවෙයි.

එක අතකින් මා පුදුම වෙනවා සිද්ධාර්ථ නමටත් ගරහමින්, බුදුන් වහන්සේ උපහාසයට හා හාස්‍යයට ලක්කරමින්, බුදු දහම ආරක්ෂා විය යුතු බව සඳහන් වෙන ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය ඉවත් කළ යුතුයි කෑ මොර දෙන පිරිසක්ද ඇතුළු ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය සඳහා බෞද්ධ ජනතාව ගත් තීරණය ගැන.

කවුරු මොනවා කීවත් විශේෂයෙන්ම ගැමි බෞද්ධ ජනතාව තුළ “නිවැරදි දැක්ම” (සම්මා දිට්ඨි) නොනැසී තවමත් ආරක්ෂාවී ඇති බවත්, සර්ව සුබවාදීත්වය අත්හැර නොමැති බවත් ඡන්දය දීමේ ඔවුන්ගේ ප්‍රතිශතය තුළින් මනාව ඔප්පු කර තිබෙනවා.

එම ජනතාවගේ අහිංසක බලාපොරොත්තු නොතකා හරිමින් බෞද්ධ විරෝධී අදෘශ්‍යමාන බලවේග වලට මාර්ගය විවෘත කර දීමට අලුත් ආණ්ඩුව සූදානම් වුවහොත්
අන් අයට අත් වූ ඉරණම මොවුන්ට ද අත් වෙනවා ඇත.

ප්‍රතිකාරයට වඩා පරිස්සම කොහොමටත් හොඳයි!

(මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා)
17.11.2024

Protected by Security by CleanTalk