Spread the News

ඉන්දියාවේ කනස්‌සල්ල හෙවත් උතුරු පළාත් සභාව

source:

මලයාලම් ජාතික 62 හැවිරිදි ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක ෂිව් ශන්කර් මෙනන් ඉකුත් 27 වැනිදා එක්‌ දිනක ශ්‍රී ලංකා චාරිකාවක්‌ සිදුකර ආපසු සිය රට බලා ගියේය. ඉන්දියාවේ බලවත්ම රාජ්‍ය නිලධාරියා වන මෙනන් මෙරට ඉන්දීය මහකොමසාරිස්‌ ලෙසද කටයුතු කළේය. කේරළ ප්‍රාන්තයේ රදල පවුලකින් පැවත එන මෙනන්ගේ පරම්පරාවද ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෝය. ඔහුගේ පියා පරප්පිල් නාරායන මෙනන් යුගෝස්‌ලාවියාවේ ඉන්දිය තානාපති ලෙස කටයුතු කළ අතර ඔහුගේ සීයා එනම් කේ. පී. එස්‌. මෙනන් (ජ්‍යෙෂ්ඨ) ඉන්දියාවේ පළමු විදේශ ලේකම්වරයා විය. 2006 දී ඉන්දීය විදේශ ලේකම් වූ ඔහු හිටපු ආරක්‍ෂක උපදේශක එම්. කේ. නාරායන්ගේ අභාවයෙන් පසු ඉන්දීය අගමැතිගේ ආරක්‍ෂක උපදේශක බවට පත්විය.

ෂිව් ශන්කර් මෙනන් පෞද්ගලිකව ශ්‍රී ලංකා විරෝධියකු නොවන බව ප්‍රකටය. විශේෂයෙන්ම ඉකුත් මාර්තු මාසයේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට විරුද්ධ විය යුතු බව මේ ආරක්‍ෂක උපදේශකයා ප්‍රකාශ කර ඇත. එහෙත් මන්මෝහන් සින් ආණ්‌ඩුවට තමිල්නාඩුවේ දේශපාලන සහය වඩා වැදගත් විය. සිවුවැනි ඊළාම් යුද්ධය උග්‍රව පවතින කාලයේ ෂිව් ශන්කර් මෙනන් ඉන්දීය විදේශ ලේකම් ලෙස ශ්‍රී ලංකාවට එරෙහි බාල්දි පෙරළීමට කටයුතු කළේ නැත. එමෙන්ම ඔහු 87 දී මෙන් ජොතීන්ද්‍රනාත් ඩික්‌සිත් ගේ චරිතයට පණ දෙන්නට ගියේද නැත.

ඉන්දිය කැබිනට්‌ ඇමැතිවරයකු හා සමාන රාජ්‍යතාන්ත්‍රික බලයක්‌ ඇති මෙනන් සමග ඉන්දීය විදේශ අමාත්‍යංශයේ හාෂ් වර්ධන ජින්ගාලා ද මෙම චාරිකාවට සහභාගි විය. මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය දීමෙන් පසු මෙරටට පැමිණි පළමු ඉන්දීය නියෝජිතයා වන්නේද මෙනන්ය. ඇත්තෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට පිටුපෑම නිසා මෙරට ඉන්දීය විරෝධය දැඩිවූ අතර රජයේ කනස්‌සල්ලද ප්‍රබල විය. වසර ගණනාවක සිට පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා ඉන්දියාවට ලබාදීමට රජයේ සූදානමක්‌ තිබුණද මේ තීරණයද ආපසු හරවා ඇත. පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා ඉන්දීය ආධාර ගැනීම පිළිබඳව සාකච්ඡා වුණේ 2001 එක්‌සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වූ අවස්‌ථාවේදීය. කෙසේ නමුත් දැන් මේ අදහස වෙනස්‌ කර සිවිල් ගුවන්සේවා අධිකාරියට මෙහි සංවර්ධන කටයුතු පවරාදී ඇත. මත්තල ගුවන් තොටුපළ චීන රජයේ ආධාර ඇතිව ඉදිවෙද්දී පලාලි ගුවන්තොටුපළ සංවර්ධනය තමන් වෙත ලැබෙනු ඇතැයි දිල්ලිය බලාපොරොත්තු විය.

ඉන්දීය ආණ්‌ඩුවද රාජපක්‍ෂ රජය කෙරෙහි කලකිරීමෙන් සිටින බව අමුතුවෙන් පැවසිය යුතු නැත. විශේෂයෙන්ම යුද්ධය අවසන්වීමත් සමග ඉන්දීය අගමැතිවරයාට මෙරට පැමිණ සංචාරයක නිරතවෙන්නැයි කළ ආරාධනාව මෙතෙක්‌ හමස්‌ පෙට්‌ටියට ගොස්‌ ඇත. පසුගිය කාලයේදී ඉන්දිය අගමැතිවරයා බංගලාදේශයේ සංචාරයක නිරත වූ අතර සිය රට පැමිණි පකිස්‌ථාන ජනපතිවරයා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්‌ද ලබාදී විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්විය. එහෙත් ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකා සංචාරයක නිරතවීමට මෙතෙක්‌ සූදානම් නැත්තේ මේ කනස්‌සල්ල නිසාද? යුද්ධය අවසාන වීමෙන් පසු 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමත් උතුරේ පළාත් සභාව පිහිටුවීමට කටයුතු නොකිරීමත් නිසා දිල්ලි රජය උකටලීව සිටියි.

මෙනන්ගේ 27 වැනිදා සිදුවූ ලංකා ගමනට පෙර ඉන්දීය විදේශ ඇමැති එස්‌. එම්. ක්‍රිෂ්ණා මෙන්ම විපක්‍ෂනායිකා ශුෂ්මා ස්‌වරාඡ් ද මන්ත්‍රී කණ්‌ඩායමක්‌ සමග මෙරට සංචාරය කර ආපසු සිය රට බලා ගියහ. රාජපක්‍ෂ රජය මෙරට පැමිණි ඉන්දීය නියෝජිතයන්ට හැකි ඉක්‌මණින් දේශපාලන විසඳුම් යෝජනාවලිය ක්‍රියාත්මක කරන බවත් උතුරේ පළාත් සභාව පිහිටුවන බවත් කීවද එය මෙතෙක්‌ සිදුව නොමැත. එම නිසාම ඉන්දියාවේ අගමැතිවරයා ශ්‍රී ලංකා සංචාරය වුවමනාවෙන්ම මගහරිමින් සිටින බව පැහැදිලිය. කෙසේ නමුත් ඉන්දීය මතය අනුව කටයුතු කරන්නට ගියහොත් සිය ඡන්ද පදනම බිඳ වැටෙන බව රාජපක්‍ෂ ආණ්‌ඩුව හොඳින්ම අවබෝධ කරගෙන සිටී. ඇත්තෙන්ම ඉන්දියාවට ඇති හදිසිය අපට නැත.

යුද්ධය අවසන්වී වසර තුනක්‌ ඉක්‌ම ගොස්‌ ඇති නිසා දෙමළ අභිලාෂයන් මුදුන්පත් කරලීමට කටයුතු කරන්නැයි උපදෙස්‌ දීමට පැමිණි මෙනන් මහතා ආණ්‌ඩුවේ බලවත්ම රාජපක්‍ෂ ට්‍රොයිකාව හමුවී සාකච්ඡා කළේය. ඒ ජනපති මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ යන තිදෙනාය. අනෙක්‌ පාර්ශ්වයෙන් ඔහු විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ හමුවීමට උනන්දු වූයේ නැත. ඇත්තෙන්ම දැන් ඉන්දියාව රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවකට හෝ එතරම් උනන්දු වන්නේ නැත. ඒ විපක්‍ෂයේ ඇති ප්‍රශ්න නිසාද නැතිනම් වික්‍රමසිංහට එරෙහි කැරළි පාර්ශ්වයට ආශිර්වාද කරන නිසා දැයි අප දන්නේ නැත. නමුත් 2005 දී නම් ඉන්දියාව ඉමහත් බලාපොරොත්තු දල්වා ගෙන සිටියේ රනිල් වික්‍රමසිංහ ජනපති වනු දැකීමටය. මේ සියල්ල දැන් ඉතිහාසයට එක්‌වී හමාරය.

ඉන්දීය ආරක්‍ෂක උපදේශකයා විපක්‍ෂය පාර්ශ්වයෙන් හමු වූයේ දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් පමණි. ඉන්දීය වුවමනාවට ගැළපෙන ඉල්ලීම් ඉදිරිපත් වන්නේද දෙමළ ජාතික සන්ධානයෙන් පමණි. උතුරේ පළාත් සභා මැතිවරණය මෙතෙක්‌ නොපැවැත්වීම ගැන ඉන්දියාව බලවත් ලෙස කම්පාවන බව පැහැදිලිය. විශේෂයෙන්ම උතුරු පළාතේ හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව එරටට ප්‍රශ්නයක්‌ ඇත. කෙසේ නමුත් මෙරට දී ඉන්දීය මාධ්‍යවේදීන් හමුවූ මෙනන් ප්‍රකාශ කර සිටියේ තමන් ලංකා රජයට දේශපාලන ප්‍රතිසංස්‌කරණ ක්‍රියාත්මක කිරීමට කාල රාමුවක්‌ ලබාදීමට සූදානම් නැති බවත් එය ලංකා රජය විසින් සිදු කළ යුතු බවත්ය. කෙසේ නමුත් දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසන්ධාන හා ප්‍රතිසංස්‌කරණ පුනරුත්ථාපන වැඩපිළිවෙළ ගැන ඉන්දියාවේ මතය කෙලින්ම ප්‍රකාශ කිරීමෙන් හෙතෙම වැළකී සිටියේ ඉන්දියාවේ ඇති කනස්‌සල්ල පෙන්වීම සඳහාය.

කෙසේ නමුත් මෙරට බිහිවූ අන් කිසිම රජයකට වඩා රාජපක්‍ෂ රජය බලවත් බව ඉන්දියාව දනී. විශේෂයෙන්ම කොටි සංවිධානයද ඉතිහාසයට එක්‌වීම නිසා දකුණේ ආණ්‌ඩුවේ බලය බෙහෙවින් වැඩි බව ඉන්දියාව දනී. එනිසාම මේ ප්‍රතිසන්ධාන කටයුතු ඕනෑ කමින්ම මගහරින්නේ යෑයි ඉන්දියාව සිතයි. කෙසේ නමුත් රාජපක්‍ෂ ආණ්‌ඩුවට උතුරේ පළාත් සභාව පිහිටුවීමට අවශ්‍ය නමුත් එය ඉන්දියාවට අවශ්‍ය කාලරාමුවට පිහිටුවීමට සූදානම් නැත. දෙමළ සන්ධානයද උත්සාහ කරන්නේ යුද්ධයෙන් ලබා ගැනීමට නොහැකි වූ ඊළම උතුරේ පළාත් සභාව හරහා ලබා ගැනීමට බැව් පසුගියදා නිකුත් වූ ඔවුනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් හෙළි විය. ඉදිරි කාලය පුරාම ඉන්දීය ආණ්‌ඩුවේ බලපෑමට මෙන්ම අනෙකුත් ප්‍රබල රාජ්‍යවල විවිධ බලපෑම්වලට මෙරට ආණ්‌ඩුවට මුහුණදීමට සිදුවන බවට සැක නැත. එහෙත් මේවා නිසි ලෙස කළමනාකරණය කර ගැනීම ආණ්‌ඩුවේ වගකීමකි.

චතුර පමුණුව