Spread the News

උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන
ආණ්‌ඩුව ඇතුලේ ගැටුම් උග්‍ර වෙයි!

අනුර බාලසූරිය, රනිල් ධර්මසේන SOURCE:

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ මත දෙකක සිටින බව දේශපාලන පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

එහි නිර්දේශ සම්බන්ධයෙන් අදාළ පක්‍ෂවල අදහස්‌ ලබාදෙන ලෙස මීට සති කිහිපයකට පෙර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායක හමුවකදී සියලු පක්‍ෂ වෙත දැනුම් දෙන ලදී.

ඒ අනුව පක්‍ෂ කිහිපයක්‌ම රජයට සිය අදහස්‌ ඇතුළත් වාර්තා ලබා දී තිබිණි. තවත් පක්‍ෂ කිහිපයක්‌ ඉදිරි දින කිහිපයේදී සිය වාර්තා ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ඊ. පී. ඩී. පී., ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්‍ෂය, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව පොදුවේ අදහස්‌ දක්‌වා තිබේ.

නමුත් ජාතික නිදහස්‌ පෙරමුණ, ජාතික හෙළ උරුමය, මහජන එක්‌සත් පෙරමුණ ඇතුළු පක්‍ෂ කිහිපයක්‌ කොමිෂන් වාර්තාවේ ඇතැම් කරුණුවලට එකඟ නැති බවටත් ඒවා වෙනුවට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවත් රජයට යෝජනා කර ඇතැයි ද වාර්තා වෙයි.

ජාතික හෙළ උරුමය සිය පක්‍ෂයේ මතය ඇතුළත් පිටු 22 කින් යුත් වාර්තාව රජයට භාර දී ඇත. බලය බෙදීම, ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනය කිරීම වැනි නිර්දේශ පිළිබඳව සංවේදීව සිතා බලා කරුණු කිහිපයකට තම මතය ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලංකාවට පැමිණීමෙන් පසුව තම මතය රටට ඉදිරිපත් කරන බවත් පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

ජාතික නිදහස්‌ පෙරමුණ ද උගත් පාඩම් කොමිසමේ නිර්දේශවලින් එකඟ, එකඟ නැති හා අනවශ්‍ය කරුණු ලෙස මෙම වාර්තාව විග්‍රහ කර ඇතැයි ද විකල්ප ක්‍රියාමාර්ග සමඟ පක්‍ෂයේ මතය දැනුම් දීමට නියමිත බව එම පක්‍ෂයේ නිලධාරියෙක්‌ පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ද උගත් පාඩම් කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීමට සිව් පුද්ගල කමිටුවක්‌ පත්කර ඇති අතර සතියකින් එහි වාර්තාව ලබාගැනීමට නියමිතය.

සියලු පක්‍ෂවල අදහස්‌ ලැබීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එජනිස පක්‍ෂ නායකයන් හමුවී අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව ද වාර්තා වෙයි.

ඉඩම් සහ පොලිස්‌ බලතල බෙදාදීම ඇතුළු බලය බෙදීම, උතුරේ පරිපාලනය පිහිටුවීම, හමුදා කඳවුරු ඉවත් කිරීම ආදී කරුණු රැසක්‌ පිළිබඳව මෙලෙස පක්‍ෂ විසින් විකල්ප අදහස්‌ ඉදිරිපත් කර ඇත.