උගත් පාඩම් වාර්තාව සමබරයි-තර්කානුකූලයි
ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයස් ශ්‍රී
උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාවේ (LLRC) අවසන් වාර්තාව නිකුත්වීමෙන් පසු එවැනි කොමිෂමක වැදගත්කම හා එහි නිර්දේශ ගැනත්, මෙවැනි ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳත් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයස් ශ්‍රී මහතා සමඟ කළ සාකච්ඡාවකි.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිෂන් සභාවේ (LLRC) වාර්තාව නිකුත් වුණා. එවැනි කොමිසමක් පත් කිරීමේ හා එහි වාර්තාව නිකුත්වීමේ වැදගත්කම ඔබ තේරුම් කරන්නේ කොහොමද ?
ගැටුම්වලින් පසු එය ඉස්මතුවීමේ හේතු විමර්ශනය කිරීමටත් සත්‍ය වශයෙන් සිදු වූ දේ අවබෝධ කර ගැනීම පිණිසත් කොමිසමක් පත් කිරීම ජාත්‍යන්තර වශයෙන් හඳුනා ගෙන ඇති ක්‍රියා පිළිවෙතක්; එවැනි ක්‍රියා පිළිවෙතක් ජාත්‍යන්තරයම අනුමත කරනවා. මේ නිසා ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී උවදුරින් නිදහස් වූ පසුව හා රටට එරෙහිව මතු වූ විවේචන රාශියකට පසුව මෙවැනි කොමිසමක් මඟින් විමර්ශනයක් සිදු කිරීම හා වාර්තාවක් නිකුත් කිරීම ඉතාම වැදගත්. ගැටුම්කාරීත්වයක් ඇතිවීමට හා පැවතීමට අදාළ සිද්ධාන්තයන් හඳුනා ගැනීමත්, එවැනි දෑ නැවත ඇති නොවීමට වග බලා ගැනීම පිණිසත් මේ කොමිසමෙන් යම් යම් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
කොමිසමේ අවසන් වාර්තාව නිකුත්වීමෙන් පසු එයට ලැබෙන ප්‍රරතිචාර දෙස බලන විට එදා පටන් ශ්‍රී ලංකාවට චෝදනා කළ පිරිස් තවදුරටත් ඒවා පෙරට ගෙනයන අතර ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ප්‍රණාමය පළ කළ පිරිස් මේ වාර්තාව අගය කරන බව පෙනෙන්න තිබෙනවා. මේ දෙකටම වඩා සිදුවිය යුතු දේ තමයි මේ වාර්තාව සමබරව අධ්‍යනය කිරීම. කිසිම වාර්තාවක් සර්ව සම්පූර්ණ නෑ. මේ වාර්තාවත් බොහෝ විවේචනයන්ට ලක්විය හැකි එකක්. හැබැයි ඒ විවේචනය තුළ එමඟින් ඉදිරිපත් කරන නිර්දේශ හා පිළියම් යටපත්වීමට ඉඩ නොදිය යුතුයි. මේ වාර්තාව දෙස සමස්තයක් ලෙස බලන විට පැහැදිලි වන දේ තමයි දුබලතාවන්ට වඩා එහි සාර්ථකත්වයන් වැඩි බව.
ඉතිහාසයේ ඉදිරිපත් වී ඇති ඇතැම් කොමිෂන් සභා වාර්තා හමස් පෙට්ටියට යනවා. නමුත් මේ වාර්තාවට ඊට වෙනස් ඉරණමක්, පිළිගැනීමක් ලැබෙන බව පෙනෙනවාද ?
මේ වාර්තාවේ ඇති වැදගත්ම ලක්ෂණයක් නම් එමගින් රජය දෙසට එල්ල කරන දැඩි විවේචනයි. කිසිදු බිය සැකක් නැතිවම විශේෂයෙන් නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ බලමහිමය, ස්වාධීන කොමිෂන් සභා ආදිය සම්බන්ධයෙන් එමගින් රජයට යම් යම් කාරණා පෙන්වා දෙනවා. මෙය රජයේ වන්දිභට්ටන් පිරිසක් කළ වැඩක් නොවේය කියා පණිවිඩය ඉන් සාර්ථකව ඉදිරිපත් වෙනවා. මේ වාර්තාව ලැබීමෙන් පසු එම විවේචන සම්බන්ධයෙන් රජය ක්‍රියා කළ ආකාරයෙන්ද පෙනෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක ගති ලක්ෂණයි. විශේෂයෙන් මේ වාර්තාව රජයේ ඇමැතිවරයකු නම් කර චෝදනා එල්ල කරනවා. රජයට සම්බන්ධ දේශපාලන පක්ෂයක් ඉලක්ක කරමින් ඔවුන් ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකළයුතු බවට සඳහන් කරනවා. එදා මුතූර් සහ ත්‍රීකුණාමලයේ ඇති වූ සිද්ධීන්වලින් පසු දෙන ලද වාර්තාවල සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම ගැන පෙන්වා දෙමින් එම දෝෂ නිවැරදි කිරීමට ප්‍රයත්න දැරිය යුතු බවටත් නිර්දේශ කරනවා. මෙවැනි පසුබිමක මෙය ජාත්‍යන්තරයට පවා අවතක්සේරු කළ හැකි වාර්තාවක් නෙවෙයි. එහෙම වෙන්නේ මේක රජයට සුදුහුණු ගෑමේ වාර්තාවක් නොවන නිසා.
ආණ්ඩුවට හා අපේ රටේ දේශපාලන පක්ෂවලට මේ නිර්දේශ ඔස්සේ යම් කාර්යභාරයක් පැවරෙනවා. ඔබ එය දකින්නේ කොහොමද ?
අපේ රටේ ජාතික එකඟතාව බිඳ වැටීමට මෙතෙක් මේ රටේ බලයට පත් ආණ්ඩු වගේම සියලු දේශපාලන පක්ෂද වගකිවයුතු බව මේ කොමිෂම ඉතා ප්‍රබල ලෙස හෙළිදරව් කරනවා. ඒ සමඟ ජාතික සමඟිය පිණිස වන යෝජනාත් දක්වනවා. නිදසුනක් ලෙස භාෂා ප්‍රශ්නය විසඳීම, දෙමළ හා සුළු ජනකොටස්වලට ආවේණික දුක් ගැනවිලිවලට පිළියම් යෙදීම, මහජාතියට සිදුවූ හානි ආදිය දක්වමින් මේවා සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගද ලිහිල්ව පෙන්වා දෙනවා. ඒ නිසා, මේ වාර්තාව ඓතිහාසිකවත් වැදගත්. කෙටිකාලයකින් ක්‍රියාත්මක කළ නොහැකි නමුත් දිගුකාලීන වැඩපිළිවෙළකට යොමු කිරීමක් ඉන් සිදුවී තිබෙනවා. විශේෂයෙන් බලය බෙදීම පිළිබඳ කාරණයේදී බලය බෙදිය යුත්තේ ජනයා අතර බවත් කෙළින්ම බලය ජනයාට පැවරිය යුතු බවත් එය පෙන්වා දෙනවා. එමඟින් කුඩා ඒකක දක්වාම යොමුවීමක් දැකිය හැකියි. නමුත්, මේ සඳහා යම් ක්‍රියාමාර්ගයක් පෙන්වාදීම සිදුවී නෑ. එය සම්පාදනය කිරීමේ වගකීම රජයට හා දේශපාලන පක්ෂවලට පවරා තිබෙනවා.
ජාත්‍යන්තර වශයෙන් පළවන ප්‍රතිචාර ගැන අවධානය යොමුකරන විට ඇතැම් රටවල් හා සංවිධාන එය අගය කරනවා. තවත් රටවල් එහි ඇති අඩු පාඩු මොනවාදැයි හාරා අවුස්සනවා. මේ ජාත්‍යන්තර ප්‍රතිචාර ඔබ තේරුම් ගන්නේ මොන විදිහටද ?
ඇතැම් ජාත්‍යන්තර බලවේග විසින් ඉස්මතු කළේ ශ්‍රී ලංකාව මානුෂීය අයිතීන් උල්ලංඝනය කර ඇති බවයි. සිවිල් ජනයාට හානිකර ඇතැයිද යුද නීතිය උල්ලංඝනය කර ඇතැයිද චෝදනා එල්ල කළා. දරුස්මාන් වාර්තාව, චැනල් – 4 චිත්‍රපටි ආදිය තමන් කියන දේ තහවුරු කරන්න ඒ අය ආයුධ ලෙස භාවිතයට ගත්තා. නමුත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සිවිල් ජනයා ඉලක්ක කරමින් ඔවුන්ට හානිදායක ක්‍රියාදාමයක යෙදී නැති බව මේ වාර්තාව මඟින් පැහැදිලි වම ප්‍රකාශ කරනවා. ඒ සමඟම යුද බිමේදී යම්කිසි දෝෂයක් සිදුවී තිබෙනවා. ඒ ගැන පරීක්ෂා කිරීමට ස්වාධීන පැමිණිල්ල මෙහෙයවීමේ නිලධාරියකු පත් කිරීම හා එවැනි ආයතනයක් ඇති කිරීම ගැනත් මින් යෝජනා කරනවා. එය එක්සත් ජනපදයේ පැමිණිල්ල මෙහෙයවීමේ විශේෂ නිලධාරී කියන තනතුරට සමාන්තර අදහසක්. අපට එරෙහිව ජාත්‍යන්තරය නැඟූ චෝදනාවලට පිළිතුරු දීමකුත් මේ වාර්තාව මඟින් සිදුවෙනවා. නිදසුනක් ලෙස චැනල් – 4 චිත්‍රපටවල ඇති දෝෂ පෙන්වා දෙන අතරම එය විමසා බැලිය යුතු යමක් ඇතැයි පෙනී ගියහොත් ඒ ගැන තවදුරටත් විමර්ශනය කළයුතු බවත් වාර්තාවේ සඳහන්. එයින්ද පෙනී යන්නේ මෙය ස්වාධීනව හා තර්කානුකූලව පිළියෙළ කළ වාර්තාවක් බවයි. එවැනි වාර්තාවක් ඉදිරිපත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලැබූ ජයග්‍රහණයක් ලෙස මා දකිනවා. ඒ අතරම එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපහසු වුවහොත් එය රජයට විශාල පසුබෑමක් ඇති කිරීමට හේතුවක් වන බවත් සඳහන් කළ යුතුයි.
මේ වාර්තාව මඟින්ද දරුස්මාන් වාර්තාව සහ රටට එරෙහි චෝදනා තහවුරු වන බවටත්, එහි අලුත් යමක් නැති බවටත් පළ වී ඇති විවේචන ගැන ඔබ මොකද කියන්නේ ?
විවේචනය කිරීම හරිම පහසුයි. දරුස්මාන් වාර්තාවේ ඇති සමහර කාරණා විමර්ශනයට ලක් කළයුතු බව පෙන්වාදීමෙන්ම පැහැදිලි වෙන්නේ මේ වාර්තාව දරුස්මාන් වාර්තාව බඳු ඒකපාර්ශ්වික පක්ෂග්‍රාහී ලියැවිල්ලක් නොවන බවයි. මෙය සත්‍යය සෙවීම සඳහා වූ සමබර වාර්තාවක් බව මේවායින්ම පැහැදිලි වෙනවා. යම් යම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා මාර්ග සිතියමක් පිළියෙල කිරීමට ඉන් ලැබෙන දායකත්වය ඔස්සේ අපට එරෙහිව පුන පුනා මතුවන චෝදනාවලටත් පිළිතුරු සපයා ගත හැකියි. මේ වාර්තාවේ ඇති වැදගත්ම ලක්ෂණයක් තමයි, සෑම කාරණයක් දෙසම පාහේ නව මුහුණුවරකින් දැකීම.
මේ වාර්තාවේ ඇති අඩු-පාඩු වශයෙන් ඔබ දකින යමක් තිබෙනවාද ?
මම දකින විදිහට මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාමේදී රජය මුහුණපාන දුෂ්කරතාවක් නම්, ඒ සඳහා නිසි මාර්ගයක් සපයා නොතිබීමයි. නිසි ක්‍රියාමාර්ග පිළියෙල කිරීම වෙනුවට ඊට මාර්ගය පෙන්වාදීම පමණක් මෙහිදී සිදු වී තිබෙනවා. එනම්, මේවා ක්‍රියාත්මක කිරීමට යාමේදී රජයට නිසැකවම වෙනත් පාර්ශවයක් සමඟ සම්බන්ධවීමට සිදුවෙනවා. මේ නිසා මෙහි නිර්දේශ ක්ෂණිකව ක්‍රියාත්මක කළයුතු ඒවා වුණත් තවත් කල්ගතවීමක් සිදුවීම වැළැක්විය නොහැකියි. එවැනි පසුබිමක අවශ්‍ය නම් රජයට මේ නිර්දේශ යටපත් කිරීමට වුණත් පුළුවන්. නමුත් එසේ නොකර මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා රජය යම් වයුහයක් පිළියෙල කළහොත් එයින් රජයට විශාල වාසියක් ලැබෙනවා. කොහොම නමුත් මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අවසන් වගකීම පැවරෙන්නේ රජයටයි.
ජාතයන්තර අත්දැකීම් දෙස බලන විට විශාල ගැටුම්කාරීත්වයන්ට පසුවවත් මෙවැනි වාර්තා පිළියෙල වී නැති අවස්ථා තිබෙනවා නේද ?
මෙවැනි ගැටුම්කාරීත්වයකට පසු ජාත්‍යන්තරව එල්ල වන චෝදනාවලට හොඳම පිළිතුර නම් යම් අඩු පාඩු වී ඇත්නම් ඒවා අභ්‍යන්තර ව්‍යුහය තුළින්ම නිදොස් කර ගැනීමයි. විදෙස් බලවේග වෑයම් කරන්නේ රටට අත පෙවීමටයි. යුද්ධය තිබියදීත් ඔවුන් සහ ඇතැම් එන්.ජී.ඕ කළේ එයයි. එම නිසා මෙවැනි කොමිෂමක් මගින් රජයට යම් විවේචනයක් ඉදිරිපත් කළත් එය කරන්නේ රජය නිසි ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමට බව අප තේරුම්ගත යුතුයි. සමහර රටවලට ගැටුම්වලින් පසු මෙවැනි ක්‍රියාපිළිවෙතකට යොමුවීමට හැකි වූයේ නෑ. දකුණු අප්‍රිකාව මෙවැන්නකින් සාර්ථක ප්‍රතිඵල ලැබූ රටක්. නමුත්, කොසෝව සම්බන්ධයෙන් ඊට වඩා තත්ත්වය වෙනස්. නව රාජ්‍යයටද ඇතුල් වී තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමටයි බාහිර පාර්ශ්වයන්ට අවශ්‍ය වුණේ. දකුණු සුඩානය නම් නව රාජ්‍යයේ නෝර්වේ කළෙත් එවැනි දෙයක්. එහි ප්‍රතිඵලයක් ලෙස යළිත් උතුරු හා දකුණු සුඩානය අතර ගැටුම් හට ගත්තා. නමුත්, විදේශ ආධිපත්‍යයන්ට යට නොවී ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙළ පෙරට ගෙන ගියා වගේම ගැටුම්කාරීත්වය තුළින් පාඩම් ඉගෙනීම හා සත්ය සෙවීමත් එකී බලපෑම්වලට යට නොවී කරන්න ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.
__________________________________________________________________
බලවේගය ප්‍රකාශයක් :
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක් ලගදීම අප සංවිධානය විසින් රජයට ලබාදීමට අපේක්ෂා කරන්නෙමු. පාඨක ඔබසැම වෙත දින කිහිපයකින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා ලියු සිහළ බොදු පිළිතුර අපගේ වෙබ් අඩවිය හරහා කියවාගත හැක. ක්‍රමක් ක්‍රමයෙන් අඩුවීගෙන යන සිහල බොදු අයිතීන් දෙස බැලීමට කාලය පැමිණ ඇත…
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක් ලගදීම අප සංවිධානය විසින් රජයට ලබාදීමට අපේක්ෂා කරන්නෙමු. පාඨක ඔබසැම වෙත දින කිහිපයකින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා ලියු සිහළ බොදු පිළිතුර අපගේ වෙබ් අඩවිය හරහා කියවාගත හැක. ක්‍රමක් ක්‍රමයෙන් අඩුවීගෙන යන සිහල බොදු අයිතීන් දෙස බැලීමට කාලය පැමිණ ඇත…
https://balawegaya.wordpress.com/2012/01/31/3022/