Spread the News

උතුරු නැගෙනහිර පාලනය බන්දේසියක තබා ඉල්ලයි source:

* ඝාතකයාගේ සාක්‌කියෙන් ශ්‍රී ලංකාවට සිදුවීමටට ගිය විපත හෙළිවේ

* 13 වැනි සංශෝධනය දෙන්නැයි ඉන්දියාව කියා සිටී

* යුද ජයග්‍රහණය සැමරීමත් යුද විරුවන්ගේ ස්‌මාරක ඉදිකිරීමත් නතර කරන්නලු

* ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීමට ජනමත විචාරණයක්‌ පවත්වන්නැයි තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධි එක්‌සත් ජාතීන්ගේ

සංවිධානයෙන් ඉල්ලයි

* කොටි සංවිධානය ඉන්දියාවේ තහනම්, තමිල්නාඩුවේදී ප්‍රභාකරන් ග්‍රන්ථය එළිදකී

* මානව හිමිකම් වෙස්‌ගත් කිරුබාහරන් ත්‍රස්‌තවාදියකු
බව කැනඩා රහස්‌ පොලිස්‌ වාර්තාවේ දැක්‌වේ

* ඉන්දීය ජාතික ත්‍රස්‌ත මර්දන මධ්‍යස්‌ථානයට ජයලලිතා එරෙහිවේ

* ඊළාම් රාජ්‍යය අද නැත්නම් හෙට එනවා යෑයි කරුණානිධිගෙන් තවත් ප්‍රකාශයක්‌

* මැර කණ්‌ඩායමක්‌ ජිනීවා සමුළුවට ගෙන ආ බවට
බැංගලෝර් කොටි හිතවාදී පෝල් නිව්මන් බොරු ප්‍රචාරයක්‌ දියත් කරයි

* උතුරේ බෞද්ධ සිද්ධස්‌ථාන ඉදිවන බවට එන්.ජී.ඕ.
ක්‍රියාකාරීහු විරුද්ධ පක්‍ෂ නායිකා සුෂ්මා ස්‌වරාඡ්ට පවසති

“බලය හැර අනිකුත් සියලු දේම මායාවක්‌ වේ”
– සෝවියට්‌ දේශයේ හිටපු නායක වී. අයි. ලෙනින්


“අපට මස්‌ රාත්තලම ඕනෑ”
– සම්බන්දන් හා ඉන්දීය දූත කණ්‌ඩා යමේ සාකච්ඡාව

ඉන්දීය කොටි තහනම මැද තමිල්නාඩුවේ දී ප්‍රභාකරන් ග්‍රන්ථය එළිදැක්‌වීම

ද්‍රවිඩ සන්ධානයේ නායක රාජවරෝනයම් සම්පන්දන් වැනීසියේ වෙළෙන්දා ග්‍රන්ථයේ එන ෂයිලොක්‌ නමැති යුදෙව්වාට සමානය. පසුගිය 17 වැනිදා ඔහු ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායම ඉන්දීය විරුද්ධ පක්‍ෂ නායිකා සුෂ්මා ස්‌වරා- ඇතුළු දූත මණ්‌ඩලය හමුවී ශ්‍රී ලංකාවේ රජය තමන්ට බන්දේසියේ තබා දිය යුතු ඉල්ලීම් ඉදිරිපත් කළේය. “අපට ඉන්දියාවේ ප්‍රාන්තවලට මෙන් පොලිස්‌ හා ඉඩම් බලතල අවශ්‍යයි. බලය නැතිව ලැබෙන විමධ්‍යගත බලය කිසිම වැඩක්‌ නැහැ”යෑයි මෙම සාකච්ඡාවේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලානන්දන් කියා සිටියේය. මෙහිදී ද්‍රවිඩ සන්ධානය තවත් පැමිණිල්ලක්‌ ද කළේය. “පාරම්පරික ද්‍රවිඩ ප්‍රදේශවල බෞද්ධ විහාර ඉදිකරනවා. උතුරු නැගෙනහිර ඉඩම් ඩැහැ ගන්නවා. උතුරු නැගෙනහිර සතුටුදායක තත්ත්වයක්‌ ඇතිවීමට නම් අපට පරිපාලන බලය දිය යුතුයි”යෑයි ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායම තවදුරටත් සඳහන් කළේය.

අඩෙයිකලානන්දන් ද උතුරේ හමුදා කඳවුරු ස්‌ථානගතවීම ගැන චෝදනා කළේය. 2009 දී කොටි සංවිධානය අමානුෂික ලෙස පරාජය කිරීමෙන් පසු සාමාන්‍ය ජන ජීවිතයට ඒමට ක්‍රියා කරන ද්‍රවිඩ ජනතාවට වර්ධනය වී ඇති හමුදාව නිසා ප්‍රශ්නයක්‌ වී ඇති බවද ඔහු පළ කළේය. මේ අන්දමට උතුර නැගෙනහිර පාලනය සියතට ගැනීමට ද්‍රවිඩ සන්ධානය විවිධ ක්‍රමවේදයන් දියත් කරන අවස්‌ථාවේ ඉන්දීය දූත කණ්‌ඩායමට සම්බන්ධ කොන්ග්‍රස්‌ මන්ත්‍රීනි මනිකා තාගෝර් ප්‍රකාශයක්‌ කරමින් ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාර 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස අපි ශ්‍රී ලංකා රජයට පැවසුවා යෑයි කියා සිටියාය.

එහෙත් අර්බුදයට විසඳුමක්‌ සොයාගත යුත්තේ ඒකීය ශ්‍රී ලංකාවක්‌ තුළ බව අපි සම්පන්දන්ට කියා සිටියා යෑයි ඇය තවදුරටත් පළ කළාය.

ඉන්දීය දූත කණ්‌ඩායම මෙරට ද්‍රවිඩ සන්ධානය සමග සාකච්ඡා පවත්වන අවස්‌ථාවේ තමිල්නාඩුවේ ඩී.එම්.කේ. පක්‍ෂයේ නායක මුතුවේල් කරුණානිධි ප්‍රකාශයක්‌ කරමින් තමිල්නාඩු රජයත් ඉන්දීය රජයත් ද්‍රවිඩ ඊළාම් රාජ්‍යය ආරම්භ කිරීම සඳහා ජනමත විචාරණයක්‌ පවත්වන ලෙස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත බලපෑම් කළ යුතු බව සඳහන් කළේය. “එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීම නිසා අලුත් රටවල් බිහි වෙනවා. මේ නිසා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් සඳහා වෙනම රටක්‌ බිහි කිරීම සඳහා ජනමත විචාරණයක්‌ පැවැත්වීම යෑයි කරුණානිධි වැඩිදුරටත් කියා සිටියේය.

කරුණානිධි ශ්‍රී ලංකාව දෙකඩ කිරීම සඳහා මෙවන් ප්‍රකාශයක්‌ කරද්දී තමිල්නාඩු කොටි හිතවාදී මාධ්‍ය තවත් ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය. ඒ මුහුදු ගිය තමිල්නාඩු ධීවර යාත්‍රා 504 කට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රහාරයක්‌ එල්ල කළ බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව මෙවන් සාවද්‍ය ප්‍රචාර මෙහෙය වන්නා කොළඹ සිට ටැමිල් නෙට්‌ කොටි වෙබ් අඩවියට අලුතින් තොරතුරු එක්‌ කරන කොටි හිතවාදියා යෑයි සනාථ වී ඇත. එහෙත් තමිල්නාඩු ධීවර ඇමැති කේ. ඒ. ජයපාල් ප්‍රකාශයක්‌ කරමින් මුහුදු ගිය ධීවර යාත්‍රා සියල්ලම නිරුපද්‍රිතව පැමිණි බවත් එකී ප්‍රහාර එල්ල කිරීමේ පුවත සාවද්‍ය බවත් පළ කළේය.

මේ අතර පසුගිය සිකුරාදා චෙන්නායිහි ත්‍යාගරාජා ශාලාවේදී ප්‍රභාකරන් මිනීමරුවා වර්ණනා කෙරෙන ග්‍රන්ථයක්‌ එළිදැක්‌විණි. මෙහි රචකයා ප්‍රභාකරන්ගේ සමීපතම සගයකු වන පාෂා නෙඩුමාරන්ය. වන්නි මෙහෙයුමින් ප්‍රභාකරන් ජය ලබන බවත් මුළු සිංහල හමුදාව වැනසෙන බවත් නෙඩුමාරන් විසින් 2008 දෙසැම්බර් මසදී ප්‍රකාශ කර තිබිණි. ප්‍රභාකරන්ගේ නමින් ලියෑවුණු මෙම ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයට ප්‍රභාකරන්ගේ උපදේශකයකු වූ කාසි ආනන්දන්, කොටි හිතවාදී වයිකෝ ඇතුළු ඊළාම්වාදීහු සහභාගි වූහ. මෙහිදී ප්‍රකාශයක්‌ කළ වයිකෝ ද්‍රවිඩ ජනතාව යළිත් වරක්‌ අවි ආයුධ අතට ගත යුතුද යන්න ගැන ජාත්‍යන්තර ප්‍රජාව තීරණය කළ යුතු යෑයි කීවේය. “ද්‍රවිඩ ඊළම බිහි කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සහාය විය යුතුයි. ඒ සඳහා තීරණයක්‌ ගැනීමට ප්‍රභාකරන් ග්‍රන්ථය උපකාරී වෙයි”යෑයි ඔහු පළ කළේය.

ප්‍රභාකරන් නමැති අපරාධකරු පිළිබඳ ලියෑවුණු මේ ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයට පැමිණ සිටි මඩකලපුවේ පදිංචිකරුවකු වන කාසි ආනන්දන් යනු ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිව රැවටූ තැනැත්තායි. රජිව් ගාන්ධි ඝාතන සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රභාකරන් විසින් රජිව් වෙත යෑව්වේ කාසි ආනන්දන්ය. “කොටි සංවිධානය ඔබ ගැන වෛරයක්‌ නැහැ. ප්‍රභාකරන්ගේ වචනය විශ්වාස කරන්න”යෑයි කාසි ආනන්දන් විසින් රජිව් ගාන්ධිට පවසා තිබූ බව ඉන්දීය බලධාරීන් විසින් පසුව කළ විමර්ශනවලින් හෙළි විය.

කාසි ආනන්දන් ද මෙහිදී ප්‍රකාශයක්‌ කරමින් ප්‍රභාකරන්ගේ න්‍යායයන් හා අරමුණුවල සැබෑ ස්‌වරූපය මෙම ග්‍රන්ථයෙන් පිළිබිඹු කරන බව කියා සිටියේය. ඔහු ඉන් පෙන්නුම් කළේ නැවත වරක්‌ ආයුධ ගෙන අරමුණු ඉටුකර ගැනීමට සටන් කරපල්ලා යන්නයි.

ඉන්දීය රජය විසින් කොටි සංවිධානය තහනම් කර තිබියදී ප්‍රභාකරන් සම්බන්ධ ග්‍රන්ථයක්‌ ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ලැබුවේ කෙසේද යන්න බරපතළ ප්‍රශ්නයකි. එසේම කොන්ග්‍රස්‌ රජය යටතේ සෝනියා ගාන්ධිගේ සැමියාව බිහිසුණු ලෙස ඝාතනය කළ ප්‍රභාකරන් මිනීමරුවා වර්ණනා කෙරෙන ග්‍රන්ථයක්‌ ප්‍රකාශයට පත් කිරීම ද ඇයට කළ සරදමක්‌ නොවේද?

මේ අතර ද්‍රවිඩයන්ට පොලිස්‌ බලතල හා ඉඩම් බලතල දෙන ලෙස ශ්‍රී ලංකාවට කියා සිටි ඉන්දීය රජයට ද එවන් බලතලවල විපාක දැරීමට සිදුවිය. පසුගිය සදුදා තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා නවදිල්ලියට ගොස්‌ ත්‍රස්‌තවාදයට මුහුණදීම සඳහා ඉන්දීය රජය විසින් කැඳවා තිබූ සමුළුවට සහභාගි වූවාය. මෙහිදී ජාතික ත්‍රස්‌ත මර්දන මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමේ යෝජනාවක්‌ ඉදිරිපත් විය. ජයලලිතා පමණක්‌ නොව ඉන්දීය ප්‍රාන්තවල මහ ඇමැතිවරු රැසක්‌ ද එකී යෝජනාවට මුළුමනින්ම එරෙහි විය. මෙවන් ත්‍රස්‌ත මර්දන ආයතනයක්‌ ස්‌ථාපිත කිරීමට යැම ප්‍රාන්තවල නීත්‍යානුකූල හිමිකම්වලට බාධාවක්‌ යෑයි ඇය එකහෙළාම පවසමින් ඊට විරුද්ධ වූවාය.

ඉන්දීය බලධාරීන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ඇති කිරීමට උත්සාහ කරන්නේ මෙවන් අයහපත් වාතාවරණයක්‌ නොවේද?

මේ අයුරින් ද්‍රවිඩ සන්ධානයට පොලිස්‌ බලතල හා පරිපාලන බලතල ලබාදුන්නොත් සිදුවන්නේ ත්‍රස්‌ත ක්‍රියා මතු වූවොත් ඒවා වැළැක්‌විය නොහැකි තත්ත්වයකි.

මේ අතර ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයකු වන ශ්‍රීධරන් නමැත්තා තමිල්නාඩුවේ මදුරෙයි නගරයේ සමුළුවක්‌ අමතමින් දස දහස්‌ සංඛ්‍යාත ද්‍රවිඩයන්ගේ සිරුරු මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ ඇතැයි පවසා තිබේ.

මේ ශ්‍රීධරන් යනු යාපනයේ කොටි හමුදා නායකයා වූ තීපන්ගේ සමීපතම ඥතියායි. ශ්‍රීධරන්ගේ සොහොයුරු ශ්‍රී කුගන් යුරෝපා කොටි වෙබ් අඩවිය මෙහෙයවයි. කිලිනොච්චි විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කළ ශ්‍රීධරන් කළ මේ ප්‍රකාශය ගැන තමා දන්නේ නැතැයි ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්දන් පවසයි.

බිහිසුණු පුද්ගලයකු වූ තීපන් 56 වැනි සේනාංකය සමග කළ සටනේදී මරුමුවට පත්විය. ඔහුගේ සිරුර හඳුනා ගත්තේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වායි. මේ අතර ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක්‌ ආරම්භ කිරීමේ සැලසුමට විදේශ රටවලට වී ඩොලර් මත ක්‍රියාත්මක වන සිංහලයන් ලෙස පෙනී සිටින එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් ද උත්සාහ කරති. අයර්ලන්තයේ ත්‍රිත්ව පල්ලිය පසුබිමේ ක්‍රියාත්මක වන ජූඩ් ලාල් ප්‍රනාන්දු එවැන්නෙකි. මෙයට මාස කීපයකට පෙර විවිධ රටවලින් අහුලාගත් පිරිස්‌ ඩබ්ලින් නුවරට ගෙන්වූ මොහු මහජන විනිශ්චය සභාවක්‌ නමින් සම්මන්ත්‍රණයක්‌ පවත්වා ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධවලට වැරදිකරු යෑයි තීන්දු කළේය. පසුගිය දිනෙක ඔහු කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයට ගොස්‌ ස්‌වයංපාලනය සඳහා ද්‍රවිඩ අරගලය මැයෙන් දේශනයක්‌ කළේය. “2006 දී යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය තහනම් කළා. මේ නිසා කොටින්ට එරෙහි යුද ක්‍රියාදාමයන් මෙහෙයවීමට හැකි වුණා. කොටි තහනම යුරෝපා පාර්ලිමේන්තුව තුළ සිදුවූයේ නැහැ. එය සිදුවූයේ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය මැදිහත්වීම මත බ්‍රසල්ස්‌ නුවර කෝපි අවන්හල්වලදීයි”යෑයි ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පැවැතියේ ත්‍රස්‌තවාදී අර්බුදයක්‌ නොවෙයි. ද්‍රවිඩ ජනතාවගේ අරගලයයි. ජිනීවාහිදී සම්මත වූ යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහි වූවක්‌ නොව ද්‍රවිඩ ඩයස්‌පෝරාව වෙත එල්ලවූ බලපෑමක්‌ යෑයි ද හෙතෙම තවදුරටත් පළ කළේය.

එසේම ද්‍රවිඩ ඩයස්‌පෝරාව දෙපයින් නැගිට ස්‌වයංපාලනය සඳහා ක්‍රියා කළ යුතු බවද මේ කොටි හිතවාදියා විසින් පවසා තිබේ.

මේ අතර ඉන්දීය විරුද්ධ පක්‍ෂ නායිකා සුෂ්මා යුවරාජ් ද රජය වෙතින් ඉල්ලීමක්‌ කරමින් ද්‍රවිඩයන්ට 13 වැනි සංශෝධනය දිය යුතු යෑයි සඳහන් කරනු ලැබීය.

මෙලෙස මෙරටට අහිතකර 13 වැනි සංශෝධනය උතුරු නැගෙනහිරට ලබාදීමට ඉන්දීය දේශපාලකයන් යළිත් වරක්‌ රජයට බලපෑම් කරන අවස්‌ථාවේ රජයේ දේශපාලකයකු ද උතුරට දේශපාලන බලය දුන්නා නම් සියලු ප්‍රශ්න විසඳෙන බවට පවසා තිබේ.

මේ දේශපාලකයා කොටි පරාජය කළ හැකි යෑයි කිසිවිටෙක පැවසුවේ නැත. මේ අතර විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි අවධානයට ලක්‌වූ සිද්ධියක්‌ වාර්තා විය.

ඒ මෙරට මාධ්‍ය පාර්ශ්වයක්‌ විසින් 2009 දී කොටි පරාජය කර ලැබූ යුද ජයග්‍රහණය සැමරීම නතර කළ යුතු බවත් යුද විරුවන් සැමරීම සඳහා ස්‌මාරක ඉදිකිරීම ගැන දෙවැනි වරටත් අවධානය යොමු කළ යුතු බව පැවසීමයි.

මේ ප්‍රකාශයට විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි කෝපය එල්ල විය. බටහිර රටවල් විසින් හිට්‌ලර්ව පරාජය කිරීමේ සංවත්සරය පවත්වනවා. නාසි ජර්මනියට එරෙහිව ලත් ජයග්‍රහණය සැමරීමට රුසියාව සූදානම් වෙනවා. එහෙත් මිනීමරු කොටින්ට එරෙහිව දියත්වූ වන්නි මෙහෙයුම ජය ලැබීමේ ක්‍රියාදාමය සැමරීම නතර කළ යුතු යෑයි මෙරට පාර්ශ්වයක්‌ පවසනවා යෑයි ඔවුහු කියා සිටියහ.

මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් කොටි ත්‍රස්‌තයන්ව සැමරීම සඳහා ප්‍රභාකරන් විසින් උතුරේ ස්‌මාරක ඉදිකර තිබියදී ත්‍රස්‌තවාදය විනාශ කිරීමට තම වර්තමානය හා අනාගතය පුද කළ රණවිරුවන් වෙනුවෙන් ස්‌මාරක ඉදිකිරීම නතර කරන ලෙස ඉල්ලීමයි.

මින් සනාථ වන්නේ “සාම වෙළෙඳුන්ගේ” අබිරහස්‌ ක්‍රියාදාමයයි. මේ පසුබිම මැද උතුරේ කොටි හිතවාදීන් විසින් යොදවනු ලැබූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් යෑයි හඳුන්වා ගන්නා පිරිසක්‌ මුලතිව්හි ඒකරාශී වී ඉන්දීය දූත කණ්‌ඩායම එනතුරු බලා සිටියත් ඔවුන්ගේ උත්සාහය ව්‍යාර්ථ විය.

මෙම වාතාවරණය මැද වඩමාරච්චිහි කරුදුවෙලි විදුහලේ සිසුවකු වන සිවලිංගම් සිවකුමාරන්ව ඝාතනය කර ඇති බවට පුවතක්‌ කොටි වෙබ් අඩවි විසින් ප්‍රචාරය කරනු ලැබීය.

මෙම සිසුවාව ශ්‍රී ලංකා හමුදා භටයන් විසින් පැහැරගෙන ගොස්‌ ඝාතනය කර ඇතැයි ප්‍රදේශවාසීන් සැකකරන බවද එම වාර්තාවල තවදුරටත් සඳහන් විය.

මින් උතුරේ කොටි හිතවාදීන් පෙන්නුම් කිරීමට උත්සාහ කළේ ඉන්දීය දූත කණ්‌ඩායම උතුරේ සැරිසරන අවස්‌ථාවේ පවා ශ්‍රී ලංකා හමුදාව සිසුන්ව පැහැරගෙන ගොස්‌ මරන බවයි.

එහෙත් කැනඩාවේ ඊළාම්වාදියකු විසින් වවුනියාවේදී ද්‍රවිඩ දැරියකට අතවර කිරීමේ සිද්ධිය මුළුමනින්ම වසන් කිරීමට කොටි වෙබ් අඩවි විසින් ක්‍රියාකර තිබිණි.

යාපනයට ගිය ඉන්දීය දූත කණ්‌ඩායම උතුරේ සංවර්ධන කටයුතු ගැන මවිතයට පත්විය. මේ බව ඉන්දීය විරුද්ධ පක්‍ෂ නායිකා සුෂ්මා යුවරාජ් විසින් හෙළි කළාය. රජය අති විශාල මුදල් සම්භාරයක්‌ වැය කර උතුර සංවර්ධනය කළත් කොටි හිතවාදීහු අවස්‌ථාව එනතුරු බලා සිටින බව පැහැදිලි වී ඇත.

යාපනයේ සිට ඊළාම් කවියකු යෑයි හඳුන්වන රුද්‍රමුර්ති ෙච්රන් දෙවැනි හිරු උදාව නමින් රචිත ග්‍රන්ථයෙන් මේ බව හෙළිවී තිබේ. “අපේ කතාව පැවසීමට කිසිවකු නැත. අපේ ශේ්‍රෂ්ඨ භූමිය අත්හැර තිබේ. එය තුවාල වී ඇත. අප පැමිණෙන තුරු කිසිම පක්‍ෂියෙක්‌ සැරිසරන්නේ නැත යෑයි ඔහු එම ග්‍රන්ථයේ දක්‌වා තිබේ.
ෙච්රන් දැන් කැනඩාවේ පදිංචිව සිටී. මොහු සිය ග්‍රන්ථයෙන් සෘජුව පවසන්නේ යළි එන බවයි. ඒ කොටින්ගේ ආගමනයයි. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලෙසත් පොලිස්‌ බලතල හා ඉඩම් බලතල ඉල්ලා සිටින්නේත් එකී ආගමනයට බව රජයේ බලධාරීහු තේරුම්ගත යුතුය.

මේ අතර ශ්‍රී ලංකාවේ සිදුවීම් ඇසින් දුටුවාක්‌ මෙන් විකාශනය කරන හිටපු ඇමරිකානු මැරින් බළකායේ සෙබළකු වන ටිම් කිං නමැත්තා කොටි අරමුදල් මත ක්‍රියාත්මක වන බව හෙළිවී ඇත.

ඔහු දැන් පවසන්නේ ශ්‍රී ලංකා හමුදාව විසින් උතුරේ ද්‍රවිඩයන්ව භීෂණයට ලක්‌ කරන බවයි.

මේ අතර පලස්‌තීන නායක අබ්බාස්‌ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඔහු මෙරටට පැමිණෙන අවස්‌ථාවේ ඊළාම් ආණ්‌ඩුව නමැති ව්‍යාජ සංවිධානයේ නායක විශ්වනාදන් රුද්‍රකුමාරන් නමැති යුද අපරාධකරුවා සංදේශයක්‌ යවමින් ශ්‍රී ලංකාව සිදු කළ යුද අපරාධ ගැන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්නැයි ඉල්ලා ඇත.

මේ අතර නෝවීජියානුවන් 76 ක්‌ ඝාතනය කිරීමත් ඔස්‌ලෝහි අග්‍රාමාත්‍ය කාර්යාලය වාහන බෝම්බයකින් පිපිරවීමත් සිදු කළ ඇන්ඩ්‍රස්‌ බ්‍රේවික්‌ නමැත්තා අධිකරණය හමුවේ පුරා පැයකට අධික කාලයක්‌ තිස්‌සේ පැවැත්වූ දේශනයෙන් නෝර්වේ රාජ්‍යය මෙරටට සිදු කිරීමට ගිය ක්‍රමවේදය සනාථ විය. ඒ මෙරට ද බහු වාර්ගිකයන් හා බහු සංස්‌කෘතියක්‌ දියත් කිරීමයි. වත්මන් රජය සටන් විරාම ගිවිසුම අහෝසි කර කොටින්ට එරෙහිව යුද මෙහෙයුම් දියත් නොකළේ නම් මේ නෝවීජියානු ක්‍රමවේදය සාර්ථකවීමට ඉඩ තිබිණි.

එකී ක්‍රමවේදය යටතේ උතුරු නැගෙනහිර පමණක්‌ නොව ශ්‍රී ලංකාවේ සෑම තැනම ක්‍රියාත්මකවීම සඳහා ප්‍රභාකරන්ට ඉඩ ලැබෙනු ඇත. මේ අතර රජයේ දූත කණ්‌ඩායමක්‌ සමග මැර කණ්‌ඩායමක්‌ කොළඹ සිට ජිනීSවා පැමිණි බවට කොටින්ගේ ඩොලර්වලට යටවූ බැංගලෝර් මහාචාර්ය පෝල් නිව්මන් ප්‍රකාශ කර ඇත. මේ මැර කණ්‌ඩායම මානව හිමිකම් ශාලාවට කඩා වැදී ද්‍රවිඩ නියෝජිතයන්ට මරණීය තර්ජන කළ බවට ඔහු තවදුරටත් පවසා තිබේ. කොටි ජාලය ජිනීවා වෙත ගෙන ආවේ මෙවන් පෝල් නිව්මන් වැනි බේගල් පතුරු වන්නන් බව මින් සනාථ වේ.

මෙම පසුබිම යටතේ ඉන්දීය විරුද්ධ පක්‍ෂ නායිකාව ඇතුළු දූත කණ්‌ඩායම යාපනයේදී එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් හා ද්‍රවිඩ සන්ධාන නියෝජිතයන්ව හමුවී සාකච්ඡා කළහ.

මෙහිදී ඇය වෙත කරුණු දැක්‌වූ එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර තවත් සංශෝධන අවශ්‍ය බව පවසා තිබේ. එසේම උතුරේ බෞද්ධ සිද්ධස්‌ථාන ඉදිවන බවට ද එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු පැමිණිලි කරනු ලැබීය.

කීර්ති වර්ණකුලසූරිය