Spread the News

උතුරේ ඡන්දයට පෙර 13 සංශෝධනය කිරීමට යයි
source:
කීර්ති වර්ණකුලසූරිය සහ රනිල් ධර්මසේන

ලබන සැප්තැම්බර් මස පැවැත්වීමට යෝජිත උතුරු පළාත් සභා මැතිවරණයට පෙර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයට අදාළ පොලිස්‌ සහ ඉඩම් බලතල පිළිබඳව වෙනස්‌කම් කිරීමට රජයේ දැඩි අවධානය යොමුවී ඇත.

මෙයට හේතු වී ඇත්තේ මෙම 13 වැනි සංශෝධනයට අයත් සුවිශේෂී බලතල භාවිත කර ද්‍රවිඩ සංධානය විසින් උතුරු පළාත් සභාව යටතේ උතුරේ සියලු බලය තමන් අතට ගැනීමට සැලසුම් කර ඇති බව හෙළිවීමයි.

උතුරේ බලය අල්ලා ගැනීමේ මේ වැඩපිළිවෙළ සඳහා සහය ලබාගැනීමට ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු බටහිර රටවල් හතරක්‌ සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත් රජය වෙත තවදුරටත් අනාවරණය වී ඇත.

මේ අතර මැතිවරණය පැවැත්වීමට පෙර 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ පවතින රටේ ඒකීයභාවයට හානිකර පොලිස්‌, ඉඩම් හා තවත් බලතල කිහිපයක්‌ම කප්පාදු කරන ලෙස ආණ්‌ඩුවට සම්බන්ධ දේශපාලන පක්‍ෂ කිහිපයක්‌ රජයට දැනුම් දී තිබේ.

ව්‍යවස්‌ථා සංශෝධනයකට නොගොස්‌ උතුරේ මැතිවරණය පැවැත්වුවහොත් රට යළිත් විශාල අර්බුදයකට යැමේ අවදානමක්‌ පවතින බව එම පක්‍ෂ පෙන්වා දී ඇත.

ආණ්‌ඩුවට සහාය දෙන දේශප්‍රේමී සංවිධානවල විරෝධය නොතකා ආණ්‌ඩුව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් මින් ඉදිරියට ආණ්‌ඩුවට එරෙහිව රට පුරා විරෝධතා ව්‍යාපාර දියත් කිරීමට කටයුතු කරන බව එම සංවිධාන ආණ්‌ඩුවට දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.