උපන් දා සිට නොදුටු පව් ඇත
ගිහින් බැලුවොත් කැලණියේ
ඇඬෙනවා මහත්වරුනි…
source:
“උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ..” අපේ පැරැන්නන් බුදු පහස ලද ඓතිහාසික කැලණි වෙහෙරේ තිබෙන අනුහස ඉමහත් බැතියෙන් යුතුව අතීතයේ සිට වචන කරන්නට වූයේ එලෙසිනි.
එකී කියමන වර්තමානයේද සමාජගතව තිබෙන්නෙකි. මේ නිසාම දුරාතීතයේ සිටම ඓතිහාසික කැලණි විහාරය හේතුකොට කැලණි ග්‍රාමයටද ලැබෙන්නට වූයේ සුවිශේෂී බවකි.
එහෙත් එසේ සුවිශේෂී බවකට පත්ව තිබූ කැලණි ග්‍රාමයේ වත්මන් හැරවුම් මානයේ අවසානය ලෙස අද පෙනෙමින් තිබෙන්නේ කුමක්‌ද? එය අවීචි මහා නරකාදියටත් එහා ගිය ඉමක් වෙත ගමන් කරමින් නොතිබෙන්නේද?
උතුම් කැලණි වෙහෙර අරබයා අපේ පැරැන්නන් කී ඉහත උදාන වාක්‍යය පසෙක තිබියදී අද කැලණි ග්‍රාමය සම්බන්ධයෙන් දේශපාලන හා පාතාල පාදඩකරණයේ වස් කවි කියෑවෙමින් තිබෙනු පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි.
“උපන් දා සිට නොදුටු පව් ඇත ගිහින් බැලුවොත් කැලණියේ.. ලෙසින් මේ වන විට ඒවා නිර්මාණය වී සහ ඉදිරියටත් නිර්මාණය වෙමින් නොතිබෙන්නේ යෑයි කිව හැකි ජගතෙක් කැලණියේ හෝ අන් මානයක සිටින්නේද?
ළඟකදී අංගොඩින් පැන ආ එකෙකු මිස මනා සිහි බුද්ධියකින් සිටින්නකු නම් කිසි විටෙකත් එසේ නොකියනු ඒකාන්තය.
ඒ යළි පුබුදන්නට ගොස් කුණු වී ඕජස් ගලන තත්ත්වයට පත් කෙරුණු වත්මන් කැලණියේ නියම ස්‌භාවය අද පෑලියගොඩින් හෝ වෙනත් අන්තයකින් කැලණියට ඇතුළු වන ඇස් නොපෙනෙන අන්ධයකුගේ නාසයට පවා දැනෙන තැනක තිබෙන නිසාය. මේ සිදු වූයේ කුමක්‌ද? කැලණියේ අතීතයේ සිදු වූයේ මොනවාද? අද සිදු වෙමින් තිබෙන්නේ මොනවාද?
කැලණියේ කතාව කැලණියෙන්ම පටන්ගෙන පිලපිටිය, පෙතියාගොඩ, මෑවැල්ල, පට්‌ටිය හන්දිය, අකුරුපිටිය, නාරම්මිනිය, හතර කණුව, පෑලියගොඩ, තොරණ හන්දිය, ටයර් හන්දිය, කිරිබත්ගොඩ, ගල්බොරැල්ල, ගෝනවල, පට්‌ටිවිල ආදී ලෙසින් එහෙන් මෙහෙන් ගත්තද කැලණියේ චණ්‌ඩින් ලෙසින් පෙනී සිටි පිරිසක් අතීතයේදී ද විසූහ.
එහෙත් මේ චණ්‌ඩි ඒ අතීතයේ කසිප්පු ටිකක්, ගංජා මිටියක් විකුණා පදම වැඩි වූ කල්හි මන්නයක්, පිහියක් හෝ කඩුවක් ගෙන ජෝගියක් නැටුවා මිස ලෝකය ඉදිරියේ කැලණිය මස්‌තබාල්දු කිරීමට නම් නොගියහ.
එකල කැලණියේ නම කියෑවෙන නරුම සිදුවීමක් වාර්තා වූයේ නම් එය ඉඳ හිට සිදු වූයේ පෙතියාගොඩ ඇති මෑවැල්ල නිවාස සංකීර්ණ පරිසරයෙන් පමණක්‌ම විය. එසේ වූයේද එහෙන් මෙහෙන් පහත් වී එහි අරක් ගත් පාදඩයන් කිහිප දෙනකු සහ දෙපත් නයා න්‍යායෙන් ජීවිතය ගෙවන්නට පුරුදුව උන්ට උඩ ගෙඩි දෙමින් සිටි නපුංසකයන් කිහිප දෙනකු නිසා බව කැලණියේ ජනතාව දැන සිටියහ.
මඟුලක් හෝ වෙනයම් උත්සවයක් වූ විට එම කාලයේ කැලණියේ මිනිසුන් අරක්‌කු බෝතලයක් ගන්නට දුර ගෙවා පෑලියගොඩටම පැමිණිය යුතු තත්ත්වයක්‌ද තිබිණි. එසේ වී තිබුණේ කැලණියේ එකම එක මත් පැන් හලක්‌වත් එකී අතීතයේ නොතිබූ බැවිනි.
කුඩු ජාවාරම්, ගණිකා මඩම් සහ කප්පම් ගැනීම් ආදිය එකල්හි කැලණියේ නොවීය. නමුත් එසේ තිබූ කැලණිය කනපිට හැරෙන්නට පටන් ගත්තේ 1977 බිහි වූ ධර්මිෂ්ට පාලනයත් සමගින් බව පැහැදිලිව සටහන් කළ යුතු වන්නකි.
රාජකීය සන්දේශ සමග සැළලිහිණියන් ඉගිලුණ කැලණියට උඩින් කණ කොක්‌කු පියාඹන්නට වූයේ එතැන් පටන්ය. ධර්මිෂ්ට පාලනයත් සමග මේ රටට ඇතුළු වූ මත් කුඩු වසංගතයද කැලණිය වෙලා ගත්තේ එකලය.
ඒ දිනවල කැලණියේ කුඩු අලෙවිය පෑලියගොඩ, මෑවැල්ල සහ පට්‌ටිය හන්දිය යන ප්‍රදේශවලට කේන්ද්‍රගත වී තිබිණ. නමුත් කුමක් සිදු වුවත් මේ කාලයේදීත් කැලණියේ සමස්‌ත ජනසමාජයට ව්‍යසනයක් වන තැන දක්‌වා ඉස්‌මතු වීමට නම් සාමාජ විරෝධීන් කිසිවකුටත් ඉඩක් ලැබී නොතිබුණ බවද කිව යුතුය.
ධර්මිෂ්ට රජයේ මන්ත්‍රි හා ඇමැතිවරයකුද වූ සිරිල් මැතිව් මහතා එකල කැලණියේ සිටියේය. පොලිසිය රාජකාරියද කළේය. පාදඩයෝ කුදලාගෙන ගියේය. එහෙත් බාජාර් භාෂාවෙන්ම කිවහොත් වලියක් දාගත්තෙකු හෝ වෙනයම් සුළු කරුණකට පොලිසියට කොටු වූවෙකු හැරෙන්නට පාදඩයන් වෙනුවෙන් ඔහු පොලිසියට නීතිය කියා දෙන්නට නොගිය බව කැලණියේ ජනතාව අදද සිහිපත් කරන්නේය.
ඉකුත් 88-90 භීෂණ සමයේ කැලණියේ සිටි පෙරකී ආකාරයේ පාදඩයන් රැසක්‌ම වැළලී ගිය වගද මෙහිදී කිව යුතු තවත් කරුණකි. ඒ හේතුවෙන් කුමකින් කුමක් වුවත් බොහෝ විට කැලණියේ වූයේ සාමකාමී වටපිටාවක්‌මය.
කැලණියේ අතීතය තිබුණේ එතැනය. එහෙත් අද කැලණියේ වර්තමානය සහ අනාගතය ඇත්තේ කොතැනකද? එය සොයා බලන්නට ඉකුත් දිනෙක මධ්‍යම රාත්‍රියට හෝරා දෙකතුනක් තිබියදී අපි කැලණියේ සංචාරයක නිරත වූවෙමු.
පසුගිය කාලයේ කැලණියේ භාරකරු වී සිටි ඇමති මර්වින් සිල්වා මහතාත් කැලණිය ප්‍රදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුනුත් අතර ඇති වූ කැලණි හුටපටය හේතුවෙන් සිදු වූ දැ බොහොමයක් තිබිණි.
මේ හමුවේ අද මර්වින් සිල්වා ඇමැතිවරයාට සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ ඇත්තන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය පිළිබඳ කමිටුවක පරීක්‍ෂණයක්‌ද කෙරෙමින් තිබේ.
එහෙත් තත්ත්වය එසේ තිබියදී අප කළ සංචාරයේදී මුලින්ම අපට හමුවූ කිරිබත්ගොඩ අලුත් පාර ප්‍රදේශයේ පුද්ගලයකු අදටත් කැලණියේ ඇති දේ පවසන්නට වූයේ මෙලෙසිනි.
“අනේ.. කාටද මහත්තයෝ ආණ්‌ඩුව මේ බයිස්‌කෝප් පෙන්නන්නේ.. කවුරු කැලණියෙන් චුත වුණයි කිව්වත් හිටපු පාදඩයෝ ටික ඒ විදිහටම මේ ගම කනවා..
මුන්ව පණ පිටින් අපායේ යන්න ඕනේ බුදුන් වැඩිය බිමක ඉඳගෙන කරන මේ දහජරා වැඩවලට.. එහෙම කියලා හිත හදා ගන්නවා ඇරෙන්න අපිට අද වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.. මහත්තයලා ටිකක් ඇවිදලා බලන්නකෝ.. එතකොට ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් සිද්ධ වෙන දේවල් ඔක්‌කොම..
මේච්චරයි මහත්තයෝ වෙලා තියෙන්නේ.. කැලණියේ දැන් අටුව නැහැ.. ඒත් පුටුව තවම තියෙනවා. කැලණිය පිළිබඳ දිගහැරෙන්නට වූ ඒ මිනිසාගේ කතාව තවත් බොහෝ දේ අපට හෙළි කිරීමෙන් පසු නිමා කෙරුණේ ඒ අයුරිනි.
අපි ගියෙමු.. ඔහු කී ලෙසම කැලණියේ පව් දකින්නට අපි ගියෙමු. මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණිය බුළුගහහන්දිය ප්‍රදේශයේ ගොඩ නැගූ විෂ්ණු දෙවියන් වැඩ සිටින දේවාලය පෙනෙන මානයේ ඇති රාත්‍රි සමාජ ශාලාව අදද යෙහෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ.
අපි මදකට ඊට ඇතුළු වීමු නෙක මත් පැනින් සේම ඕනෑම මොහොතක කාමතුරයන් වෙනුවෙන් මුදලට ගත පුදන්නට සැරසුණු සුරූපී වෙසඟනන් රැසකගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් එය පිරී ගොසිනි.
ඒ ගොඩනැගිල්ලේ පෝටිකෝව ඉදිරියේ නතර වූ සුඛෝපභෝගී රථ රැසක්‌ද වේ. කැලණිය වැනි පූජනීය ඉසව්වක මේ විසූක දස්‌සනවලට මුන්ට ඉඩ දුන්නේ කවුදැයි යන්න සොයා බැලීම වගකිවයුත්තන්ගේ යුතුකමකි.
ඒ ඉසව්ව පසු කර ඉදිරියට යද්දී තවත් එවැනිම වූ සමාජ ශාලාවක් අප නෙත ගැටිණි. පෙරදී දුටුවාක් මෙන් මතින් මත්වූ පාදඩ වවුලන් කජු පුහුලන් අනුභව කරනු දකින්නට අප්‍රසන්න වූයෙන් අප ඊට ඇතුළු නොවුනි.
එතැන් සිට අපේ ගමන් මානය වූයේ කිරිබත්ගොඩ අලුත් පාර ප්‍රදේශය විය. ලාබෙට කාමර ඇති පදම් ඇති අලුත් පාරේ තිබෙන ගණිකා මඩම් ප්‍රමාණය ගණනින් විස්‌සකට ආසන්නය. කාමතුරයකුට මේවා තුළ ඕනෑම මොහොතක විදේශීය ගණිකාවක් හෝ ඇසුරු කිරීමට අවස්‌ථාව සැලසී තිබීම විශේෂත්වයක්‌ද විය.
මෙකී ගුබ්බෑයම්හි කළමනාකරුගේ සිට සියලු සේවකයන් තමන් වෙත එන ගනුදෙනුකරුවන්ගේ අවැසි පිපාසාවන් සංසිඳවීමට සැදී පැහැදී සිටින අයුරු අප දුටුවේ එකී එක් ගුබ්බෑයමකට රිංගා ඩ්‍රෑම් සියයක් සමග ගත කළ උපාය මාර්ගික හෝරාවක පමණ කාලයේදී විය.
අප එහිදී කාලය ගත කරමින් හිමින් සීරුවේ උගුරෙන් පහලට දමා ගත් ඩ්‍රෑම් සියයට පින් සිදු වන්නට ඔවුන්ට අප පිළිබඳ කිසිදු සැකයක්‌ද නොවුණි. එහෙත් අලුත් පාරේ අතොරක් නැතිව තිබෙන මේ ගුබ්බෑයම්වල මත් පැන් අලෙවියට අවසර ලබා දී ඇත්තේ කවුරුන්ද යන්න මෙහිදී අපට මතුවූ ප්‍රබල ගැටලුවක් වී තිබිණි.
අප සිටි ගුබ්බෑයමට පැමිණි තරුණයන් සිව්දෙනකු කළමනාකරු සමග රහසේ යමක් දොඩවන්නට මේ අතරතුරය. ගත වූයේ තවත් මොහොතකි. තරුණයන් සිව්දෙනා පඩිපෙළක් නැග එහි වූ කාමරයකට වදිද්දී වෑන් රථයකින් රැගෙන ආ සුරූපී වෙසඟනන් දෙදෙනකු වේටරයකු විසින් ඒ වෙත කැඳවාගෙන යනු ලැබුවේද අපේ ඇස් පනාපිටමය.
“ඕවා විතරක් නෙමේ මහත්තයෝ.. උදේ වරුවට මේ තැන්වලට අනන්තවත් පොඩි කෙල්ලෝ කොල්ලෝ එනවා ජෝඩු දාලා.. ඒ එන හුඟක් ළමයි පාසල් යන වයසේ අය.. ඇවිත් කාමරයක් අරගෙන පැයක් දෙකක් ගත කරලා යනවා..
මුන්ට ඒකෙන් ලාබයි. කාමරයකට අටසියයක් දාහක් විතර ගන්නවා. එක කාමරක් දවසකට හත් අට දෙනකුටම විකුණනවා. ඒ කියන්නේ මල් වගේ ඉන්න අපේම දැරිවියෝ දරුවෝ ගණනාවක් එක දවසකට මේවා අස්‌සේ පරවෙලා යනවා..
ඒ විතරක් නෙමෙයි.. කෙල්ලෝ හත් අට දෙනා පටවගෙන මේ හෝටල්වලට එක එකා ගෙනත් බස්‌සන වෑන් දෙකතුනකුත් හැම වෙලේම මේ පැත්තේ කැරකෙනවා.. කෙල්ලව බස්‌සවලා ගිහින් පැය දෙකකින් විතර ඇවිත් ඒ වෑන් එකේම දාගෙන අරගෙන යනවා.. එහෙම ගිහින් ආයෙත් තැනකට බස්‌සනවා.. මේවයේ එන කෙල්ලෝ ඔය විදිහට දවසට දහ දෙනෙක් එක්‌ක විතර නිදිය ගන්නවා..
ඩ්‍රෑම් සියය අවසන් කර අප සිටි ගුබ්බෑයමෙන් එළියට බැස ඉදිරියට යද්දී අලුත් පාර ප්‍රදේශයේ පදිංචිව සිටින එක්‌තරා කාන්තාවක් මේ කාමර ලාබ නවාතැන් පොළවල් පිළිබඳ අපට කීවේ එලෙසිනි.
කිරිබත්ගොඩ අලුත් පාරේ ඇති මෙකී නවාතැන් පොළවල් කිහිපයකම හිමිකරුවා වන්නේ එක්‌තරා බූතයකු බවද ඇය කියා සිටියාය. ඉන් ඉදිරියට ගිය අපේ ගමන මදකට නතර වූයේ ඩිංගියාවත්ත ක්‍රීඩාංගණය හා ඒ අසළින් දිවෙන බණ්‌ඩාරනායක විදුහල් මාවත මානයේ විය. ඇස් වහක් කටවහක් නැත. අනේ අපේ කුඩුඩෝ කිසිදු බියක් සැකක් නැතිවම මේ ප්‍රදේශයේ මහ පාරේ සිටම “පැකට්” එක රස විඳිමින් ඇස් පනාපිටම වැනසී යන්නාහ.
ඒ ප්‍රදේශයේ ඇති ක්‍රීඩාංගණයක් මේ කුඩ්ඩන් අද කුඩු ගැසීම සඳහාම රාත්‍රි කාලයේ සිය ග්‍රහණයට ගෙන සිටින අයුරුද මේ ගමනේ දී අප පැහැදිලිවම දුටුවේය.
ඉන් පසු අපේ ගමන් මානය වූයේ කිරිබත්ගොඩ නගර ප්‍රදේශය විය. වෙලාව රාත්‍රි දොළහටද ආසන්නව ඇත. මේ රටේ නීතියට අනුව මත් පැන් බීමට අලෙවි කරන ස්‌ථානයක් විවෘත කර තැබිය හැක්‌කේ උපරිම රාත්‍රි 11.00 දක්‌වා පමණකි.
එහෙත් පෝය දාටත් දඩමස් සමග මත් පැන් ඇති ගාලහන්දියේ මත් පැන් හල තවමත් විවෘතව ඇත්තේය. කිරිබත්ගොඩ නගරයේ වූ තවත් අවර ගණයේ වීසුක දස්‌සන රැසක්‌ද ඒ රැයේ අපගේ නෙත් මානයේ එළිපිටම දිස් වන්නට වූයේ මෙලෙසිනි.
තරහා ආයිබෝවන්ඩෘ කිරිබත්ගොඩට පොලිසියක් ඇති බව රටම දන්නේය. එසේම පෑලිගොඩ මූලස්‌ථාන පොලිසියක් සේම කැලණියේද පොලිසියක් තිබෙන්නේය. එහෙත් අදටත් පාදඩකරණයේ ඇති කැලණියේ දේශපාලනය හමුවේ පොලිසිය අසරණ බව අප කියන්නේ සියල්ල දන්නා රට්‌ටුන්ගේ අවබෝධය පිණිසමය.
අපි ගියෙමු මේ ගමනේදී ඒ රැයේ අපි කැලණිය පුරා ඇවිද්දෙමු. කැලණි විහාරයේ ආසන්නයටද ගියෙමු. අනේ වාසනාවන් කැලණි වෙහෙර පෙනෙන මානයේ ඇති “රාලහාමිගේ” ඇඹේනියගේ පොට් එකද තවමත් යෙහෙන් තිබේ.
එපමණක්‌ද නොවෙති. බ්‍රවුන් ෂුගර් හෙරොයින් හෙවත් ඉස්‌තරම්ම කුඩු පැකට් එකේ සිට ඉන්දියාවෙන් ගෙනෙන කේරල ගංජා ටික, ඈෂ් කෑල්ල සහ කසිප්පු ෂොට් එක, ගංජා මිටිය වගේම. මේවායින් සන්තර්පනය වී ඇඟට දැනෙන කික් එක ඇර ගන්නට අවැසි වන සුරූපී ළඳුන්ගේ පහසද අද කැලණිය පුරා ඕනෑ තරම් වේ.
පෑලියගොඩින් පටන් ගත් විට ගාල හන්දියෙන්, වත්තලින් හෝ පටිටිවිලට මදක් ඔබ්බෙන් පිට වන තුරුම කැලණියේ පිබිදීම එසේමය.
කෙටියෙන්ම කිවහොත් බුදුහු පා තැබූ මේ ශූද්ධ භූමියේ අද විනාශයේ දොරටු සියල්ල විවර කරමින් ආශ්චර්යයට කැලණිය රැගෙන යන්නට වගකිවයුත්තෝ අපූරුවට ක්‍රියා කර ඇත්තාහ. කැලණිය බලන්නට දකින්නට කවුරුත් ආසාය. එහෙත් අද එහි ගොස් බැලූ කල මේ රටත් ජාතියත් ආගමත් පිළිබඳ උපන් ශෝකයෙන් සැබෑවටම ඇඬෙන්නේය.
කාට තිත්ත වුවද කැලණියේ ඇත්ත කතාව මේ වන විට දිගහැරෙමින් තිබෙන්නේ එලෙසිනි. “මහත්තයෝ කවුරු මොනවා කිව්වත් කැලණියේ තවමත් කප්පම් ජාවාරමත් හොඳට කෙරෙනවා.. ගෝලබාලයෝ තවමත් සෙල්ලම අගේට කරගෙන යනවා.. මේ කැලණි ගමනේදී අප කවුරුන්දැයි ඉව වැටී තවත් මිනිසකු රහසේම පැමිණ අපට සමීපව කී කතාවකි.
ඉකුත් කැලණි හුටපයේ හෙවත් ඇමැති මර්වින් සිල්වා මහතාගේ සහ ප්‍රාදේශීය සභා ගෝලබාලයන්ගේ විරසකයේ නිමිත්ත වී තිබුණේද මෙවන් කප්පම් කතාවකි. මේ විරසකයෙන් මාස තුනකට පමණ පසු ඉකුත් දිනෙක මර්වින් සිල්වා ඇමැතිවරයා කිරිබත්ගොඩට පැමිණියේය.
එහිදී ජනාධිපතිවරයාට හෝ කැලණියේ ජනතාවට මිස අන් කිසිවකුටත් තමන් කැලණියේ ඉවත් කරන්නට නොහැකි බව කියමින් ඇමැතිවරයා වේගවත් කතාවක්‌ද කළේය.
එහෙත් එසේ කී ඇමැතිවරයා යළි පිටව ගියේය. කැලණි හුටපටයෙන් පසු කැලණියේ සිටි ඇමැතිවරයාගේ ගෝලබායෝද කලෙක සිට නිහඬවම සිටිති. එසේ නම් අද කැලණියේදී අප දුටු ඩෙඟා නැටුම් නටන්නේ කවුරුන්ද?
අපි කැලණියේ ජනතාවට මෙසේ කියමු. ඇමැතිවරයාත් පිටවී ගෝලබාලයෝත් නිහඬ වූ කල්හි අඟහරු ලෝකයේ සිට පැමිණි පිටසක්‌වල ජීවීන් පිරිසක් කැලණිය ආක්‍රමණය කර ඇත්තේය. උන් අද කැලණිය වනසමින් සිටින්නේය.
එසේ කියා සිත් හදා ගන්නවා හැරෙන්නට අපට වෙන කරන්නට දෙයක්‌ද නැත්තේය. මන්ද මේ සියලු දෙනා අද විධායකයේ සිට සියලු තැන්හි වැජඹෙන්නේ අපේම මනාපය හේතුවෙන් නිසාවෙනි. එහෙත් අප සිතන පිටසක්‌වල ජීවීන් හෝ උන් ලෙස රඟන්නාවූ පිරිස් මෙන්ම අන් කවුරු කවුරුත් මෙහිදී හොඳින් වටහාගත යුත්තක්‌ද ඇත්තේය. ඒ වෙනත් කිසිවක් නොව මොන නැටුම් නැටුවත් කැලණි පිං බිමට අධිගෘහිතව වැඩ සිටිනා විභීෂණ දෙවියන්ගෙන් නම් එකී පාදඩයන්ට කිසි ගැලවීමක් නොවන බවය.
සමන් ගමගේ