උ/ නැ සැඟවී සිටින ත්‍රස්‌තවාදීන් සෙවීමට පුළුල් මෙහෙයුමක්‌

Spread the News

උ/ නැ සැඟවී සිටින ත්‍රස්‌තවාදීන් සෙවීමට පුළුල් මෙහෙයුමක්‌ source:

හේමන්ත රන්දුණු සහ සමන් මල්ලවආරච්චි

උතුරු නැගෙනහිර ප්‍රදේශවල නැවත කලබලකාරී තත්ත්වයක්‌ ඇති කිරීම සඳහා එම ප්‍රදේශවලට පැමිණ සැඟවී සිටින බව කියන ත්‍රස්‌තවාදී සැකකරුවන් සෙවීම සඳහා ආරක්‍ෂක අංශ මගින් පුළුල් මෙහෙයුමක්‌ ආරම්භ කර ඇත.

යුද හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව ත්‍රිකුණාමලය සහ අවට ප්‍රදේශවල පෙරේදා (02 වැනිදා) දවස පුරා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළ අතර එහිදී සැකකටයුතු දෙමළ ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

ත්‍රිකුණාමලය සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිව සිටින ඉන්දියාවෙන් පැමිණි දෙමළ ජාතිකයන්ගේ නිවාස රැසක්‌ පරීක්‍ෂාවට ලක්‌ කෙරිණි.

මේ අතර නැගෙනහිර පළාතේ සැඟවී සිටින බව කියන ත්‍රස්‌තවාදී සැකකරුවන් සෙවීම සඳහා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය, රහස්‌ පොලිසිය, රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය සහ බුද්ධි අංශ මගින්ද පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ඊ.පී.ඩී.පී. සාමාජිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටි ත්‍රස්‌තවාදීන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු නැගෙනහිර පළාතට පැමිණ සිටින බව කියන ත්‍රස්‌තවාදීන් පිළිබඳව තොරතුරු අනාවරණය විය.

එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්‌තවාදීන් තිදෙනා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස්‌ ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය වෙත භාරදී ඇත.