Spread the News

එකම විසඳුම 13 දීම!
ඉන්දීය පාර්ලිමේන්තු කණ්‌ඩායම රජයට යෝජනා කරයි

කීර්ති වර්ණකුලසූරිය, උපාලි ද සේරම් source:

උතුරු නැගෙනහිර පළාත්හි සිවිල් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පූර්ණ බලතල සහිතව 13 වැනි ව්‍යස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසට පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්‌ඩායම රජයට යෝජනා කර ඇත.

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායිකා සුෂ්මා ස්‌වරාඡ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් එරට පාර්ලිමේන්තු නියෝජිත කණ්‌ඩායම ඉකුත් 16 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඔවුන් උතුරේ ප්‍රදේශ කිහිපයකද සංචාරය කරමින් එම ප්‍රදේශවල ජන ජීවිතය පිළිබඳවද සොයා බැලූ අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද හමුවූහ. උතුරු නැගෙනහිර පළාත්හි සිවිල් ජන ජීවිතය යළි නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන යාන්ත්‍රණය කඩිනම් කිරීමට උනන්දු කරනු මිස ඒ සඳහා බලපෑම් කිරීමට ඉන්දියාව කටයුතු නොකරන බවද ඔවුන් ශ්‍රී ලංකා රජයට දැනුම්දී තිබේ.

මේ අතර උතුරේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ ඉන්දීය නියෝජිත පිරිස්‌ හමුවූ අවස්‌ථාවේදී දැනුම් දී ඇත්තේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර ඊට සංශෝධන කිහිපයක්‌ ඇතුළත් කළ යුතු බවය.

එනම් මූල්‍ය පරිපාලනය, විදේශ රටවල් සමග සෘජු සම්බන්ධතා පැවැත්වීම ආදිය සඳහා ද බලතල 13 වැනි සංශෝධනයට එක්‌විය යුතු බවය.

එසේම උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව සහ බෞද්ධ සිද්ධස්‌ථාන ඉදි කිරීම නතර කළ යුතු බවටද ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්‌ඩායම හමුවේ ඔවුන් ප්‍රකාශ කර තිබේ.

13 වැනි ව්‍යවස්‌ථා, සංශෝධනයට අනුව පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වූ අතර එම පළාත් සභාවලට පොලිස්‌ සහ ඉඩම් බලතලද අයත්ය. නමුත් දැනට මධ්‍යම රජය විසින් පළාත් සභා සඳහා එම බලතල ලබාදී නැත.