එල්ටීටීඊයේ ප්‍රබලයකු වන පාරදී හෙවත් නඩරාසා පැරිස් නුවර දී මරා දමලා

Spread the News

එල්ටීටීඊයේ ප්‍රබලයකු වන පාරදී හෙවත් නඩරාසා පැරිස් නුවර දී මරා දමලා

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් source:

ප්‍රංශයේ සිටින ප්‍රබල කොටි නායකයකු වන පාරදී නොහොත් නඩරාසා මහේන්ද්‍රන් (42) පෙරේදා (08) රාත්‍රී පැරිස් නුවරදී වෙඩි තබා ඝාතනය කැර තිබේ. නෙදියවන් කණ්ඩායම සහ රුද්‍රකුමාර් කණ්ඩායමේ ගැටුමක් මෙම ඝාතනයට හේතුව බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ‘දිනමිණට’ පැවසීය.

කොටි සංවිධානයේ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ප්‍රබලම කණ්ඩායම් දෙකක් වන නෙදියවන් සහ රුද්‍රකුමාර් කණ්ඩායම් අතර මේ දිනවල ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ. ඝාතනයට ලක් වූ පාරදී නෙදියවන් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු බව මෙරට බුද්ධි අංශ අනාවරණය කරයි.

ප්‍රංශයේ පිහිටි “දෙමළ සම්බන්ධීකාරක” නමැති සංවිධානය පාරදී මෙහෙයවා ඇති අතර කොටි ඩයස්පෝරාවේ ප්‍රධානතම මුදල් උපයන සංවිධානයක් ලෙස මෙය ශ්‍රී ලංකා ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කැර ගෙන තිබේ. මේ මස 28 වැනිදාට කොටි සැමරීමට නියමිත ‘වීර කොටි’ දිනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කොටි ජාලයේ ගැටුම් රැසක් ඇති වී ඇති බව අනාවරණය වී තිබේ.

කොටි ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර ජාලයේ මූල්‍ය සම්බන්ධව ක්‍රියාකරන කොටි නායකයින් අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිවී ඇත්තේ සොරකම් කිරීම් රැසක් සිදුවීමත් සමඟ බව පැවසේ.

ඝාතනයට ලක්වූ පාරදී නමැති කොටි නායකයා කලක් කොටි බුද්ධි අංශයේ ප්‍රබලම සාමාජිකයකු වූ අතර එහි ප්‍රධානියා වශයෙන් සිටි පොට්ටුඅම්මාන්ගේ ළඟම හිතවතකු බවද වාර්තා වේ. මොහු රටවල් රැසකට ගොස් කොටි ජාත්‍යන්තර ජාලය ශක්තිමත් කිරීමටත්, ව්‍යාප්ත කිරීමටත් කටයුතු කැර ඇති අයකු බවද අනාවරණය වෙයි.