Spread the News

“එල්ටීටීඊය පැහැරගත් අපේ දරුවන් ගැන මානව හිමිකම් කොමිසම නිහඬයි”
අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුව

තුෂාරී කළුබෝවිල source:

එල්ටීටීඊ පැහැරගෙන ගිය අපේ දරුවන් ගැන මානව හිමිකම් කොමිසම කතා කරන්නේ නැතැයි මියගිය හා අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුවේ සාමාජික වව්නියාවේ කන්දසාමි මහතා පැවැසීය.

හෙතෙම එසේ පැවසුවේ ඊයේ (13 වැනිදා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

තම පුතුන් දෙදෙනා පාසල නිමවී එද්දී එල්ටීටීඊ සාමාජිකයන් විසින් පැහැරගෙන ගිය බවත් අදට වසර 20 ක්‌ ඉක්‌මවා ඇති නමුත් තම දරුවන් පිළිබඳ කිසිදු තොරතුරක්‌ මෙතෙක්‌ ලැබී නැති බවත් ඒ මහතා කීවේය.

එසේම එල්ටීටීඊ ප්‍රහාර හේතුවෙන් වර්ෂ 2001 සිට 2007 කාලය ඇතුළත යුද හමුදා සෙබළුන් 21875 ක්‌ ඝාතනය කළ අතර එම ප්‍රහාර හේතුවෙන් සෙබළුන් 82337 ක්‌ තුවාල ලැබූ බව මියගිය හා අතුරුදන් වූවන්ගේ දෙමාපිය එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පෙරේරා මහතා මෙහිදී පැවසුවේය.

එම කාලය ඇතුළත එල්ටීටීඊ ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 10978 ක්‌ බවත්, 2007 න් පසු මෙම සංඛ්‍යාව බොහෝ සේ වැඩිවූ බවත් හෙතෙම පැවැසීය.

එල්ටීටීඊ සංවිධානය විසින් වසර තිහක්‌ පුරා මේ රටේ සිංහල, දෙමළ, මුස්‌ලිම් භේදයකින් තොරව පැහැරගෙන ගිය හා මරා දැමූ දරුවන් ඇතුළු පුද්ගලයන් පිළිබඳව මානව හිමිකම් කොමිසම නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරමින් රජයට පමණක්‌ යුද අපරාධ චෝදනා එල්ල කිරීම තරයේ හෙළා දකින බවද ඒ මහතා කීවේය.