Spread the News

එ ජා සංවිධානයේ ක්‍රියා ගැන අදහස් දක්වන්න අපටත් පුළුවන්

තානාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

මහින්ද අලුත්ගෙදර source:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකාවටද අයිතියක් ඇතැයි එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක්හි ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත හා තානාපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් වශයෙන් එය ශ්‍රී ලංකාවටද අයිති සංවිධානයක් බව පෙන්වා දෙන ඒ මහතා ඒ නිසාම එහිදී ශ්‍රී ලංකාවටද අදහස් දැක්විය හැකිය. අපිට ක්‍රියාවට නංවන්න අවශ්‍ය කුමක්ද යන්න සම්බන්ධයෙන් ඔවුන්ට අදහස් දැක්විය හැකි බවද කියා සිටී.

ඒ මහතා මේ අදහස් පළ කළේ කුකුලේගඟ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා සාමසාධක හමුදා පුහුණු ආයතනයේ නිරීක්ෂණ සංචාරයක නිතර වෙමිනි. එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවූ තානාපතිවරයා පුහුණු ආයතනයේ කටයුතු සම්බන්ධයෙන්ද සොයා බැලීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යන්න පිටස්තර ආයතනයක් නොවන බවත් ඇතමුන් එය එසේ කර ගැනීමට උත්සාහ දරන බවත්ය.

ලෝකයේ අනෙකුත් සාම සාධක සෙබළුන් හා සලකා බලන කළ පසුගිය වසර හතහමාරක, අටක කාලසීමාවේ දී ශ්‍රී ලංකික සෙබළුන් ඉතා විශිෂ්ට ලෙස තම කාර්යයේ නිරත වී තිබෙන බවද ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය ජයග්‍රහණය කළේ විදේශීය අත්පොත්වලට අනුව නොව දේශීය ක්‍රමවේදයන් අනුගමනය කළ නිසා බවද සඳහන් කළේය.

අපේ රටේ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමට භාවිත කළේ අපේ විධික්‍රම සහ අපේ ශක්තිය බව පෙන්වාදුන් තානාපතිවරයා ඒවාගේම අපි විසින් සාදාගත් පුහුණු ක්‍රම, ශිල්පයන් ආදිය ඉදිරියට ගෙන ගියේ පොත්වලින් ලබා ගත් දේ මඟින් නොවන බවද අපටම ආවේණික යුද උපක්‍රමයන් භාවිත කරමින් යුද්ධය ජය ගත් බවද සිහිපත් කළේය.