6 අගෝස්තු, 2022
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමති නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
අපේ ගෙවල් ගිනි තියලා තිබුණේ සෙල්ලම් ගෙවල් පුච්චනවා වගේ
යහපත් පාලකයන් පිළිබඳ ජනතා අපේක්ෂාවන් සඵල වීමට නම් රටේ පුරවැසියන් ද යහපත් විය යුතු බවට කතාවක් ඇත. මේ කතාවට පූර්විකාව ලෙස ඒ අදහස ඔබ හමුවේ තැබීමට අදහස් කළේ ඉකුත් මැයි මස 9 වැනිදා රට පුරා සිදුවූ අවාසනාවන්ත සිද්ධි මාලාව පසුබිම් කරගෙනය. මැතිඇමතිවරු ඇතුළු දේශපාලඥයන්ගේ නිවෙස් ඇතුළු පෞද්ගලික දේපළවලට ගිනි තබමින් රට පුරා සිදුවූ එකී අවාසනාවන්ත සිදුවීම් දාමය බහුතර ජනතාව පිළිකුලෙන් හෙළා දුටුවහ.
එහෙත් එකී සිදුවීම් පෙළ රටේ කීර්ති නාමයට දැවැන්ත කළු පැල්ලමක් එකතු කළාට සැකයක් නැත. ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කරන ලද දේශපාලඥයන්ගේ නිවෙස් අතර, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වාට අයත් පෞද්ගලික නිවෙස සහ කාර්යාලය පමණක් නොව ඔහුගේ පරපුරේ උරුමය වන ‘මහගෙදර’ද වේ.
“ඒ කරපු විනාශය මටත් පවුලේ අයටත් හිතට ලොකු වේදනාවක්. සෙල්ලම් ගෙවල් පුච්චනවා වගේ ඒ සියල්ල ගිනි තියලා විනාශ කරලා තිබුණේ. ඒ දේවල් කවුරු කළත් එයින් සිදුවෙන්නේ මේ රට ආපස්සට ගෙන යෑමක්. රටේ ජනතාව අපහසුතා රාශියක් මැදයි ජීවත් වෙන්නේ. ජනතා නියෝජිතයන් විදිහට ඒ ගැන අපි කනගාටු වෙනවා. පාර්ලිමේන්තු මැතිඇමතිවරුන්ට ජනතා දුක ගැන කිසිම හැඟීමක් නැහැ; ඔවුන් සියලුදෙනා අන්ත දූෂිතයෝ කියලා මතයක් ඇතැම් පිරිස් විසින් සමාජගත කර තිබෙනවා. ඒත් ඒ මතය වැරදියි. ගෙවල් ගිනි තියලා කරපු විනාශය වෙනුවෙන් අපට වන්දියක් ගෙව්වත් ඒ වෙනුවෙනුත් වැය වෙන්නේ මේ රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් වැය කරන්න තිබෙන මුදල්. ඒ නිසා මෙවැනි ක්‍රියාවලින් ජනතාව, රට තවත් පහළට ඇද වැටෙනවා. දැන් අපේ දේපළ විනාශ වෙලා ඉවරයි. ඒත් මින් ඉදිරියටවත් මෙවැනි විනාශකාරී ක්‍රියා සිදුවීම වළක්වා ගත යුතුයි.”
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ද සිල්වා කතාබහට එක්වූයේ එසේ කියමිනි. සහෝදර සහෝදරියන් සිවුදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා ලෙස ගාල්ල මහමෝදරදී උපන් මොහාන් ද සිල්වාගේ පියා ඒ. කරුණාසේන රජයේ සේවකයෙකි. මව කේ. ඩී. ආරියවතී ය. ඉතා සරල ජීවිතයක් ගෙවමින් ‘ඒ. කේ. ඩී බේකරිය’ හෙවත් ‘බේකරියේ ගෙදර’ජීවත් වූ මොහාන්, ප්‍රාථමික අධ්‍යාපන ලබන්නේ රත්ගම සිරිසුමන විද්‍යාලයෙනි. පසුව ගාල්ල ඇලෝසියස් විද්‍යාලයට ඇතුළත් වන ඔහු කුඩා වියේ සිටම අධ්‍යාපනයෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවෙකි. උසස්පෙළ සමත්ව 1990දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වන ඔහු 1993දී නීති විභාගය සමත්ව නීතිඥයකු ලෙස දිවුරුම් දෙමින් නීතිඥ වෘත්තිය ආරම්භ කරන්නේ ගාල්ල අධිකරණයෙනි. නීතිඥවරියක වන අශිකා මුණසිංහ 2001දී මොහාන්ගේ ජීවන සහකාරිය බවට පත්වන අතර, ඔවුන් දෙපළ දියණියකගේ සහ පුතනුවකුගේ මවුපියන්ය.
“මගේ පවුලේ කවුරුත් දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. නීති විද්‍යාලයේදී ඒ සමිති සමාගම්වල ක්‍රියාකාරී සාමාජිකයකු විදිහට කටයුතු කළත් ඒ තුළ පක්ෂ දේශපාලනයක් තිබුණේ නැහැ. පක්ෂ භේදයකින් තොරව ස්වාධීන කණ්ඩායමක් විදිහට කටයුතු කළා මිසක් ඒ කාලේ නම් දේශපාලනයට එකතු වෙනවා කියලා මගේ හිතේ අදහසක් තිබුණෙත් නැහැ.”
එසේ කීවද දෛවය විසින් ඔහු දේශපාලනයට අවතීර්ණ කළා විය හැකිය. එවකට ගාලු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ දැවැන්ත දේශපාලන චරිතයක් වූ රිචඩ් පතිරණගේ ඇසුර මොහාන් ද සිල්වාගේ දේශපාලන ගමනට පහන් ටැඹක් විය. ඒ අනුව රිචඩ් පතිරණගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආශිර්වාදයෙන් 1996දී ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කරන්නේ රත්ගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුරයට පත්වෙමිනි. 1997දී තමා තරග කළ පළමු මැතිවරණයේදීම වැඩිම මනාපයෙන් ප්‍රාදේශීය සභාවට තේරී පත්වන්නට ද ඔහු වාසනාවන්ත විය. පක්ෂයේ ජ්‍යේෂ්ඨයන්ගේ ආශිර්වාදයත් ජනතා ප්‍රසාදයත් නොමඳව ලබමින් එතැන් සිට පියවරයෙන් පියවර දේශපාලන ගමන ස්ථාවර කරගත් මොහාන් ද සිල්වා වෙනුවෙන් පළමු වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුනක් වෙන්වන්නේ 2010 වසරේදීය. 2019 වසරේ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වන තෙක්ම කීර්තිමත් නීතිඥයකු වශයෙන් මොහාන් ද සිල්වා ගාල්ල උසාවියේ සේවය කළ බව ගාලු ජනතාව හොඳින් දන්නා කරුණකි.
2020 මහමැතිවරණයෙන් මනාප 111,626ක් ලබාගනිමින් තුන්වැනි වරටත් පාර්ලිමේන්තුවට පිවිසි ඔහුට රාජ්‍ය ඇමති ධුරයේ සිට කැබිනට් ඇමති ධුරය දක්වා පැමිණීමට ද භාග්‍යයක් තිබිණ. ඉකුත් මැයි 9 වැනිදා රට පුරා ප්‍රචණ්ඩකාරී සිදුවීම් දාමය සිදුවන විට මොහාන් ද සිල්වා ජලසම්පාදන කැබිනට් අමාත්‍ය ධුරයේ කටයුතු කටයුතු කරමින් සිටියේය.
“මැයි 9 වැනිදා අපි අරලියගහ මන්දිරයට ගියේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ගෞරවනීය ලෙස සමුදීමටයි. එදා හවස කැබිනට් ඇමතිවරුන්ගේ රැස්වීමක් තිබෙන බවට දැනුම්දීමක් ලැබුණු නිසා මමත් ඊට සහභාගි වීමට ගියා. ඒ රැස්වීමේ ඉන්න අතරෙදි තමයි ගාල්ලේ මගේ හිතවතුන් කතාකරලා කිව්වේ ගෙවල් ගිනි තියනවා කියලා. ඇමති ධුරයේ කටයුතුවලට පහසුවක් සලසා ගන්න අවශ්‍ය නිසා මම කොළඹ තාවකාලිකව පදිංචි වෙලා හිටියේ. නමුත් මගේ හැමදේම තිබුණේ ගමේ. ජීවිතේ හැම මතක සටහනක්ම තිබුණේ එහේ. ගිනි තැබීමෙන් ඒ සියලු දේම විනාශ වුණා. ”
ගින්නෙන් විනාශයට පත්වූ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික නිවෙස සහ කාර්යාලය |
ඒ ඔහුගේ වදන්ය. ඒ ගිනි තැබීමෙන් විනාශ වූ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික නිවෙස ඉදිකර තිබුණේ පර්චස් 10ක පමණ ඉඩම් කැබැල්ලකය. ඒ නිවසේ ඉහළ මහලේ තිබුණේ දැනුම් ගබඩාවක් කිවහොත් නිවැරදිය. එය මොහාන් ද සිල්වා පරිහරණය කළ පොත්පත් විශාල සංඛ්‍යාවකින් සමන්විත පුස්තකාලයකි. එපමණක් නොව රත්ගම පිහිටි ඔහුගේ කාර්යාලයත්, ඊට යාබදව පැවති ඔහුගේ මහගෙදරත් ගින්නෙන් මුළුමනින්ම විනාශයට පත්විය.
“ඒ මහගෙදර මගේ අම්මයි තාත්තයි හදපු ගෙදර. මගේ මල්ලියි එයාගේ පවුලේ අයයි ජීවත් වුණේ ඒ ගෙදර. ඒ ගෙදරත් සම්පූර්ණයෙන් විනාශයි. මල්ලිගේ දරුවන්ගේ පොත්පත් සියල්ලම විනාශයි. මගේ ගෙදර තට්ටු තුනේ ගෙදරක්. ඒක මුළුමනින් විනාශයි. ගෘහ භාණ්ඩ ඇතුළු හැමදේම විනාශයි. ඒ සියල්ලම නැතිවුණත් කමක් නැහැ කියලා හිත හදාගන්න පුළුවන්. ඒත් ඒ ගෙදර තිබුණු ආයේ කවමදාවත් සල්ලිවලටවත් ගන්න බැරි මතක සටහන් කොච්චර තිබුණද? දරුවන්ගේ උප්පැන්න සහතික, අපේ විවාහ සහතිකය, දරුවන්ගේ පුංචි කාලේ පින්තූර, අපේ උපාධි සහතික මේ කිසිම දෙයක් අද අපිට නැහැ. විනාශ වුණු දේපළවල දළ තක්සේරුව මිලියන 100කට, කෝටි 10කට ආසන්නයි. ඊට වඩා අලාභය මේ විනාශයෙන් අපේ පවුලේ අයගේ, දරුවන්ගේ හිත්වලට ඇතිවුණු කම්පනය, වේදනාව වැඩියි. මේ හැමදේම මහන්සිවෙලා ඉපයූ දේවල් බව ගාලු දිස්ත්‍රික් ජනතාව දන්නවා. මේ සිදුකරපු විනාශකාරී කටයුත්තට ඒ ජනතාව සම්බන්ධ නැහැ. මෙය වෙනත් පිරිසක් විසින් සංවිධානාත්මකව සිදුකළ අපරාධයක්”
ඔහු පැවසුවේ තමා කෙරෙහි විශ්වාසය තබා මහජන සේවය වෙනුවෙන් තමා තෝරාපත් කළ ජනතාව පිළිබඳ කඩ නොවූ විශ්වාසයෙනි. පෞද්ගලික දේපළවලට සිදු කළ විනාශය සම්බන්ධයෙන් සිදුවන නීතිමය කටයුතු පිළිබඳ ද අප ඔහුගෙන් විමසුවෙමු.
“ ඒ සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවක් පැවසුවා. නමුත් මම ඒ ගැන සොයන්නවත් උනන්දු වුණේ නැහැ.
මේ සම්බන්ධයෙන් මම පොලිසියට දොස් කියන්නෙත් නැහැ. ඔය සිදුවීම සිදුවන අවස්ථාව වන විට රටේ නීතියේ විශාල බිඳවැටීමක් තිබුණා. පොලිස් නිලධාරින්ට පවා ඒ අවස්ථාව පාලනය කළ නොහැකි තත්ත්වයක් තිබුණේ. මේ සිදුවීම්වලට ගම් මට්ටමින් ජනතාව සම්බන්ධ වුණා කියලා මම හිතන්නෙ නැහැ. මේක රට පුරාම බොහොම සංවිධානාත්මක ලෙස සිදු කළ දේශපාලන පසුබිමක් සහිත සිදුවීම් මාලාවක්. අරගලයේ නිරත ජනතාව මීට සම්බන්ධ වුණා කියලත් මම හිතන්නෙ නැහැ. එතැන තිබුණේ සාමාකාමී අරගලයක්. කිසියම් පිරිසක් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් පිරිසක් මෙහෙයවූ කණ්ඩායමක් තමයි මෙය සිදු කළේ”
ජීවිත කාලය පුරා උපාය ගත් සියල්ල අහිමි වුවද ඔහුගේ හදවත ආත්ම විශ්වාසයෙන් සවිමත්ය.
“ජීවිතයේ පළමු වතාවටයි මම මෙහෙම දේකට මුහුණ දුන්නේ. මම පත්වුණේ ජනතා ඡන්දයෙන්. මම ජීවත් වුණේ නීතිඥ වෘත්තියෙන් ඉපයූ දෙයින්. දේශපාලනයෙන් මම අයුතු විදිහට මුදල් උපයලා නැහැ. මගේ බිරියත් තවම රැකියාවක නියුතු වෙනවා.
මම හැමදාමත් හිටියේ ජනතාව සමඟයි. මම ගතකළේ සාමාන්‍ය ජීවිතයක්. ඒක මට ඡන්දය දුන් ජනතාව හොඳින්ම දන්නවා. සාමාන්‍ය පවුලකින් දේශපාලනයට ආව මම දේශපාලන ජීවිතය ගොඩනඟා ගත්තේ විශාල කැපවීමකින් කටයුතු කරලයි. අද මමත් බිරියත් දරුවනුත් ඉන්නේ ආණ්ඩුවේ නිල නිවාසයක. විනාශ වුණු ගේ ආයෙමත් තිබුණු තත්ත්වයට හදාගන්න පුළුවන් වෙයි කියලා හිතන්න බැහැ.
හදාගත්තත් ඒ ගේ ඇතුළේ තිබුණු අපේ සිහිවටන, අපේ දරුවන්ගේ සහතික, ඔවුන් ලැබූ ජයග්‍රහණවල සැමරුම් මේ කිසිම දෙයක් නැවත අපිට ලැබෙන්නෙ නැහැ. මේ විනාශය ගැන මුලින්ම මම දැඩි කම්පාවටත් කලකිරීමටත් පත්වුණා. නමුත් මම එදාම හිත හදාගත්තා. මම හැම දෙනාගෙන්ම ඉල්ලන්නේ එකම දෙයයි. නැවතත් මෙවැනි විනාශකාරී සිදුවීම් සිදුවෙන්න ඉඩ දෙන්න එපා.
ඔබ කිසිම කෙනෙක් එවැනි විනාශකාරී දේවල්වලට හවුල්කාරයෝ වෙන්න එපා. යහපත් පාලකයෝ බලාපොරොත්තු වෙනවා නම් පුරවැසියනුත් යහපත් විය යුතුයි කියලා කතාවක් තියෙනවා.ඒ නිසා පුරවැසියෝ විදිහට ඔබත් ඔබේ වගකීම ඉටු කරන්න. මේ රට යහපත් රටක් කිරීමේ වගකීම හැම පුරවැසියකුටම තියෙනවා. ”
අවිහිංසාවාදයේ පියා, මහත්මා ගාන්ධි වරක් පවසා ඇත්තේ “ඇසට ඇසක්, මුළු ලෝකයම අන්ධ කරයි” කියාය. ඒ ප්‍රකාශය කෙතරම් සත්‍යයක් දැයි මැයි 9 වැනිදා මෙරට සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් මනාව පසක් වේ. ගිනි ගන්නා රටක ඒ ගින්න තවත් දලු දමන්නට උදවු කරනවා වෙනුවට ඒ ගින්න මැඬ පවත්වන්නට දායක වීම සියලු පුරවැසියන්ගේ යුතුකම සහ වගකීම බව ලියා තැබිය යුතුමය.