Wed. Jan 8th, 2025
Spread the News

මා ඔහු සොයාගෙන ගියේය……

ඒ අන් කිසිවක් නිසා නොව එදා මට , මගේ ජාතියට , මගේ උරුමයට නායකත්වය දුන් මාගේ නරපතියාණන් දැකබලා ගනුමටයි.

 උන්වහන්සේ ඉදිකළ රුවන්වැලි සෑ රදුන්ට දෑත් බැඳ නමස්කාර කල මා ඒ දෙස ටික වෙලාවක් බලා හුන්නේය.

මීට වසර 2300කට පමණ පෙර මේ බිමෙහි මෙම සෑය දැයට පුද ලද දිනහිත් මා මේ ආකාරයටම මෙතන ඒ දෙස දෑස් දල්වා බලා සිටි අයුරු මගේ සිහියට නැඟෙන්නට විය. කඳුළු වැගිරෙන්නට විය. එදා එහි වූ ආශ්චර්යයන් දැකලාය. අද ඔබ නොමැති බව සිහිවීය. එදා මේ පින් බිම රැකවල් කල කෙනෙක් වූ මා ඊට වසර 2300ක් ගිය තැනද මෙහිම පැමිණ ඒ ඉදිකිරිමම සියැසින් දැකගැනීමට වාසනාවක් උදාවීම කෙතරම් නම් ආශ්චර්යයක්ද ?  එපමණක්ද ? නැත ! ඒ අතරතුර වකවානුවෙහිද මා විටින් විට මා මෙහි පැමිණ ඇත. හිමින් සීරුවේ කඳුළු පිසලු මා මාගේ නායකයා බැලීමේ දෘඩතර අවශ්‍යතාව හිත තුල කකියමින් වූ බැවින් වහ වහා එය සාක්ශාත් කරගනු වස් ඒ දෙසට ඇදුනේය. රැස් කකා වඳිනා මිනිසුන් අතරින් නායකත්වය සොයා පීරා ගිය මට අවසානයේ ඔහු මට මුණ ගැසිනි.

මාගේ දෙඅත් මටම නොදැනී එකට එකතුවිය.

මම ඔහුට වැඳ නමස්කාර කළේය.

“දේවයිනි” ! එදා මා ඔහුට ආමන්ත්‍රණය කල වදනින්ම මම ඔහුට අද ආමන්ත්‍රණය කළේය.

එදා ඔබ ඇසුරේ හුන් ඔබේ රැකවලෙකු වූ ….. , අද , වසර 2300කට පසු නැවතත් ඔබේ රුව දැකීමට ඔබ හමුවට පැමිණ සිටී දේවයිනි…..!

ඔබ ස්වර්ගගාමිව සිටිනා බැවින් මා දෙස දිවැස් හෙලනු මැන හිමියනි…

මම ඔබගේ ………වෙමි. ඔබ කල සටනේ ……එක් සෙබල කෙනෙක් වෙමි.

මා මුමුනුවේය. මා එක් වරම මා ඔහුට වඳින්නාවූ මාගේ දෑත් දෙස බැලුවෙමි.

පුදුම වූ අඩුපාඩුවක් මාගේ වැඳීමේ ගැබ් වී ඇත.

ඇයි ?

හිමියනි ! ඔබ වහන්සේ මේ අති ශ්‍රේෂ්ට වූ නිධානයට වැඳගෙන සිටිනා ඔබගේ සුරත හා මා සුරත අතර අති විශාල වූ වෙනසක් මට දැනේ…..

ඔබවහන්සේගේ සුරත එදා ජාතිය රැකවල් කළා වූ  රාජකීය අසිපත ස්පර්ශ වුවකි. ඔබවහන්සේ ඔබවහන්සේ ගේ සුරත එදා අහසට පෑ වේලේ ඊට අභියෝග කල හැකි තවත් සුරතක් මා නුදුටුවෙමි.  ඔබවහන්සේ දැරූ අසිපත සමග ඔබ වහන්සේ පෑ අභිමන , පෑ එඩිය , කල වික්‍රමය අද මට මාගේ වචනයෙන් කීමට නොහැකි වුවකි.

ඔබවහන්සේ ගේ සුරත දැය එක්සේසත් කළේය. භුමිය ශුද්ධ කොට එය ඔබ වහන්සේගේ දෙපතුල් එහි ස්පර්ශ කිරීමට සුදුසු වූ භූමියක් බවට පත් කෙරිණි. භුමියේ ලැගුම්ගෙන , භූමියට ඇලවී තිබු කටු කොහොල්  , දෙපයම භුමියේ තැබීමට සරිලන සේ ඔබ වහන්සේ විසින් ගලවා ඉවත්කරන ලදී.  

ඔබවහන්සේ, ඔබවහන්සේ ගේ වෙහෙරට වන්ඳනා කරන්නේ සුද්ද පවිත්‍ර කරනු ලැබූ මාගේ භුමිය සහ යලි ස්ථාපිත කල මාගේ උරුමයෙන් පසුව බව මා දනී. මා අද ඔබවහන්සේ ගේ වෙහෙරට වන්දනා කරන්නේ ඔබ වහන්සේ විසින් එදා පරම පවිත්‍රකරණයට ලක් කල අද අපවිත්‍රයන්ගෙන් මලකඩ කා කිලිටි වී ඇති භූමියක පය තබා ගෙන වීම සිත කකියවන , රතු ලේ උණු කරන , මුළු සර්වාංගයම කුපිත කරන්නක් වුවකි. අති ශ්‍රේෂ්ට වූ ඔබ වහන්සේ කෙලින් කලා වූ මාගේ උරුමය කුණු කොල්ලයට විකිනෙන වූ බිමක සිට මා අද ඔබ වහන්සේව නමදිමි.

පරයිගේ සුරතලුන් වී ඇති මෙහි උරුමක්කරුවන් පරයින් ගසන බෙරපදේට නර්තනය කරන්නෝ වෙති. ඒ දෙස බලා පරයින් රහසින් සිනාගන්වති. උසුළු විසුළු කරති.

දේවයන් වහන්ස ! මා රාජ කුලේ නොවෙමි. ඒ නිසා මම ඔබ වහන්සේ ගේ රාජකියයත්වය , රාජකීය අසිපත හෝ රාජකීය මිරිවැඩි සඟල කිසිදා නොපතමි.

නමුත් වහන්ස !

මම එක දෙයක් ඔබ වහන්සේගෙන් අයදිමි……

ඔබ වහන්සේ ගේ එඩිය මා හට දෙව.

ඔබ වහන්සේගේ අභිමන මා හට දෙව.

ඔබ වහන්සේ සතු වික්‍රමය මා හට සුළු කලකට හෝ තෑගී කරව.

එදාට ඔබ වහන්සේ වෙනුවෙන් මේ පින් බිමෙහි වූ උල් , කටු කොහොල්, මලකඩ මා ගලවා ඉවත්කර දමන්නෙමි. මා මේ පින් බිම නැවතද සෝදා පවිත්‍ර කරන්නෙමි. ඒ අන් කවරක් නිසාවත් නොව මට ඔබවහන්සේට අද කල හැකි පරමෝත්තම උපහාරය එයම වන බැවිනි.

ස්තුතියි !   

(විශේෂ ලියුම්කරුවකු විසිනි.)      

Protected by Security by CleanTalk