Spread the News

ඔව්. මං සී අයි ඩී එකට ගියා
සමහරු බොදු බලයට ගහනවා
කුඩු බලයට යටවෙනවා!
බොදුබල සේනා සංවිධානයේ මහලේකම්
ගලගොඩඅත්තේ ඥනසාර හිමි

අලුත්ගම බේරුවල ගැටුමත් සමගම වඩාත් විවාද සම්පන්න චරිතය බවට පත්වූයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ය. පසුගිය සතියේ උන්වහන්සේගේ “ඇමරිකානු වීසා” පවා අත්හිටුවීමට එරට රජය ක්‍රියා කළේය. මේ උන්වහන්සේ “ඉරිදා දිවයින” සමග පළකල අදහස්‌ය.

බොහෝ පාර්ශ්ව අළුත්ගම ගැටුම ගැන චෝදනා එල්ල කළේ බොදු බල සේනා සංවිධානයට එම නිසාද ඔබ වහන්සේ ඉකුත් බදාදා දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූවේ?

විශේෂයෙන්ම සී. අයි. ඩී. එක අළුත්ගම බේරුවල සිද්ධිය ගැන ඒ ප්‍රදේශවල සංවිධාන වලින් මෙන්ම ස්‌වාමීන් වහන්සේලා ගෙනුත් ප්‍රශ්න කළාය. ඒ අනුව තමයි අපටත් කැඳවීමක්‌ ලැබුණේ.

ඇතැම් මාධ්‍ය මා විසින් අළුත්ගමදී කරපු කථාව නිරන්තරයෙන් උලුප්පා දැම්මේ මේ සිද්ධියට ආසන්නම හේතුව ඒ කතාව කියලයි. නමුත් ඇත්ත ඒක නොවෙයි. අපි ක්‍රියාත්මක කරන්නේ පක්‍ෂ දේශපාලනය නොවෙයි. මුස්‌ලිම් මිනිස්‌සුන්ට ප්‍රහාර එල්ල කරන්න බොදුබල සේනාවට මොලේ අමාරුවක්‌ නැහැ. මීට වසර කිහිපයකට පෙර මාවනැල්ලේ මෙවැනි ගැටුමක්‌ ඇතිවුණා. එදා ගිනිගත්ත තනිතට්‌ටුවේ කඩ අද තට්‌ටු දෙක තුනවෙලා. එයින්ම අපට හිතෙනවා මේ පිටිපස්‌සේ සංවිධානාත්මක පිරිසක්‌ ඉන්නවද කියලා. බේරුවල මුදලාලි කෙනෙක්‌ කඩේ තමන්ම ගිනි තියාගෙන පොලිසියට පැමිණිලි කළා. අළුත්ගම රැස්‌වීම ඉවරවෙලා සාමකාමීව යන බෞද්ධයන්ට මුලින්ම පහරදුන්නේ මුස්‌ලිම් පල්ලියේ සිටි අයයි.

ඔබවහන්සේ ”අබසරණයි” කිව්වේ මොකද?

ඇත්තෙන්ම මුස්‌ලිම් ව්‍යාපාර රුපියල් ලක්‍ෂයක්‌ උපයනවා නම් එයින් 76% ක්‌ම උපයා ගන්නේ සිංහල ප්‍රජාවගෙන් බව දැනගත යුතුයි. සිංහල මිනිස්‌සු බඩු ගත්තොත් තමයි ඒ ව්‍යාපාර රැකෙන්නේ. මුස්‌ලිම් සමාජය දැනගත යුතුයි අන්තවාදී අංකුර මතුවීම නැවැත්වීමට. සිංහල මිනිස්‌සුන්ට භික්‍ෂූන්ට අත තියන්න එපා කියලා මම කිව්වා. එහෙම කළොත් අපි ක්‍රම දෙකක්‌ අනුගමනය කරනවා කියලා කිව්වා. ඒවා තමයි මුස්‌ලිම් මිනිස්‌සුන්ට ඉඩම් විකුණන්න එපා. ඒ කඩවලට යන එක නවත්වන්න කියල. සිංහල ජනතාව බේරුවල අළුත්ගම මුස්‌ලිම් කඩ වර්ජනය කළොත් ඒවා වැහෙනවා. ඒකයි අබසරණයි කීවේ. එදා අළුත්ගම සිංහල ජනතාව ආවේගයෙන් හිටියේ. ආවේගය පාලනය කරන්න තමයි එවැනි කතාවක්‌ කළේ. ඒ කථාවේදී මිනිස්‌සු හිනැස්‌සුවා. කෑගැස්‌සුවා. අත්පුඩි ගැස්‌සෙව්වා. ආවේගය ආවේගයෙන් පාලනය කළා. නමුත් මේ ගැටුමට ඒ කථාව බලපෑවේ නැහැ.

විපක්‌ෂයේ දේශපාලකයො නිරන්තරව ප්‍රකාශ කරනවා බොදුබල සේනාව පිටුපස ආරක්‍ෂක ලේකම්තුමා ඉන්නවා කියලා. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්‌ද?

මේ ආණ්‌ඩුව පෙරළාගන්න බැරි විපක්‍ෂය මෙන්ම විපක්‍ෂ නායකතුමත් එක එක කතා කියනවා. ඔවුන්ට දේශපාලනය කරන්න පොදු හතුරෙක්‌ අවශ්‍යයි. ඒ සඳහා බොදුබල සේනාව භාවිතා කරනවා. ගෝඨාභය මහත්තයාට බොදුබල සේනාව මෙහෙයවන්න අවශ්‍ය නැහැ. ඔහුට අවශ්‍ය දේ කරන්න ත්‍රිවිධ හමුදාව ඉන්නවා. අපි හමුවෙලා තියෙන්නේ එකම වතාවයි. ජමියිතුල් උලමා සංවිධානයත් එක්‌කත්, ආරක්‍ෂක ලේකම්තුමා සාකච්ඡා පවත්වා තියෙනවා. එතකොට උලමාවරු පිටුපස ඉන්නෙත් ගෝඨාභය මහත්තයද? තව්ෆිඩ් ජමාත් සංවිධානයත් ආරක්‍ෂක අමාත්‍යාංශයට කැඳෙව්වා. එතකොට ඒක පිටිපස්‌සෙත් ඉන්නෙ ආරක්‍ෂක ලේකම්තුමාද? එතුමාත් අපත් අතර කිසිම සම්බන්ධයක්‌ නැහැ.

ඔබවහන්සේට ලබාදුන් ඇමරිකන් වීසා අවලංගු කිරීම පසුගිය දිනවල සමාජයේ ප්‍රමුඛ පුවත වුණා නේද?

මානව හිමිකම් සංවිධාන ඇතැම් බෞද්ධ විරෝධී අන්තවාදී කල්ලි උත්සාහ කරන්නේ බොදුබල සේනාව යක්‌ෂයකු ලෙස ජාත්‍යන්තරයට පෙන් වන්න. මේ ජාතිකවාදී බෞද්ධ බලවේගය අඩපණ කරන්නයි මේ අය උත්සාහ කරන්නේ.

ඇමැති හකීම්, අසාත් සාලි මේ ප්‍රශ්න ජාත්‍යන්තරීකරණය කරන්න යනවා. සමහරු අපි ත්‍රස්‌තවාදීන් ලෙස නම් කරලා. අපි කටයුතු කරන්නේ අවිහිංසාවාදීවයි. මූලධර්මවාදී කල්ලි බෞද්ධයන්ව සංස්‌කෘතික වශයෙන් ඝාතනය කරන්න හදනකොට අපි ඊට එරෙහි වුණා. එතකොට අපිව ත්‍රස්‌තවාදීන් කරනවා. දෙමළ ගම් මුස්‌ලිම් කරණය කරන විට අපි ඒවා හෙළිකළා. මේ හෙළිදරව් කිරීම් සමහරුන්ට දරාගන්න බැහැ. එවිට ඇමරිකාවට ව්‍යාජ තොරතුරු දෙනවා.

ඇතැම් ඉංගී්‍රසි මාධ්‍යවල පළවුණු පුවත්වලින් බොදු බලයේ සිවුරුවල ලේ ගෑවී ඇතැයි ප්‍රකාශ කළා නේද?

අපි ගැන ප්‍රහාර එල්ල කරන මාධ්‍ය කෝටි පනහක්‌ වටිනා කල් ඉකුත් වූ බෙහෙත් තියාගත් සමාගමේ නම හෙළි කළාද? මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍ය වලිනුත් බෞද්ධයාට ප්‍රහාර එල්ල වුණා. මේවා පිටුපස ඉන්නේ අන්‍යාගමිකයන්. බොදු බලයට ගහන අය ලංකාවට කුඩුගේන මුස්‌ලිම් අයගේ නම් හෙළි කරනවාද?

නෝර්වේවලින් සල්ලි ලැබෙන බොදු බල සේනාවයි අරාබියෙන් සල්ලි ලැබෙන මුස්‌ලිම් අන්තවාදී සංවිධානයි අළුත්ගම ගැටුම ඇති කළ බව රජයේ ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කළා. බොදුබලේට පිටරට සල්ලි ලැබෙනවාද?

ඇතැම් ඇමැතිවරුන්ට වගේ අපිට දිව දෙකක්‌ නැහැ. කොහෙමත් බෞද්ධ ත්‍රස්‌තවාදයක්‌ නෑ. මේ රටේ තලේබාන් නිකායක්‌ නෑ. මේ රටේ තියෙන්නේ පන්සල හා බැඳුණු සමාජයක්‌. ප්‍රශ්නයක්‌ ඇතිවුණාම පන්සලේ ඝණ්‌ඨාරය ගහලයි මිනිස්‌සු කැඳෙව්වේ. අපි බැලිය යුත්තේ ඝණ්‌ඨාරයේ දිග පළල නොවෙයි. හෙŒ අරුත මොකක්‌ද කියලයි. ඇත්තටම අපි නෝර්වේවලින් රුපියලක්‌ හෝ අරන් තියෙනවා නම් ඔප්පු කරන්න කියලා අපි අභියෝග කරනවා.

ඔබවහන්සේ පසුගියදා බුරුමයට ගිහිල්ලා විරාතු හිමියන් හමුවීම ගැනත් බොහෝ දෙනා කථා කළා නේද?

විරාතු හිමියන් ත්‍රස්‌තවාදියෙක්‌ නොවෙයි. උන්වහන්සේ ගෙන යන්නේ අවිහිංසාවාදී වැඩපිළිවෙළක්‌. විරාතු හිමියන් වගේම දළයි ලාමා හමුවෙන්නත් අපට පුළුවන්. මෙරට මුස්‌ලිම් කවුන්සිලයේ අය ෂුරා කවුන්සිලයේ අය කටාර්හි අන්තවාදී නායකයකු වන යුසුෆ් අල් කර්දාරි හමුවෙන කොට ඒ ගැන කථා කළේ කවුද? මේ පුද්ගලයා ඊශ්‍රායලයේ ගැබිනි මවුවරු පවා කපා මරා දැමිය යුතු යෑයි කියපු පුද්ගලයෙක්‌. විරාතු හිමියන්ගේ ව්‍යාපාරය අවිහිංසාවාදී ව්‍යාපාරයක්‌. බොදුබල සේනාවත් එහෙමයි.

සාකච්ඡා කළේ
චතුර පමුණුව