කල්ලතෝනින්ගේ තිප්පල වූ
කච්චතිව්වල අලුත් කතාව
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට තෑගි ඔප්පුවකින් ලබාදුන් කච්චතිව් දූපත යළි ඉල්ලමින් දකුණු ඉන්දියාවේ දේශපාලන බලධාරීන් හා ස්‌වෙච්ඡා සංවිධාන ගණනාවක් අරගලයක් පටන් ගෙන තිබේ. භාරතීය ජනතා පක්‍ෂය (ඊJඡ) ඇතුළුව තවත් දේශපාලන පක්‍ෂ කීපයක් විසින් ගෙන යන මේ අරගලයේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ජයලලිතා, වයිකෝ හා නැඩුමාරන් ඇතුළු පිරිසකි.
1974 ජුලි මස 23 වැනිදා සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම මත කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමිවිණි. ඉන්දීය මුහුදු සීමාවත් ශ්‍රී ලංකාවේ යාපනය මුහුදු සීමාවත් අතරමැද පිහිටි කච්චතිව් දූපත ප්‍රමාණයෙන් අක්‌කර 285 ක් පමණ වන දූපතකි. 1605 දී ඉන්දියාවේ රාමනාදන්පුර පාලනය කළ සේතුපති අධිරාජයා විසින් මුලින්ම කච්චතිව් දූපත සොයාගැනීමෙන් පසුව එය ඉන්දීය පාලනය යටතේ පැවතුණි.
කල්යත්ම මේ කච්චතිව් දූපත ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් මහත් හිසරදයක් විණි. ඉන්දියාවට වැළඳෙන සියලු හිසේ කැක්‌කුම් හා උමතු රෝග ඉතා පහසුවෙන් සීරුමාරු කරන්නේ ශ්‍රී ලංකාවටය. ඉන්දියාවෙන් භාරදෙන ඕනෑම හිසරදයක් දොහොත් මුදුනින් පිළිගැනීමට කැමැත්තක් දැක්‌වූ නිසා කච්චතිව් දූපතද ගිවිසුම් අත්සන් කොට භාරගැනීමට එදා පාලකයෝ කැමැති වූහ.
කච්චතිව් දූපත කරා පැමිණෙන්නේ ඉන්දීය ධීවරයෝය. ඊට අමතරව ධීවර කර්මාන්තයට අධිගෘහිත දෙවියන් වහන්සේ කෙනෙකු වූ ශාන්ත අන්තෝනි මුනිඳුන් නමස්‌කාර කිරීමට එන බැතිමතුන්ය. කච්චතිව් දූපතේ පිහිටි කුඩා ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්‌ථානය හැරෙන්නට වෙනත් ගොඩනැඟිල්ලක් ඇත්නම් ඒ එම දූපත ශ්‍රී ලංකාවට ලැබුණු පසු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිකරන ලද ගොඩනැඟිලි පමණි.
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට හිමි වීමට පෙර ඉන්දියාවේ සිට එම දූපතට පැමිණි ධීවරයෝ මසුන් මැරීමේ කටයුතුවල නිරත වී කරවල වියළීම සඳහාත් විවේක ගැනීම සඳහාත් මේ දූපත භාවිත කළහ. කල්යත්ම ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සිදුවන නීති විරෝධී ජාවාරම් සියල්ලම සිදුවූයේ මේ දූපත හරහාය. ගංජා, අබින් ඇතුළු සියලු මත්ද්‍රව්‍යද, සරොම්, සාරි සුවඳවිලවුන් වැනි දේද ඉන්දියානු චිත්‍රපටද මේ රටට හොර රහසින් ගොඩ බැස්‌සේ කච්චතිව් දූපත හරහාය. මේ නිසා ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් ලැබිය යුතු විශාල බදු මුදලක් දෙරටම අහිමි විණි.
කච්චතිව් දූපත නිසා මීළඟට සිදුවූ බරපතළම හානිය වූයේ ඉන්දියාවේ සිට හොර රහසේ අනවසරයෙන් මේ රටට එන කල්ලතෝනින්ගේ සංඛ්‍යාව ඉහළ යැමය. දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඔරුවල බෝට්‌ටුවල ආධාරයෙන් ශ්‍රී ලංකාවට හොර රහසේ පැමිණෙන පිරිස් “කල්ලතෝනි” වූයේ එලෙසිනි. මේ කල්ලතෝනි ප්‍රශ්නය එදා ශ්‍රී ලංකාවට මහත් පිළිලයක් විය. වීසා හෝ කිසිදු අවසර පත්‍රයකින් තොරව ඉන්දියාවේ සිට කල්ලතෝනින් මෙහි පැමිණ විවිධ වෘත්තීන්වල නිරත වූහ.
කච්චතිව් දූපතේ සිට පැමිණෙන කල්ලතෝනි පිරිසට අමතරව තලෙයිමන්නාරම හා මන්නාරම මුහුදු මාර්ග ඔස්‌සේද ශ්‍රී ලංකාවට ඔවුන් පැමිණියත් එම ප්‍රදේශවල ආගමන විගමන නිලධාරීන් විශාල පිරිසක් සේවයේ නිරතව සිටීම නිසා ඔවුනට නිදහසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි විය. ඉන්දීය හා ශ්‍රී ලාංකික උතුරු ධීවරයෝ එකම භාෂාව කතා කිරීම නිසා කච්චතිව් දූපතේදී මේ මිනිස් ජාවාරම ඉතා හොඳින් ඉතා සරුවට බොහෝ කාලයක්‌ම සිදුවිණි.
ඉන්දියාවට මඳක් ඈතින් ශ්‍රී ලංකාවේ යාපනය මුහුදට කි. මී. 45 ක් පමණ දුරින් කච්චතිව් දූපත පිහිටීම නිසා ඉන්දියාවට මේ දූපත පාලනය කිරීම ඉතා අසීරු විණි. මේ නිසාම දෙරට අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් එදා කච්චතිව් දූපත ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාවට පවරා දී ඉන්දියාව සියලු පව්වලින් නිදහස් විය.
කච්චතිව් දූපත 1974 දී ශ්‍රී ලංකාවට අයත් වීමත් සමඟම 1977 වර්ෂයේ සිට උතුරේ ඇතිවූ යුදමය වාතාවරණය නිසා ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් යන දෙකටම මේ කච්චතිව් දූපත පිළිබඳව කිසිදු පාලනයක් අවශ්‍ය නොවීය. නාවික හමුදාව පමණක් මුර සංචාරවල යෙදෙමින් එම දූපතේ සිදු වන අකටයුතුකම් පිළිබඳව සොයා බැලූහ.
ශ්‍රී ලංකාවට සාමය උදාවීමත් සමඟම ඉන්දියාවට බොහෝ සිත් රිදීම් සිදු වී තිබේ. ශ්‍රී ලංකාව තුළ අරගලය ඉන්දියාවට සෑම පැත්තකින්ම වාසියක් වීමද ඉන්දියාව උදව් උපකාර කළ එල්. ටී. ටී. ඊ. ය යුදමය තත්ත්වයකින් විනාශ වීමද ඉන්දියාව නොරුස්‌සන බැවින් බටහිර රටවල් මෙන්ම ඉන්දියාවද ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරන්නේ රජය දෙමළ ජාතිකයන් සමූල ඝාතනයට ලක් කළ බව කියමිනි.
මානව හිමිකම් කවුන්සලයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට හේතුව වූයේද මෙම තත්ත්වයමය. මේ ආදී වශයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇතිවී තිබෙන විරසකයෙන් ප්‍රයෝජන ලබන්නට උත්සාහ කරන්නේ දකුණු ඉන්දීය දේශපාලනයයි. බොර දියේ මාළු බෑමට උපන් හපන්කම් දක්‌වන දකුණු ඉන්දීය දේශපාලනඥයෝ ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝ අවස්‌ථාවල උඩගෙඩි දෙති. මේ තත්ත්වයට ප්‍රධාන වී ඇත්තේ ලෝකයේම සිටින දෙමළ වැසියන්ට ලෝකයේ කොතැනක හෝ දෙමළ රටක් බිහිකර ගැනීමේ අවශ්‍යතාවයි. මේ සඳහා හොඳම තෝතැන්න තමිල්නාඩුව බවට ලෝක දෙමළ ජනයා තුළ මතවාදයක් පවතී. එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඊළාම් රාජ්‍යයක් පිහිටුවුවේනම් එයද එකතුකොට තමිල්නාඩුව තනි දෙමළ රටක් නිර්මාණය කිරීම පිළිබඳවද බොහෝ සිහින මැවූහ.
මේ සිහින සියල්ලම බිඳවැටුණු පසුව විශේෂයෙන්ම දකුණු ඉන්දීය දේශපාලනඥයෝ ශ්‍රී ලංකා රජයේ කකුලෙන් ඇදීමට විවිධ අවස්‌ථාවල මාතෘකා සොයා ගනිති. කච්චතිව් දූපත පිsළිබඳව වත්මන් අවුලද ඒ සම්බන්ධයෙන් ගොඩනැඟුණු තත්ත්වයකි.
කච්චතිව් දූපත යළිත් ඉන්දියාවට පවරා ගතහොත් එහි පාලන බලය ලැබෙන්නේ දකුණු ඉන්දියාවටය. දකුණු ඉන්දීය. ධීවරයෝ නිතරම ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවට ට්‍රොaලර් යාත්‍රාවලින් පැමිණ උතුරේ ධීවරයෝ මාස තුනකදී රැස්‌කරන මාළු තොග එක් දිනයක් තුළ දී පැහැරගෙන යති. උතුරේ ධීවරයන්ට විවිධ බලපෑම් කරන්නේ ඉන්දීය ධීවරයෝ කොල්ලකනු ලබන මත්ස්‍ය සම්පත තව තවත් වැඩියෙන් කොල්ලකෑමට කච්චතිව් දූපත ඉවහල් වන බැවින් ඉන්දියාවේ ධීවර සංගම් සියල්ලද කච්චතිව් දූපත ආපසු ලබා ගැනීමේ කුමන්ත්‍රණයට දායක වී සිටිති.
දකුණු ඉන්දියාවේ දේශපාලනඥයන්ගේ ආශිර්වාදයෙන් වැජඹෙන ඉන්දීය ධීවර සමිති නායකයන් අතර දකුණු ඉන්දීය ප්‍රාදේශීය දේශපාලනඥයෝද වෙති. මේ පිරිස් එකතුවී යළිත් කච්චතිව් දූපත ඉන්දියාවට හිමිකර ගැනීමට දරන උත්සාහය තුළින් ඔවුනට යළිත් මිනිස් ජාවාරමේ මෙන්ම නීති විරෝධී ජාවාරම්වලද නියෑළීමට අවස්‌ථාව උදාවෙයි. මේ නිසා දැන් කච්චතිව් දූපතට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ටද සිය යාත්‍රාවල ඉන්දීය ධජය ඔසවාගෙන පැමිණෙන ලෙසට අණකොට තිබේ. නමුත් ඉන්දීය ධජය යටතේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඉඩ නොදීම නිසා ඔවුන්ගේ එම උත්සාහය සෑම වසරකදීම නිෂ්ඵල වෙයි.
කච්චතිව් දූපත ආපසු ඉල්ලා දකුණු ඉන්දීය දේශපාලනඥයන් විසින් ගෙන යන අරගලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කොට නොමැත. ශ්‍රී ලංකාවේ ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ෙජ්සුදාසන් මේ පිළිබඳව කියා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකාවට මෙතරම් කෙණෙහෙලිකම් දැක්‌වුවත් ශ්‍රී ලංකාවේ පාලකයන් නිහඬව සිටීම විශාල ප්‍රශ්නයක් බවයි.
දැන් බලන්න ඉන්දියාවේ ධීවරයෝ ට්‍රොaලර් 1000 ක් 2000 ක් අතර ප්‍රමාණයකින් ඇවිත් උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් මරනවා. ඉස්‌සර මේක සිද්ධ වුණේ මන්නාරම, යාපනය, මුලතිව් අවට මුහුදෙ විතරයි. නමුත් දැන් ඔවුන් පුත්තලම, කල්පිටිය, පුල්මුඩේ වැනි ප්‍රදේශවලටත් එනවා. මේක නවත්වන්න ආණ්‌ඩුව කිසිම වැඩපිළිවෙළක් සකස් කරන්නේ නෑ. කවුරු හරි කෑ ගහනකොට නාවික හමුදාවට කියලා ඉන්දීය ධීවරයෝ අත්අඩංගුවට ගන්නවා. ඒත් මාසයක් ඇතුළත ඒ අයව නිදහස් කරනවා. අපේ ශ්‍රී ලාංකික ධීවරයෝ සිය ගණනක් ඉන්දියාවේ හිරකූඩුවල අවුරුදු ගණන් ඉන්නවා. ලෝක සාගර නීතිය සෑම රටකටම පොදු වුණත් ශ්‍රී ලංකාව ඉන්දියාවට දක්‌වන මොකක් හරි බය පක්‍ෂපාතකමක් හින්දා ඉන්දීය ධීවරයන්ට දඬුවම් කරන්නෙ නෑ. මේක හරිම අසාධාරණයක්.
ඉන්දීය ධීවරයන් නිසා පීඩාවට පත්වී සිටින ශ්‍රී ලංකාවේ ධීවර සංගම් කච්චතිව් දූපත ආපසු ඉන්දියාව විසින් ලබා ගැනීමට උත්සාහ දැරීම තුළ විශාල අනාගත භීෂණයක් දකියි. එහෙත් රජය ඒ සම්බන්ධයෙන් මුනිවත රැකීම ශ්‍රී ලංකාවේ ධීවර සමිතිවලට පමණක් නොව සියලු දෙනාටම විශාල ප්‍රශ්නයකි.
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් ආපසු කඩා ගැනීමට උත්සාහ දරන දකුණු ඉන්දීය දේශපාලනඥයන් ඔවුන්ගේ ගමන එතැනින් නතර කරන්නේ නැත. බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වූ කි. පූ. 6 වැනි සියවසේ මැදභාගයේද ඉන්දියාවේ රාජ්‍ය පාලනය තුළ පැවතියේ මේ ආක්‍රමණකාරී ස්‌වරූපයයි. ඔවුන් මත්ස්‍ය න්‍යාය අනුගමනය කරමින් (විශාල රාජ්‍යයන් විසින් කුඩා රාජ්‍ය ගොදුරු කරගැනීම) තම රාජ්‍ය තාන්ත්‍රික වපසරිය වැඩි කර ගැනීමට එදා සිටම ක්‍රියා කළහ. අවන්ති, වත්ස, කෝසල හා මගධ යන මහාරාජ්‍යයෝ එදා ඉන්දියාවේ වූ කුරු, පංචාල, ෙච්ති, මල්ල වැනි කුඩා රාජ්‍යයන් ආක්‍රමණය කිරීමට යුද්ධ කළහ. යුද්ධ කොට දමනය කරගැනීමට නොහැකි වූ කුඩා රාජ්‍යයන් බිලී බා ගත්තේ හොඳ හිත පතුරුවමිනි. තමන්ගේ ළාබාල දියණිය මහලු රජවරුන්ට විවාහ කොට දී ව-ජි රාජ්‍යය වැනි කුඩා රාජ්‍යයන් තම අණසකට යටත් කරගැනීමට එදා ඉන්දියාව දැරූ දේශපාලන ක්‍රියාකාරකම අදටද අතහැර නොමැත. කච්චතිව් දූපත යළි අත්පත් කරගැනීමට ඉන්දියාව හෝ දකුණු ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සටන් නොකළද කුමන හෝ උප්පරවැට්‌ටියක් යොදා කච්චතිව් දූපත තමන්ගේ ග්‍රහණයට හසුකර ගැනීම නියත වශයෙන්ම සිදු කරන්නකි.
යමෙකුට දුන් දෙයක් ආපසු ඉල්ලීම රොඩී ගතියක් ලෙස දකින්නේ අපේ රටේ පොඩි ළමයින්ය. ළමා කාලයේදී ක්‍රීඩා කරන විට පවා ඔවුන් මේ කියමන නිතර නිතර කියයි. එහෙත් ඉන්දියාව තමන්ගේ වාසිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට රිදවීමට ඇති අවශ්‍යතාව නිසාත් රොඩී ගතියටත් වඩා වැඩි දේවල් නොකර සිටින්නේ නැත. එහෙත් අපේ රටේ පාලකයෝ නිහඬය. ඒ ඉන්දියාවට ඇති බිය නිසාද නැතහොත් වෙනත් දේශපාලනමය හේතුවක් නිසාද යන්න ප්‍රශ්නයකි.
දිනසේන රතුගමගේ