Spread the News
Minister K.D. Lal Kantha & Prime Minister Dr. Harini Amarasuriya

කවුද? වනචාරියා..

“විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න වනචාරියා” යයි ලාල් කාන්ත අමාත්‍යවරයා
කරන ලද ප්‍රකාශය පිළිබඳව..

ආරියතිලක
2026.01.13

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යවරයා විසින් කරන ලද “ විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න වනචාරියා” යන ප්‍රකාශය සම්බුද්ධ ශාසනයට කළ අපහාසයක් කර ඇති බව බොහෝ භික්ෂූන් වහන්සෙලාගේ හා ඇතැම් බෞද්ධ-අබෞද්ධ වූ ගිහියන් අතර මතයක් පවතී.

ඔහුගේ එම ප්‍රකාශය කිසිදු පුද්ගලයෙකුගේ නමක් හදුන්වන්නේ නැති බවත්, එවැනි ලෙස, මිහින්තලා නායක මාහිමියන් අරමුණු කිරීමක් අදහස් නො කරන බවට ද, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍යවරයා විසින් කැබිනට් තීරණ දැනුම් දීම පිළිබඳ මාධ්‍ය හමුවේදී කරුණු ප්‍රකාශ කරන ලදී. මිහින්තලය යනු දේශපාලනික වශයෙන් ආසනයක්, පැරණි මැතිවරණ කොට්ඨාශයක් යන ලෙස ලිස්සා යන උත්තයක් ද දෙන ලදී.

මිහින්තලය ලෙස කීව පමණින්, මිහින්තලය අවට ගම්වල ජනතාව හැර, ලංකාවාසී, ලෝකවාසී සියලු දෙනාට ම නිතැතින් ම අරමුණු වන්නේ අනුබුදු මහා මහින්ද මහ අරහතුන් වහන්සේ ලංකා භූමියට සම්ප්‍රාප්ත වූ, මිහින්තලා බෞද්ධ පුද බිම ය. මිහින්තලා රජ මහ විහාර භූමිය ය.

ඒ හැර වෙනත් අරමුණක්, පොදු භාවිතයේදී විශේෂණ කොට කීමෙන් පමණක් “ මිහින්තලා බෞද්ධ පුද බිමෙන්” වෙනස් වී, මිහින්තලය ගම හෝ මිහින්තලය ප්‍රදේශය හෝ මිහින්තලය මැතිවරණ ආසනයක් ලෙස හෝ ඒ කෙරෙහි සිත යෙදෙනවා ඇත. එසේ නොමැති සෑම විටක ම ඒ මිහින්තලය අවට ගම්වාසීන් හැර “ මිහින්තලය” කී පමණින්, අරමුණු වන්නේ මිහින්තලා බෞද්ධ පූජා භූමිය ය. මෙමගින් ඒත්තු යන්නේ මිහින්තලා රජමහ විහාර භූමිය ය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යවරයා විසින් කරන ලද “ විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න වනචාරියා” යන ප්‍රකාශය අනුව පෙර සිටිය කෙනෙකු පිළිබඳව නොව වර්තමානයේ සිටින කෙනෙකු ගැන පැහැදිලි ය. “ විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න” යන වචන හතර සැකයෙන් තොරව වර්තමානය තහවුරු කරයි. ස්ථාවර කරයි. අතීතය බැහැර කරයි. මළ අයෙකු නොව සුජීවත්ව සිටින අයකු තිරසර කරයි.

ඊලඟට අප පැහැදිලි කර ගත යුත්තේ මේ “වනචාරියා” කවුද යන්න ය.

වනයේ හැසිරීම වනචාරී ය. වනයේ හැසිරෙන්නා වනචාරියා ය. වනයේ හැසිරෙන්නේ තිරිසන් ගත සතා සිව්පාවන් ය. ඊට අමතරව අවශ්‍යතාවයන්ට මිනිස්සු ද වනයේ සැරි සරති. වනයේ සරන අමනුෂ්‍යයෝ ද සිටිති. කෙසේවත් වනයේ සැරිසැරූ පමණින් මිනිසුන්ට වනචාරීන් ලෙස හදුන්වන්නේ නැත. එවැනි ස්වභාවයක් වහරේ නැත. තිරිසනුන් වනයේ සැරිසැරුවත් තිරිසනුන්ට ද වනචාරීන් ලෙස කීමක් අප සමාජයේ නැත. “යාල කැලේ සිටින වනචාරීන්” “විල්පත්තු කැලේ වනචාරීන්” “හිමාලයේ වනචාරීන්” “ ඇමේසන් වනාතරයේ වනචාරීන්” යැයි කැලේ සිටින සතා සිව්පාවන්ට කියන සිරිතක් නැත්තේ ය. අප “වනචාරී” යන වචනය, භාෂාවේ යොදන්නේ මනුෂ්‍ය ධර්මයට නුසුදුසු, තිරිසන් සතුන්ට සාධාරණ, සතියෙන් ප්‍රඥාවෙන් තොරව, ක්‍රියා කරන යම් මනුෂ්‍යයෙකු, මනුෂ්‍ය ධර්ම ඉක්මවා කටයුතු කරන්නේ ද, එවැනි පුද්ගලයෙකුට “වනචාරියෙක” යි හදුන්වයි.

“මිහින්තලේ වනචාරියා” යන ප්‍රකාශයෙන් මිහින්තලා පුද බිමේ තිරිසන් සතුන් ගම්‍ය නො වන බව පැහැදිලි ය. මිහින්තලා පුද බිමේ සතා සිව්පාවුන් ද සිටී. එසේ වුවත් මෙතෙක් කාලයක් ඒ කිසිදු සතෙකුට “මිහින්තලේ වනචාරියා” යයි නම් ලද එකෙදු සතෙකු නැත්තේ ය. එසේ ම “මිහින්තලේ වනචාරියා” යයි නම් ලද මනුෂ්‍යයෙකු ද ප්‍රසිද්ධියට පත් වී නැත්තේ ය.

උදාහරණයක් ලෙස “බලංගොඩ මානවයා” යයි කී පමණින් බලංගොඩ, සමනල අඩවිය හා ඒ ආශ්‍රිත ඈත අතීතයේ ජීවත් සිටි මිනිසුන් අරමුණු වේ. ඒ පුරාවිද්‍යා කැණීම වලින් සොයා ගත් මනුෂ්‍ය අස්ථි හා පොසිල පාදකකොට ගෙන, ඒ මනුෂ්‍යයින්ට “බලංගොඩ මානවයා” යයි පුරා විද්‍යාඥයෝ නම් කළහ. එම වචනයෙන් දැනට බලංගොඩ අශ්‍රිතව ජීවත් වන ජනතාව අරමුණු නො කරයි.

ඒ ලෙස “ මිහින්තලේ වනචාරියා” ලෙස එදා මෙදා තුර කිසිදු අයෙකු හැදින්වීමට භාවිතා කොට නැත්තේ ය. කිසිදු සතෙකු හැදින්වීමට ද භාවිතා කොට නැත්තේ ය. මේ ලාල් කාන්ත අමාත්‍යවරයා කියන වනචාරියා ජීවත්ව සිටින කෙනෙකි. දැන් අප මේ වනචාරියා සොයා ගැනීමට මිහින්තලය පුද බිම හෙවත් මිහින්තලය රාජ මහා විහාර භූමිය පීරා බැලිය යුතු ය.

මිහින්තලා රාජ මහා විහාර භූමියේ සතා සිව්පාවුන් අත් හළ විට, ඉතිරි වන්නේ ඇසට පෙනෙන ලෝකයේ, මනුෂ්‍ය වු පැවිදි භික්ෂූන් වහන්සේලා හා විහාර භූමියේ සිටින ගිහි භවත්හු වෙති. එම පිරිස දෙයාකාර ය. ස්ථීර විහාර භූමියේ වැඩ වසන ආවාසික භික්ෂූන් වහන්සේලා සහ එම භික්ෂූන් වහන්සේලාගේ කැපකරු-උපස්ථායක ගිහි භවත්හු වෙත්.

අනෙක් පිරිස වන්නේ ආගන්තුව හෝ විහාරභූමිය වන්දනාමාන කිරීම පිණිස වඩින භික්ෂූන් වහන්සේලා හා ගිහි පිරිස වෙති. මේ දෙවැනි පිරිස, ලාල් කාන්ත අමාත්‍යවරයා කියන “ මිහින්තලේ වනචාරියා” යන යෙදුමට ගත නො හැක්කේ ය. හේතුව ඔහුගේ ප්‍රකාශයෙහි
“ මිහින්තලේ ඉන්න වනචාරියා” යන වදන්වල “මිහින්තලේ ඉන්න” යන වචන දෙකෙන් මිහින්තලේ සිටින බව ස්ථීර ලෙස තහවුරු කර ඇත.

මිහින්තලය රජ මහා විහාරය ගිහියන් සතු භූමියක් නො වේ. මිහින්තලා පුද බිම මහා සංඝයා සතු ය. සම්බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේලා සතු ය. මිහින්තලා පුද බිමෙහි යම් ගිහි භවතෙක් සිටින්නේ ද ඒ භික්ෂූන් වහන්සේලාගේ අවසරය මත ය. ඒ භික්ෂූන් වහන්සේලාගේ කැපකරු උපස්ථායකයන් ලෙස තාවකාලික ආරාමිකයය් ලෙස ය. ඒ හේතුවෙන් මිහින්තලා පුද බිමේ සිටින සියලු ගිහියන් බැහැර වී “ මිහින්තලේ ඉන්න” වචනයට මිහින්තලා රජ මහා විහාර භූමියේ සිටින භුක්ෂූන් වහන්සේලා පමණක් සංගෘහිත වේ. ඇතුලත් වේ.

“ විශේෂයෙන් අර මිහින්තලේ ඉන්න වනචාරියා” යන ප්‍රකාශය අනුව ඒ වනචාරියා තනි පුද්ගලයෙක් පමණක් බව පැහැදිලි ය.

මේ නය අනුව මිහින්තලේ රජ මහා විහාරයෙහි හෙවත් මිහින්තලා පුද බිමෙහි වැඩ වසන භික්ෂූන් වහන්සේලා අතරින්, කවුරු හෝ එක් භික්ෂූන් වහන්සේ නමක් අරමුණු කිරීම හෝ අරමුණු වීම නො වේ යැයි ලාල් කාන්ත අමාත්‍යවරයා හෝ කවරෙකු විසින් හෝ කියන්නේ ද ඒ කවුදැයි රටට සමාජයට පැහැදිලි කිරීම ඒ සැම දෙනාගේ වගකීම ය. යුතු කම ය.

  1. ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට්වාදී පක්ෂයකි. ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධන දේශපාලන දහරාව, ජනතා විමුක්ති පෙරමුණ ය. මේ පක්ෂ දෙකේම නායකයා වත්මන් ජනාධිපතිවරයා ය.
  2. කොමියුනිස්ට්වාදය කිසිදු ආගමක් නො පිළිගනී. එපමණක් නොව කොමියුනිස්වාදයෙන් පිට කිසිදු දර්ශනයක්, දේශපාලන, ආර්ථික, සමාජ ක්‍රමයක් නො පිළිගනී.
    කොමියුනිස්ට් පක්ෂ ප්‍රකාශනයේ කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් විසින් මෙසේ කියයි. එනම්:-

“විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද, නැතිනම් සොයා ගන්නා ලද සංකල්ප හෝ මූල ධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත”

ජනතා විමුක්ති පෙරමුණ ද කිසිදු ආගමක් පිළිගන්නවා යැයි කියන්නේ නම් එය වංචනික ප්‍රකාශයකි. මාක්ස් ලෙනින්වාදි කොමියුනිස්ට්වාදී පක්ෂ ආගම නො පිළිගන්නා බැවිනි. යම් කාලයකට ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ද උපක්‍රමික මෙවලමක් ලෙස පාවිච්චි කරනු ඇත.

පෙඩ්රික් එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදයේ මූලධර්මයන්හි මෙසේ සඳහන් කරයි;

“ප්‍රථමයෙන්ම එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද, ඒ අනුව නියම ලෙස හෝ අනියම් ලෙස හෝ නිර්ධන පන්තියේ දේශපාලන ආධිපත්‍යයක් ද පිහිටවනු ඇත.”

“පෞද්ගලික දේපොළ අයිතියට කෙලින් ම බලපාන හා නිර්ධන පංතියේ පැවැත්ම සහතික කරන පුළුවන් ව්‍යාපාරයන් ක්‍රියාවේ යෙදවීමේ මාධ්‍යක් වශයෙන්, වහාම ප්‍රයෝජනයට ගත හැකි දෙයක් හැටියට මිස, වෙනත් අන්දමකින් නම් ප්‍රජාතන්ත්‍රවාදය නිර්ධන පංතියට කොහෙත් ම ප්‍රයෝජනයක් නැති දෙයකි.” යනුවෙනි.

  1. ජවිපෙ තුන්වන් කැරැල්ල සමයේ, කොමියුනිස්ට් ත්‍රස්තවාදීන් විසින් 1989.02.08 දින මහනුවර ශ්‍රී දළදා මන්දිරයට පහර දෙන ලදී. ඒ සිරි දළදා වහන්සේ සහ සිරි දළදා කරඩු සහිත රන් අභරණ පැහැර ගැනීම සඳහා ය. එම පහර දීමේදී මනුෂ්‍යඝාතන, තුවාල කිරීම , පොලිස් හා ආරක්ෂක හමුදාවන්ට හානි කිරීම ආයුධ පැහැර ගැනීම සිදු කෙරෙණි.
  2. ” යකඩ මල්ල ගුල්ලෝ ගැසුවා නම් හාල් මල්ල ගැන කවර ක‍තා ද? විසි කොරපිය බැද්දට” යන පැරණි සිංහල කියමනකි. ඒ ලෙස කොමියුනිස්ට් පක්ෂයක දේශපාලන නායකයන්ගෙන් හා සාමාජිකයන්ගෙන් සම්බුද්ධ ශාසනයට ගෞරව කරන්නේවත්, ආරක්ෂා කිරීමක්වත් බලාපොරොත්තු නො විය හැක. ඒ කොමියුනිස්ට්වාදයේ මුලයේ හැටි ය.

මිහින්තලේ නායක ස්වාමින් වහන්සේට “වනචාරියා” යනුවෙන් කොමියුනිස්ට්වාදී පක්ෂයක නායකයෙක්, සාමාජිකයෙන් අපහාස කිරීම, කොමියුනිස්වාදීන්ට නම් අරුම දෙයක් හෝ අපහාසයක් කළාය කියා හෝ පිළිගැනීමක් ඇති වන්නේ නැත. කොමියුනිස්ට්වාදය බිහි වී ඇත්තේ ම සියලු ආගම්වලට විරුද්ධව ය. කොමියුනිස්ට් නො වන සියලු දේශපාලන ක්‍රමවලට විරුද්ධව ය. සියලු කොමියුනිස්ට් නො වන ඉතිහාසයන්ට, සංස්කෘතීන්ට හා සමාජ ක්‍රමයන්ට විරුද්ධව ය.

  1. කොමියුනිස්ට්වාදී ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ඉහළ පෙළේ සමාජිකයෙකු වන ලාල් කාන්ත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග ආමාත්‍යවරයා විසින් කරන ලද, සම්බුද්ධ ශාසන විරෝධී “වනචාරී” ප්‍රකාශය සම්බුද්ධ සාශනය කෙරෙහි කොමියුනිස්ට්වාදීන්ගේ කොමියුනිස්ට් දෘෂ්ටිය සමඟ ඇති සාපේක්ෂ අදහස බව කිව යුතු යුතු ය. එය ම කොමියුනිස්ට්වාදය විසින් සම්බුද්ධ ශාසනය නොරකිනවා පමණක් නොව විනාශ කිරීම ද එකාන්ත බවට පැහැදිලි ඉඟියකි. චේතනාවේ පිළිබිඹුවක් ද වෙනවා ඇත.

Protected by Security by CleanTalk