Spread the News

කැනඩා රජයේ පොංගු තමිල් මෙහෙයුම
source:
“එන්ජීඕ කාරයන්ද මානව හිමිකම් ගැන නඩු අහනවා”
රුසියානු අගමැති වැලඩමිර් පුටින්

ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්‌තවාදයට අරමුදල් එව් රටවල් අතරින් කැනඩාවේ කොටි ජාලය වසරකට ඩොලර් මිලියන 60 ක්‌ පමණ සපයා තිබුණි. කැනඩා රහස්‌ පොලිසිය විසින් සොයාගත් කොටින්ගේ රහස්‍ය වාර්තාවලින් බැංකු හතරක තිබූ කොටි ගිනුම් හෙළිවිය. එතෙක්‌ කැනඩාවේ ස්‌ටිවන් හාපර් රජය දැන් යළිත් වරක්‌ කැනඩා කොටි හෙවත් හිම කොටින්ට අරමුදල් එකතු කිරීමට (SNOW TIGERS) ඉඩදී තිබේ. පසුගිය සඳුදා කැනඩා කොටි ජාලය ටොරොන්ටෝ නුවර කුවින්ස්‌ උද්‍යානයේදී පොංගුතමිල් රැළියක්‌ පැවැත් වූහ.

කොටින්ගේ ප්‍රධානතම ආධාරකරුවකු වූ ලිබරල් පක්‍ෂ මන්ත්‍රී ජිම් කාරියගනාස්‌ සහ එන්ජීඕ ප්‍රධානීහු දස දෙනෙක්‌ද මේ පොංගු තමිල් උළෙලට පැමිණ සිටියහ. මේ කොටි රැළිය ඇමතු ක්‍රිෂ්ණ සරවණමුත්තු නමැති කොටි හිතවාදියා ශ්‍රී ලංකා රජය වන්නි මෙහෙයුම සමයේ සිව් මසක්‌ තුළ ද්‍රවිඩයන් 40000 ක්‌ සහ 75000 ක්‌ මරාදමා ඇති බවට සාවද්‍ය ප්‍රකාශයක්‌ කරනු ලැබීය. මෙයට පෙර එනම් 2009 මැයි 19 වැනිදා කොටි ඝාතන සමාගම පරාජය වීමෙන් පසු කැනඩා කොටි ජාලය කුවින්ස්‌ උද්‍යානයට රැස්‌වී ශ්‍රී ලංකා රජයට එරෙහිව යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නැයි කැනඩා රජයට කියා සිටියේය.

එහෙත් සැබෑ ඝාතකයෝ කැනඩා කොටි ජාලයය.s ප්‍රභාකරන් ගුවන් යානා නාශක අවි ඉල්ලා කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයට යෑවූ ලිපි පවා කැනඩා රහස්‌ පොලිසිය විසින් සොයා ගැනුණි. එසේ වුවත් කැනඩා රජය ඒ ගැන අවධානය යොමු කළේද? මේ පසුබිම යටතේ කැනඩාවේ අගමැති ස්‌ටීවන් හාපර් විසින් 2013 පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම වර්ජනය කරන බව පවසයි. එසේම කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු ලේකම් දීපක්‌ ඔබ්හරායි නමැත්තා පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව පැවැත්වීමට පෙර ශ්‍රී ලංකාවේ රජය මානුෂික හිමිකම් ගැන ප්‍රතිචාරය දැක්‌විය යුතු බවට තර්ජනය කර තිබේ.

අපි නිකන් සිටින්නේ යයි ශ්‍රී ලංකා රජය සිතා නොගත යුතුය යයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත. ස්‌ටුවට්‌ බෙල් නමැති කැනඩා මාධ්‍යවේදියා කැනඩාවේ කොටි ජාලය ගැන තොරතුරු හෙළිකරමින් ත්‍රස්‌තවාදයට කැනඩා ද්‍රවිඩයන් උපකාරීවූ අයුරු හෙළිකර තිබේ. එසේනම් ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ සම්බන්ධව අගමැති ස්‌ටිවන් හාපර්ද වරදකරුවකු නොවන්නේද?

කැනඩා රහස්‌ පොලිසියේ පිටු 145 ක වාර්තාවට අනුව කැනඩාවේ කොටි ජාලය ක්‍රියාත්මක වූ අයුරු සනාථ වේ. එසේ නම් ස්‌ටීවන් හාපර්ද යුද අපරාධකරුවකු වේ.

මෙවන් තත්ත්වයක්‌ මැද කැනඩා රජය ශ්‍රී ලංකාවේ රජයට සහ හමුදාවට එරෙහිව ඇඟිල්ල දික්‌ කරන්නේ කෙසේද? මෙයට දෙවසරකට පෙර කැනඩා කොටි ජාලය විසින් කැනඩාවේ ගාඩිනර් අධිවේගී මාර්ගය වෙත පැමිණ පැය පහකට අධික කාලයක්‌ තිස්‌සේ දැක්‌වූ විරෝධතාව නිසා කැනඩා ජනතාව අධික දුෂ්කරතාවයකට ලක්‌වූහ. මේ සම්බන්ධයෙන් ජනතා විරෝධතාවයද මතුවිය. මේ අන්දමේ පසුබිමක්‌ යටතේ ටොරොන්ටෝ නගරයේ කුවින්ස්‌ උද්‍යානයේ පැවැත්වූ පොංගු තමිල් රැළියෙන් පවසන්නේ ශ්‍රී ලංකාවේ උතුරේ හමුදා කඳවුරු ඉවත්කර ගන්නා ලෙස හා ස්‌වයං පාලනය ලබාදෙන ලෙසය.

එහෙත් මේ ඉල්ලීම කරන්නේ කැනඩා පුරවැසියන් වූ ද්‍රවිඩයන්ය. මෙලෙස කැනඩා පුරවැසියන් වූ ද්‍රවිඩයන් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට යළිත් වරක්‌ උත්සාහ කරන බව පැහැදිලිය.

එහි අර්ථය නම් යළිත් යුද අවි මිලයට ගැනීමට අරමුදල් එකතුකර ත්‍රස්‌තවාදය පෝෂණය කිරීමට ක්‍රියා කිරීමයි.

මේ වාතාවරණය මැද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු කැනඩාවට ගොස්‌ ඇත.

ඔව්හු කැනඩාවට ගොස්‌ ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමටය. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කිරීම පසුපස සිටියේද ද්‍රවිඩ සන්ධානය යයි දැන් හෙලිවී ඇත. ඒ සඳහා මුරුසි නීති සමාගමක සහය ලබා ගැනීමටද දවිඩ සන්ධානය ක්‍රියාකර තිබේ.

මේ ක්‍රියාදාමය වෙනත් රටක නම් ද්‍රෝහී ක්‍රියාවකි. High Treason ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම ඇමරිකාවටද පැමිණි රාජ්‍ය නිලධාරීහු හමුවී මෙරටට එරෙහිව ගතු කී බව වාර්තා විය.

ඔවුන්ගේ එක්‌ ප්‍රශ්නයක්‌ වූයේ උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ස්‌ථාන ගත වීමයි. ද්‍රවිඩ සන්ධානයේ මෙම ඉල්ලීම අනුව රජය උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කළ යුතුය. පොලිස්‌ බලතල බන්දේසියක තබා ප්‍රදානයකළ යුතුය.

අත්අඩංගුවේ සිටින කොටි සියල්ල මුදා හැරීමටද රජය ක්‍රියා කළ යුතුවේ. එවන් කොටි ගැන විමර්ශනය කිරීම නතර කළ යුතුය.

එසේම උතුරට යන කිසිම කෙනෙක්‌ ගැන විමර්ශනය කිරීමෙන්ද වැළකිය යුතුවේ.

ද්‍රවිඩ සන්ධානයේ මේ ඉල්ලීම පසුබිමේ ඇත්තේ හිටපු කොටින්ට නැවතත් අළු ගසා දමා නැගිටීමට අවකාශ දීමේ ක්‍රමවේදයයි.

මේ යථාර්ථය රජයේ දැඩි අවධානයට යොමුවිය යුතුවේ. එකී මුල්ම සැලසුම යළිත් පොංගු තමිල් උළෙල ආරම්භ වීමයි. මේ කොටි උළෙලේ අරමුණ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට හමුදාව නිසා දුෂ්කරතාවයකට පත්වී ඇති බව කියමින් එකී ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය කිරීමයි.

මෙයට සතියකට පෙර ඕස්‌ටේ්‍රලියාවට ගිය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයෙක්‌ ශ්‍රී ලංකාවේ හමුදාවට අවමන් කළේය. හමුදාවෙන් ද්‍රවිඩ කාන්තාවන්ට අතවර සිදුවන බවද ඔහු ඕස්‌ටේ්‍රලියානු මාධ්‍ය අමතා කියා සිටියේය.

මෙහිදී මතුවන ප්‍රධාන ප්‍රශ්නය නම් ශ්‍රී ලංකාවට අවමන් කිරීමට තවදුරටත් මෙවන් පාර්ශ්වයකට ඉඩදිය යුතුද යන්නයි.

ද්‍රවිඩ සන්ධානය මෙන්ම මෙරට එන්ජීඕ ක්‍රියාකාරීහු දැන් පුන පුනා බලා සිටින්නේ බටහිර ප්‍රජාව කොයි මොහොතේ හෝ රාජ්‍ය හා හමුදා නායකත්වයට එරෙහිව පියවර ගන්නා තෙක්‌ය.

ලක්‍ෂ සංඛ්‍යාත ඇඟළුම් සේවක සේවිකාවන්ගේ රැකියාවන්ට පහර ගැසීම සඳහා ජී.එස්‌.පී. පල්ස්‌ බදු සහන නතර කිරීමට ජිනීවා නුවරට පෙත්සම් තොග පිටින් යෑවූ එන්ජීඕ කාරයන්ද එම අවස්‌ථාව එනතුරු නොඉවසිල්ලෙන් සිටි.

ආරක්‍ෂක බුද්ධි අංශ මේ ද්‍රෝහීන්ව දැනටමත් හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවද ලිබියාවක්‌ වනු ඇතැයි ඔව්හු බලාපොරොත්තු වෙති. එහෙත් මොවුන්ට වැරදිනි. ලිබියාවේ ජනතාව මෙන් ශ්‍රී ලංකාවේ ජනතාව අඥන නැත. එසේ වුවත් කොළඹ සිටින කොටින්ට හිතවත් ඇතැම් ද්‍රවිඩ මාධ්‍ය සමග එක්‌වී ඔව්හු සිය අබිරහස්‌ ක්‍රමවේදය දියත් කර තිබේ. ශ්‍රී ලංකාව අද මුහුණ පා ඇත්තේ මෙවන් කුමන්ත්‍රණකාරී මෙහෙයුම්වලටය. පොංගු තමිල් මෙහෙයුම දියත් වී ඇත්තේ මේ පසුබිම යටතේයි. සතුරා බලා සිටින්නේ අවස්‌ථාව එනතුරුය. ඊට අප ඉඩදිය යුතුද?

කීර්ති වර්ණකුලසූරිය