ආරියතිලක
2025.10.10
“කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නේ නැහැ” මොකක් ද? මේ පුල්ලි ය. පුල්ලිය නම් කොටියාගේ කොටි ගතිය ය. කොටියා කැලේ මාරු කළත් තව දෙයක් මාරු වෙන්නේ නැහැ. ඒ තමයි දඩයම් අභිප්‍රාය. ඒ කියන්නේ ගොදුර ඩැහැ ගැනීම. යම් අවස්ථාවක කොටියා ගොදුරක් පසු පස ගොස් ගොදුර ඩැහැ ගැනීමට බැරි වුවොත් කිසිදු අවස්ථාවක ගොදුරු ගැනීමේ සිත අතහරින්නේ නැත.
ජනතා විමුක්ති පෙරමුණ ද එසේ ය. කොටියාට අවේනික බව කියන කොටි පුල්ලිය මෙන් ජනතා විමුක්ති පෙරමුණට ද ආවේනික පුල්ලියක් ඇත. ඒ කොමියුනිස්ට්වාදී දේශපාලන ව්‍යාපාරය ය. කොමියුනිස්ට්වාදය නම් මාක්ස් හා එංගල්ස්ගේ මූලධර්ම මත ගොඩ නැගුන දේශපාලන ව්‍යාපරය ය. මාක්ස් හා එංගල්ස්ගේ මූල න්‍යාය නම් දක්ෂිණාංශික රාජ්‍ය බලය පෙරළ දමා, රට අල්ලා ගෙන රට කොමියුනිස්ට් පාලනය ස්ථාපිත කිරිම ය. ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කරනුයේ ඒ අභිප්‍රායට ය. ජාතික ජන බලවෙගය පක්ෂයෙහි ප්‍රධාන දේශපාලන ධාරාව ජනතා විමුක්ති පෙරමුණ ය.
1971 කැරැල්ලෙන් ජනතා විමුක්ති පෙරමුණට ගොදුරු අසාර්ථක විය. නමුත් කොටියා ගොදුරු දැහැ ගැනීමේ අභිප්‍රාය අත් අරින්නේ නැති සේ ජනතා විමුක්ති පෙරමුණ ද ගොදුර ගැනිමේ අභිප්‍රාය අත් හළේ නැත. එසේ නමුදු 1987/88/89 කැරැල්ල ද දියත් කළත් ගොදුර අසාර්ථක විය.
මාලිමාව ලකුණ ගෙන, දේශපාලන ව්‍යාපාරය දියත් කළ ජවිපෙ, ජනතාව සිත් වලින් දැකැත්ත, මිටිය වසා තැබීක් සේ සැළකිය හැකි ය . එසේ වුවත් මාලිමා ලකුණ ඇතුලේ ඒ දෙක ඇත්තේ ය. සාමාන්‍ය ව්‍යවහාරයේ කොමියුනිස්ට් වාදයට කියන්නේ “වමේ දේශපාලනය” කියා ය. අනෙක් පස “දක්ෂිණාංශක දේශපාලනය” ය. එනම් උතුර හා දකුණ ය. මාලිමාව නම් උතුරු දකුණු කටුව ය. මාලිමාව සැම විට ම උතුර සළකුණ පෙන්වයි. එය නිශ්චිත ය. මාලිමා ලකුණෙන් දේශපාලනය කළ ද උතුර හෙවත් වම ඒ දේශපාලනය අත් හරින්නේ නැති බව ඒ ලකුණේ ම ඇත. එය ජනතාවගෙන් සූක්ෂම ලෙස වසන් කර ඇත. කැලේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු නො වන්නා සේ ලකුණ මාරු වුණත් ජාතික ජන බලවේගයේ දේශපාලන මතවාදය වෙනස් වි නැත්තේ ය. එදා ඔවුන්ට රාජ්‍ය බලය නැත. දැන් රාජ්‍ය බලය ඇත.
දැන් ගොදුර ඩැහැ ගැනීම හෙවත් කොමියුනිස්ට් ක්‍රමයට රට පෙරලීමට උපාය උපක්‍රම යොදයි. දක්ෂිණාංශික ආරක්ෂ හමුදා හා බුද්ධි අංශ කොමියුනිස්ට්වාදීන්ට වස ය. ප්‍රධාන සතුරා ය. දක්ෂිණාංශික ආරක්ෂ හමුදා හා බුද්ධි අංශ ශක්තිමත් කිරීම යනු කොමියුනිස්ට්වාදයට ඇති ප්‍රධාන බාධක ය. එසේ නම් මේ ආණ්ඩුව ආරක්ෂ හමුදා සහ බුද්ධි අංශ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය අනුව ඉදිරිය ඉදිරිය තීන්දු කළ හැක. කොමියුනිස්වාදය මේ රටට මර උගුලක් බව ද කිව යුතු ය. මේ රටේ දියුණුවට, ආර්ථිකයට, විශේෂයෙන් සම්බුද්ධ ශාසනයට, පවුල නැමැති ඒකකයට, දූදරුවන්ට, සමස්ථ ලාංකේය ජන ජීවිතයට කරන ලද විනාශය අති මහත් ය. 1971 හා 1987/88/89 ජනතා විමුක්ති පෙරමුණ කැරළි දෙක අධ්‍යනය කිරීම පමණක් මෙයට සාක්ෂ්‍ය වශයෙන් ප්‍රමාණවත් වේ. එම කොමියුස්ට්වාදී ආයුධ සංන්ද්ධ කැරළි දෙක රටට, ජාතියට, ආගමට කළ හානිය ප්‍රමාණ කළ නො හැක.
තම දූ දරුවන් දෙමාපියන්ට අහිමි වීම, අහිමි කිරීම, භාර්යාවන්ට ස්වාමිපුරුෂයන් අහිමි විම, අහිමි කිරීම, සම්බුද්ධ ශාසනයේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලා කොමියුනිස්ට්වාදය නිසා ශාසන මාර්ගයෙන් බැහැර වීම, ගුරු භික්ෂූන් වහන්සේලාට ගෝල හිමිවරුන් අහිමි වීම, දේපොළ විනාශ වීම, රටේ තරුණ පරපුර පාප කර්මයට යොමු කිරීම, පිං පව්, කුසල්, අකුසල්
නො අදහන පාපකාරී සමාජයක් ඇති කිරීම, කොපමණ පාපකාරි ද යත් 1989 පෙබරවාරි 08 දින, බෞද්ධයන්ගේ මුදුන් මල් කඩ වන, මහනුවර ශ්‍රී දළදා මනදිරයට කළ කොමියුනිස්ට්වාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරය, මිනී මැරීම මංකොල්ල කැම, දේපොළ බලහත්කාරයෙන් ගැනීම, බියවැද්දීම ආදී සියලු ආකාර ත්‍රස්ත ක්‍රියා කිරීම, මේ රට කළ මහත් අපරාධ නිසා රටේ දියුණුවට බාධා ඇති විය. එම සියලු අපරාධ කිරීම නිවැරැදි බව කොමියුනිස්ට්වාදින්ගේ අදහස ය. 76 අවුරුදු සාපයක් ගැන කතා කරන පුද්ගලයන් ම මේ රටට ශාපය කැන්දන් ආ කොමියුනිස්ට් දර්ශනය කරපින්නා ගත් අය වෙත්.
මේ සියලු කරුණු සැළකීමේ දී පොලිස් හමුදාව අතුලු ආරක්ෂ හමුදාවල සැම දෙනා සහ පුරවැසි සැම අවදියෙන් සිටිය යුතු කාලය එළඹ ඇති බව පැහැදිලි ය

