Spread the News

කිලිනොච්චියේ ද්‍රවිඩ ව්‍යාපාරිකයා ඝාතනය:
හිටපු කොටි ඇතුළු පිරිසක්‌ අත්අඩංගුවට

හේමන්ත රන්දුණු source:

කැනඩාවේ පුරවැසිභාවය ලබා සිටි කෝටිපති දෙමළ ව්‍යාපාරිකයකු කිලිනොච්චි නගරයේදී කෲර අන්දමින් ඝාතනය කර ඔහුගේ දේපළ කොල්ලකෑ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසකගෙන් සැදුම්ලත් සන්නද්ධ කණ්‌ඩායමක්‌ කිලිනොච්චි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (23 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබීය.

එම සන්නද්ධ කණ්‌ඩායම විසින් ව්‍යාපාරිකයා ඝාතනය කරනු ලැබුවේ ඉකුත් 03 වැනිදා රාත්‍රි කිලිනොච්චියේ පිහිටි ඔහුගේ නිවසේදීය.

ඝාතනයට ලක්‌ වූ අන්තෝනි පිල්ලෙයි සාමි ජයකුමාර් අන්ඩෲ මහෙන්ද්‍ර රාජා මහතා පනස්‌ තුන්වැනි වියේ පසු වූ එක්‌දරු පියෙකි.

කිලිනොච්චිය සහ යාපනය නගරවල වෙළෙඳසල් විශාල ප්‍රමාණයක හිමිකරුවකු වූ ඒ මහතා තවත් දේපළ රැසකද හිමිකරු විය.

මහෙන්ද්‍ර රාජා මහතාගේ බිරිඳ සහ දරුවා කැනඩාවේ පදිංචිව සිටින අතර ඒ මහතා ඉකුත් පෙබරවාරි මස 28 වැනිදා මෙරටට පැමිණ තිබේ. පසුව ඔහු කිලිනොච්චියේ පිහිටි අලුතින් ඉදිකළ තම සුවිසල් නිවසේ පදිංචිව සිටිමින් සිය ව්‍යාපාර කටයුතු කරගෙන ගියේය.

ඉකුත් 3 වැනිදා රාත්‍රි 8.30 ට පමණ නිවසට කඩා වැදුණු පස්‌ දෙනකුගෙන් සමන්විත සන්නද්ධ පිරිසක්‌ පොරොවක්‌ යකඩ පොල්ලක්‌ සහ තවත් ආයුධ කිහිපයක්‌ යොදා ගෙන මහෙන්ද්‍රරාජා මහතාට කෲර අන්දමින් පහරදී ඝාතනය කර පළාගොස්‌ තිබිණි.

කැනඩාවේ පුරවැසිභාවය ලබා සිටි මහෙන්ද්‍ර රාජා මහතාගේ අභිරහස්‌ ඝාතනය පිළිබඳව වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති කාර්යාලයද පොලිසියෙන් ඉල්ලීමක්‌ කර තිබිණි.

ඝාතනයට ලක්‌වූ ඒ මහතාගේ දේහය කැනඩා තානාපති කාර්යාලය හරහා එරටට යෑවීමට කටයුතු කරන ලදී.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා, කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්‌පති නීල් දළුවත්ත මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ එම ඝාතනය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමේ කටයුතු කිලිනොච්චිය පොලිස්‌ අධිකාරී එඩ්මන් මහෙන්ද්‍ර මහතා වෙත භාරදෙනු ලැබීය. එඩ්මන් මහෙන්ද්‍ර මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්‍ෂණ පැවැත්වූ පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන ඒ. වී. සුබෝධ, ඒ. සුගතපාල සහ පුෂ්පික යන නිලධාරීන් දින 20 ක්‌ ගතවීමට පෙර මෙම ඝාතනයේ සුලමුල හෙළිකරගෙන ඊට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පස්‌ දෙනකුගෙන් සමන්විත සන්නද්ධ කණ්‌ඩායම අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් එක්‌ සැකකරුවකු ඝාතනයට ලක්‌වූ මහෙන්ද්‍රරාජා මහතාගේ නිවසේ වඩුකාර්මිකයකු ලෙස සේවය කළ අයෙකි. එම පුද්ගලයා සහ මහෙන්ද්‍ර රාජා මහතා අතර මුදල් සම්බන්ධ ආරවුලක්‌ තිබී ඇත. මහෙන්ද්‍රරාජා මහතා සතුව තිබූ රුපියල් විසි ලක්‍ෂයක මුදලක්‌ ලබාගැනීම සඳහා ඔවුන් මෙම ඝාතන සැලසුම සකස්‌ කර තිබිණි.

ඝාතනය සඳහා පැමිණි සෙසු සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් දෙදෙනා වව්නියාවේ පුනරුත්ථාපන කඳවුරකින් පුනරුත්ථාපනය වූ දෙදෙනකු බව පොලිසිය පවසයි.

එම සැකකරුවන් භාවිත කරන ලද රහසිගත දුරකථන අංක කිහිපයක්‌ ඔස්‌සේ නවීන තාක්‍ෂණය යොදාගෙන කළ පරීක්‍ෂණවලදී ඝාතනයේ සුලමුල සොයා ගැනීමට පොලිසියට හැකි විය.

ඝාතනය සඳහා යොදාගත් පොරොව යකඩ පොල්ල හා තවත් ආයුධ කිහිපයක්‌ පොලිසිය සොයාගෙන තිබේ.

මෙම ඝාතනයට සහාය දුන් තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කිලිනොච්චි පොලිස්‌ අධිකාරී එඩ්මන් මහෙන්ද්‍ර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ