Spread the News

“කොටින්ව ගෙන යන ගුවන් යානාවේ මග
බී.එම්.පී. රථ දමා අවුරනවා”

– ඉන්දීය ජනරාල් රොඩ්රිගුස්‌ source:

“මම නුඹේ යුද රථවලට වෙඩි තියනවා”
– බ්‍රිගේඩියර් ජයරත්න


1987 ජුනි 3 ඉන්දීය ධීවර බෝට්‌ටු ශ්‍රී ලංකාවට ඇතුළුවීමට දැරූ උත්සාහය

යාපනයට පරිප්පු දැමූ ඉන්දීය ඇන්ටනෝව් යානාවක්‌.

ලබන ජුලි 29 දාට තව ඇත්තේ දින 43 කි. මෙම දිනය වැදගත් වන්නේ 1987 ජුලි 29 දා එවකට ඉන්දීය අගමැති වූ රජිව් ගාන්ධි මෙරටට පැමිණ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමයි. එදා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ වූයේ ජේ. එන්. ඩික්‌සිත්ය.

 

ඉන්දීය මහකොමසාරිස්‌ව සිටි ඩික්‌සිත්

 

ඔහු එම සමයේ ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන වෙත ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා හමුදාව ප්‍රභාකරන්ව අල්ලා ගැනීම සඳහා දියත් කළ වඩමාරච්චි මෙහෙයුම වහාම නතර කර 13 වැනි සංශෝධනයට එකඟ වන්නේ ද නැත්නම් ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට එනු ඇතැයි කියා සිටියේය. වඩමාරච්චි මෙහෙයුම භටයන් 8000 ක ගෙන් යුක්‌තව 1987 මැයි 26 දා ආරම්භ වී තිබිණි. මේ මෙහෙයුම ආරම්භ වන සමයේ හමුදාපති ලෙස ක්‍රියා කළේ ජනරාල් සිරිල් රණතුංගයි. ඔහු එදා බ්‍රිගේඩියර්වරයකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව, කර්නල් ලයනල් බලගල්ලේ සහ ලුතිනන් කර්නල් සුනිල් තෙන්නකෝන් ගෙන්වා මෙහෙයුමේ සැලසුම් ගැන සාකච්ඡා කළේය. අනතුරුව කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ බ්‍රිමර් නිවසට ගිය හමුදාපති රණතුංග සිය හමුදා සැලැස්‌ම ඉදිරිපත් කළේය. ඒ වන විට වඩමාරච්චි මෙහෙයුම ගැන දැන සිටියේ හමුදාපති රණතුංග ඇතුළු හමුදා නිලධාරීහු සිව් දෙනා පමණකි.

වඩමාරච්චි මෙහෙයුමට ජනාධිපති ජයවර්ධනගේ එකඟත්වය ලැබෙන තුරු එය රහසක්‌ව පැවතුණි. එවකට ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි පවා මෙහෙයුම ගැන දැන ගත්තේ එය දියත් කිරීමට පැය කීපයකට පෙරය.

ප්‍රභාකරන්ට එරෙහිව දියත් වූ මේ යුද මෙහෙයුම ගැන එදා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන හමුදාපති සිරිල් රණතුංගට පැවසුවේ ඔබට යාපනය සමතලා කළ හැකියි. ඉන් පසු මට අලුත් යාපනයක්‌ ගොඩනැංවීමට හැකි බවයි.

එහෙත් ජයවර්ධන රජය නොදැන සිටි අබිරහස්‌ ක්‍රියාදාමයක්‌ සෑහෙන කලක සිට දියත් වී තිබිණි. එය දියත් කළේ ඉන්දීය පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය යෑයි හඳුන්වන “රෝ” ඔත්තු සේවාවයි. මේ අබිරහස්‌ ක්‍රියාදාමය ගැන වසර 26 කට පසු ස්‌විට්‌සර්ලන්තයේ සිටින ඊ.පී.ආර්.එල්.එµa. සංවිධානයේ හිටපු ක්‍රියාකාරියකු වන සින්නතුරේ පර්වේශ් මුර්ති විසින් හෙළි කරනු ලැබීය. ඔහු කරන ප්‍රකාශය අද අපි විශේෂයෙන් අනාවරණය හෙළි කරන්නෙමු. “1978 සුළි සුළඟින් පසු ‘රෝ’ ඔත්තු සේවාවේ ඒජන්තවරුන් දෙදෙනකු අපිව ශ්‍රී ලංකාවේ කට්‌ටපරිච්චාන්හිදී පුහුණු කළා. පසුව අපිව නවදිල්ලියට ගෙන ගියා. එහිදී තවත් ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් 200 ක්‌ සිටියා. ඊට පසු 1982 දී නවදිල්ලියේ සිට උත්තර ප්‍රදේශයේ දේරදාන් කඳවුරට ගෙන ගොස්‌ යුද පුහුණුව දුන්නා. ඉන් පසු තමිල්නාඩුවේ තවත් කඳවුරු ඇති කර ද්‍රවිඩයන්ව පුහුණු කරනු ලැබුවා.”

පරවේශ්මුර්ති මුල්වරට හෙළි කරන මේ ප්‍රකාශයෙන් සනාථ වන්නේ 1983 ජුලි කලබල ඇතිවීමට පෙර රෝ සංවිධානය මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමයි.

මෙවන් පසුබිමක්‌ මැද වඩමාරච්චි මෙහෙයුම ආරම්භ වී දින අටකට පසු රතුකුරුස ධජය යටතේ කුඩා ධීවර බෝට්‌ටු 19 ක්‌ රාමේෂ්වරන් වෙරළේ සිට පිටත් විය. මේ බෝට්‌ටු යාපනය වෙරළට පැමිණීමට නියමිතව තිබිණි. මෙකී ඉන්දීය ධීවර බෝට්‌ටුවලට යාපනයට යැමට ඉඩ ලැබෙන්නේ දැයි ඉන්දීය නාවික යුද යාත්‍රා විසින් නිරීක්‍ෂණය විය. යාපනයේ ද්‍රවිඩ ජනතාවට ආහාර, ඉන්ධන හා ඖෂධ ටොන් 2 ක්‌ මෙකී බෝට්‌ටුවල තිබූ අතර කච්චතිවු දූපත අසලට පැමිණ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව වෙත පිවිසීම සඳහා අවසර ඉල්ලනු ලැබීය. අඳුර වැටී මුහුද නිසල වූ අවස්‌ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුර යාත්‍රා හතරක්‌ කච්චතිවු මුහුදු කලාපය වෙත සමීප විය. “ශ්‍රී ලංකාවේ මුහුදු කලාපය වෙත ඔබලාගේ පැමිණීම වළක්‌වන ලෙස මට අණ ලැබී තිබෙනවා. ඒ සඳහා සියලුම පියවර ගැනීමේ නියෝග ද ලැබුණා” යෑයි මුර යාත්‍රා කණ්‌ඩායමේ ප්‍රධානියා එකී ධීවර බෝට්‌ටු සමග පැමිණි වෙරළාරක්‍ෂක යාත්‍රාවේ අණදෙන නිලධාරියා වෙත කියා සිටියේය.

මේ නිසා එකී ධීවර යාත්‍රාවලට ආපසු හැරී යැමට සිදු විය. ඉන්දීය ධීවර බෝට්‌ටු හරවා යෑවීම නිසා ඉන්දීය මහ කොමසාරිස්‌ ඩික්‌සිත් මෙන්ම අගමැති රජිව් ගාන්ධි ද කෝපයට පත්වී තිබේ. එදිනම සවස්‌ යාමයේ ඉන්දීය ගුවන් හමුදාව සෝවියට්‌ නිෂ්පාදිත ඇන්ටනෝව් 32 වර්ගයේ ප්‍රවාහන යානා පහක ටොන් 25 ක්‌ වූ මානුෂික සහනාධාර එවනු ලැබීය. මිරාජ් 2000 වර්ගයේ ප්‍රහාරක යානාවල රැකවරණ මැද එම ඇන්ටනෝව් යානා ටොන් 25 ක සහනාධාර පැරෂුට්‌ මගින් යාපනයට දමද්දී ශ්‍රී ලංකා හමුදාවට සිදුවූයේ බලා සිටීමටය. මේ යානාවලට වෙඩි තැබුවොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවේ”යෑයි ඉන්දීය මහ කොමසාරිස්‌ ඩික්‌සිත් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා තිබිණි. එදා දැන් මෙන් නොව ශ්‍රී ලංකා හමුදාවට මිග් සහ කපීර් වර්ගයේ ප්‍රහාරක යානා නොතිබිණි.

බැංගලෝර් ගුවන්තොටුපළින් පිටත්වූ ඇන්ටනෝව් ප්‍රවාහන යානාවල ඉන්දීය මාධ්‍යවේදීන් සිටි බවද එකල වාර්තා විය. ටොන් 25 ක බඩු තොග යාපනයට දැමූ ඉන්දීය මෙහෙයුමට පැය 2 ක්‌ හා විනාඩි 14 ක්‌ ගතවී ඇත.

ඉන්දියාව විසින් අහසින් යාපනයට පරිප්පු දැමූ බවට එකල මෙම සිද්ධිය ප්‍රචාරය විය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පැවසුවේ ඉන්දියාවේ ඒකමතික ක්‍රියාමාර්ගයට එරෙහිව ක්‍රියා කිරීම තේරුමක්‌ නැති වැඩක්‌ බවයි. එහෙත් ඉන්දියාව දහහත් වතාවක්‌ ශ්‍රී ලංකාව ආක්‍රමණය කර තිබෙනවා”යෑයි ජයවර්ධන මහතා ප්‍රතිචාර දක්‌වමින් පළ කළේය. මේ අතර ඉන්දියාව විසින් ඉදිරියේ සපයන සහනාධාර පිළිබඳව අවශ්‍ය කටයුතු කරනු සඳහා විදේශ ඇමැති ඒ. සී. එස්‌. හමීඩ් ඉන්දීය මහ කොමසාරිස්‌ ඩික්‌සිත් හමුවී සාකච්ඡා කිරීමට එකඟ විය. වඩමාරච්චි මෙහෙයුම දිගටම ක්‍රියාත්මක විය. මැයි 28 දා උඩුප්පිඩි හා වැලිවැටිතුරේ, තෙල්ලඩි හා පේදුරුතුඩුව ද හමුදා සේනාංක විසින් අත්පත් කරගෙන තිබිණි.

ඉන් පසු ජුනි 3 දා වඩමාරච්චි මෙහෙයුමේ 2 වැනි අදියර ක්‍රියාත්මකවීමට නියමිතව තිබියදී ඉන්දීය ගුවන් යානා පූමාලයි මෙහෙයුම  නමින් සහනාධාර අහසින් දැමීම නිසා බරපතළ ප්‍රශ්නයක්‌ ඇති විය. යාපනය අල්ලා ගැනීමේ 2 වැනි අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දිනයේ ඉන්දියාවේ සිදු කළ ආක්‍රමණකාරී ක්‍රියාව නිසා වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නැයි ජනාධිපතිවරයා හමුදාපතිට නියෝග කළේය. එම නියෝගය සම්බන්ධව හමුදාපතිවරයා සිය දැඩි විරෝධය පළ කර සිටියදී කෝපයට පත්වූ ජනාධිපති ජයවර්ධන ඉන්දියාව සමග සටන් කළ යුතු නැතැයි කියා සිටියේය.

1987 ජුලි 29 දා ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සහ රෝ බුද්ධි සේවා නිලධාරීහු කොළඹට පැමිණ ජනාධිපති ෙ-. ආර්. ජයවර්ධන සමග ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේය. එම ගිවිසුම අත්සන් කිරීමට පෙර ජනාධිපති මැඳුර අබියස පැවැති ආචාර පෙළපාලියේ සිටි නාවික භටයකු රජිව්ට රයිµල් බඳෙන් එල්ල කළ ප්‍රහාරයෙන් ඔහු ගැලවිණි. එදා මේ ගිවිසුම තුළ අඩංගු කරුණු කුමක්‌දැයි ජනාතවට හෙළිවී නොතිබිණි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර පැය 2 ක්‌ ගතවීමට පෙර ඉන්දීය හමුදාව හෙවත් සාම හමුදාව රැගත් ප්‍රවාහන යානා පලාලි ගුවන්තොටුපළට අවතීර්ණ විය.

ඒ වන විට පලාලිහි ශ්‍රී ලංකා හමුදා බලධාරීහු මේ සිදුවී ඇත්තේ කුමක්‌ද යන්න වාර්තා වී නොතිබිණි.

මෙකී ඉන්දු ලංකා ගිවිසුමේ අඩංගු 2-9 වගන්තිය වූයේ ශ්‍රී ලංකා හමුදාව සිය බැරැක්‌ක වෙත සීමා වී සිටිය යුතු බවයි. ගිවිසුම අත්සන් කර දින 19 කට පසු එනම් 1987 අගෝස්‌තු 17 දා ඉන්දීය මහකොමසාරිස්‌ ඩික්‌සිත් එවකට ජනාධිපති ලේකම් වූ ඩබ්ලිව්. එම්. පී. බී. මැනින්දිවෙල වෙත ලිපියක්‌ යෑවීය. එහි මෙලෙස සඳහන් විය.

මගේ ආදරණීය මැණික්‌,

“මෙම උදැසන අත්සනින් තොර මා වෙත ලැබුණු ලිපියක්‌ ඔබ වෙත එවන්නෙමි. ඉන්දීය ශ්‍රී ලංකා ගිවිසුම හා ශ්‍රී ලංකා රජයට එරෙහි සමහර පාර්ශ්වයන් දියත් කිරීමට නියමිත ක්‍රියාදාමයන් එහි සඳහන් වේ. මෙම ලිපියේ එකී ක්‍රියාදාමයට අදාළ තොරතුරු දක්‌වා ඇති අතර ඉන් ඒ ගැන ක්‍රියාශීලී පියවර ගැනීමේ අවශ්‍යතාව පිළිබිඹු කරයි. මෙවන් ක්‍රියාදාමයක්‌ ගැන මා සතියකට පෙර ජනාධිපතිට දැනුම් දුන්නෙමි. එසේම මා වෙත වාචික තොරතුරු ද ලැබී තිබිණි. මේ නිසා ලිපියේ අඩංගු කරුණු ගැන ජනාධිපතිවරයාටත් යොමු කර ඔබට සුදුසු යෑයි සිතන පියවර ගැනීම සඳහා නිසි නිලධාරීන් වෙත අනතුරු අඟවන ලෙස ඉල්ලමි.

එම ලිපියේ පිටපතක්‌ ජාතික ඔත්තු සේවාවේ අධ්‍යක්‍ෂ වෙත ද ලබාදීම සඳහා මා මේ සමග එවන්නෙමි. මෙයට විශ්වාසී ෙ-. එන්. ඩික්‌සිත්.

අංක COL/HC/551/2/87 යටතේ ඉන්දීය මහ කොමසාරිස්‌වරයා ජනාධිපති ලේකම් වෙත එවූ ඉහත කී ලිපියෙන් 26 වසරකට පසු සනාථ වන්නේ ඉන්දු ලංකා ගිවිසුමට පක්‍ෂපාතී වූ “ෙද්‍රdaහීන්” ගේ ක්‍රියා කලාපයයි.

මේ අතර 1987 ඔක්‌තෝබර් 3 දා නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී අවි ආයුධ ප්‍රවාහනය කරමින් සිටි කොටි 12 ක්‌ අත්අඩංගුවට ගැනුණි. මෙම කොටි කණ්‌ඩායම නාවික හමුදාව පලාලි හමුදා කඳවුරට භාර දුන්නේය. එම කොටි කණ්‌ඩායම මෙහෙය වූ පුලෙන්ද්‍රන් ඇතුළු පිරිස මුදාහරින්නැයි කොටි සංවිධානය ඉන්දීය සාම හමුදාවන්ට පැවසූ අතර කොටින්ව මුදාහරින්නේ නැතැයි රජය කියා සිටියේය.

වහාම කොටි කණ්‌ඩායම මුදාහරිනු යෑයි පලාලි කඳවුරේ සිටි ඉන්දීය ජනරාල් රොඩ්ගුස්‌ ශ්‍රී ලංකා හමුදාවේ බලධාරීන්ට කියා සිටි නමුත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය.

මේ අතර කොළඹ සිට පලාලි වෙත පැමිණි ගුවන් යානාවේ දමා කොටි කණ්‌ඩායම කොළඹට එවන්නැයි ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි පලාලිහි සිටි බ්‍රිගේඩියර් ජයරත්නට නියෝග කළේය. “ඉන්දීය හමුදා නිලධාරීන් කොටින්ව එවන්න ඉඩ දෙන්නේ නැහැ” යෑයි බ්‍රිගේඩියර්වරයා ප්‍රතිචාර දැක්‌වීය.

“එසේ නම් නුඹ ධුරයෙන් ඉවත්වී ඊළඟ තැනැත්තාට පාලනය භාරදී කොළඹට වරෙන්”යෑයි හමුදා මූලස්‌ථානයෙන් බ්‍රිගේඩියර් ජයරත්නට නියෝග ලැබිණි.

බ්‍රිගේඩියර්වරයා කොටි කණ්‌ඩායම ගුවන් යානාවේ දමා කොළඹට එවීමට සැලසුම් කළ අවස්‌ථාවේ ජනරාල් රොඩ්ගුස්‌ පැවසුවේ ඉන්දීය බී.එම්.පී. යුද රථ ධාවන පථයට යවා ගුවන් යානාවේ මග අවුරන බවයි.

බ්‍රිගේඩියර් ජයරත්න එම ප්‍රකාශයට බිය වූයේ නැත. “මම නුඹේ බී.එම්.පී. රථවලට වෙඩි තියනවා”යෑයි බ්‍රිගේඩියර් ජයරත්න කෑගැසුවේය. මේ ගැටුම මැද කොටි කණ්‌ඩායම සයනයිඩ් කරල් ගිල දමා සිය දිවි නසාගනු ලැබීය. ඒ නිසා ශ්‍රී ලංකා ඉන්දීය හමුදා අතර ඇතිවීමට ගිය ගැටුම වැළකී ඇත.

ඉන්දීය ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ ගැටුම මැද කොටින්ව බැලීමට ආ කොටි පිරිසක්‌ සයනයිඩ් කරල් දී ඇතැයි පසුව හෙළි විය.

මේ අතර ඉන්දියාව ශ්‍රී ලංකාවට බලයෙන් යොමු කළ 13 වැනි සංශෝධනය 1987 නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනුණි. ඒ සඳහා මහජනතාවගේ අදහස්‌ විමසීමට ජනමතවිචාරණයක්‌ පැවැත්වීමට ක්‍රියා කළේ නැත. කොටින්ට අපි පුහුණුව ලබාදෙමින් හා අවි ආයුධ සපයමින් ඉන්දීය රජය 13 A සංශෝධනය මෙරට රජයට ඉදිරිපත් කළේ ප්‍රජාතන්ත්‍ර විරෝධීවය.

එහෙත් 13 A ප්‍රභාකරන් විසින් ප්‍රතික්‍ෂේප කර තිබිණි. ඔහු 1987 ඔක්‌තෝබර් 9 දා ඉන්දීය සාම හමුදාවට එරෙහිව යුද වැදුනි. මෙලෙස ඉන්දීය සාම හමුදාවට එරෙහිව යුද වැදුණු දවසේම ඉන්දියානු කෙටුම්පත වූ 13 A පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි.

වසර 26 කට පෙර සිදුවූ මේ ක්‍රියාදාමය මෙරට ජනතාවට කම්පනයක්‌ ඇතිවූ සිද්ධියක්‌ නොවන්නේද?

ඉඩම් හා පොලිස්‌ බලතල අඩංගු 13 සංශෝධනයට අදාළ ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳව නවදිල්ලි නේරු විශ්වවිද්‍යාලයේ අග්නිදිග ආසියානු කටයුතු පිළිබඳ විශේෂඥයකු වූ එස්‌. සහදේවන් පවසන්නේ එය මළ ලිපියක්‌ බවට පත්වී ඇති බවයි.

එහෙත් පසුගිය ජුනි 16 වැනිදා ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සමුළුව 13 වැනි සංශෝධනයට මැදිහත් විය. එය මෙරට ජාතික ආරක්‍ෂාවට මුළුමනින්ම යොමුවීමකි. “13 වැනි සංශෝධනය නොකළ යුතුයි. යෝජිත සංශෝධන ක්‍රියාත්මක කිරීමෙන් වැළකිය යුතුයි. ඒ ගැන සියලු පක්‍ෂ සමග සාකච්ඡා කරනු” යෑයි රදගුරු සමුළුව රජයට කියා සිටියේය.

එහෙත් 1987 ඉන්දියාව මෙය ශ්‍රී ලංකාවට යොමු කරද්දී මෙරට සියලු පක්‍ෂ සමග සාකච්ඡා කළේද? මේ අතර ද්‍රවිඩ සන්ධානය ඉඩම් හා පොලිස්‌ බලතලවලින් පමණක්‌ සෑහීමට පත්වී නැත. “අපිට උපරිම බලය අවශ්‍ය”යෑයි ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් කියා සිටියේය.

මේ බලය සංවර්ධනය සඳහා වූ අරමුදල් පාලනය කිරීම සඳහා ද ලැබිය යුතු බව හෙතෙම තවදුරටත් පළ කළේය. මේ පසුබිම මැද 13 වැනි සංශෝධනය දෙනවාද නැද්ද යන අර්බුදයට රජය මුහුණපා සිටී.

රජයට සම්බන්ධ මුස්‌ලිම් කොන්ග්‍රසය ද ඇමැතිවරු කීප දෙනකු ද 13 සංශෝධනය කිරීමට එරෙහි වී ඇත. විනයගමුර්ති කරුණා සහ නැගෙනහිර හිටපු මහ ඇමැති පිල්ලෙයාන් ද නිහඬව සිටී.

ඉන්දියාව බලෙන් පැටවූ 13 අහෝසි කිරීමට ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතු යෑයි සෘජුව කියන්නේ මඩකලපුව හිටපු මන්ත්‍රී සෑම් තම්බිමුත්තුගේ පුත් අරුන් තම්බිමුත්තු සහ පදිරිප්පුව සංවිධායක ශාන් රාසමානික්‌කම් පමණි.

මේ අතර 26 වසරක රහසක්‌ දැන් හෙළිවී ඇත. ඒ 1987 ඔක්‌තෝම්බර් 28 වැeනිදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ සභාපති සිවසිතම්පරම් ඉන්දීය අගමැති රජිව් ගාන්ධි වෙත ලිපියක්‌ යවමින් 13 සහ පළාත් සභා ක්‍රමය අවශ්‍ය නැති බව ප්‍රකාශ කිරීමයි. එසේම 2009 මැයි 20 දා ඉන්දීය විදේශ ලේකම් ෂිවශංකර් මෙනන් හා ජාතික ආරක්‍ෂක උපදේශක එම්. කේ. නාරායන් මෙරටට පැමිණ ද්‍රවිඩ සන්ධානය සමග සාකච්ඡා පවත්වා ඇත. එහිදී ද තමන්ට 13 අවශ්‍ය නැතැයි ආර්. සම්පන්දන් ඇතුළු දූත කණ්‌ඩායම කියා සිටියේය. මේ නිසා කෝපාවිෂ්ඨ වූ එම්. කේ. නාරායන් ද්‍රවිඩයන්ට වැදගත් දේ තීරණය කරන්නේ අපයි. 13 පිළිගත යුතුයි යෑයි කෝපයට පත්වී පවසා ඇත.

කීර්ති වර්ණකුලසූරිය